|
ගැළපුණත් වෙන් වුණ රිතික් - සුසෑන්කුරුලු කූඩුවක් ලෙස පිටතට පෙනුණත් පසුගිය මාස හතර, පහේම ඒ කැදැල්ලට ගිනි ඇවිලී තිබුණු බව දැන් ලොවම දනියි. බොලිවුඩයේ සොඳුරුතම යුවළක ලෙස රසික ආදරය, ආශීර්වාදය නොමඳව දිනා සිටි රිතික් - සුසෑන් කැදැල්ල විනාශ වුණු බව රිතික් ලොවට නිල වශයෙන් පවසා සිිටියේය. විවාහ වී දහතුන් වසරක් ගත වෙද්දී, පෙම්කර දාහත් වසරක් ගෙවී යද්දී, සුසෑන්ට, රිතික් රෝෂන්ව එපා වී තිබේ. ඇය ඔහු අත්හැර මාපියන් කරා ගියේ මීට මාස ගණනකට පෙරය. දෙදෙනාගේ කිසිදු නොහොඳ නොමනාපයක් නැතැයි කියා එක් මාධ්‍යයකින් පැවසෙද්දී, තවත් මාධ්‍යයකින් කිය වුණේ විරසකයක් පවතින බවයි. කෙසේ වුවත් දැන් ඒ අමිහිරි සත්‍ය ලොවට හෙළි වී අවසානය. රිතික්ම සත්‍ය කතාව ලොස් ඇන්ජලීස් හි සිට ප්‍රකාශ කළේය. වෙන්වීමට තීරණය කළේ කුමන හේතුවක් නිසාදැයි කිසිවකුටත් සිතාගත නොහැකිය. මේ මොහොතේ නිහඬව සිටින ලෙස ඔහු හිතවත් රසික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ තම රෝගය වෙනුවෙන් කළ අයැදුම්වලට ද ස්තුතිවන්ත වෙමිනි. දෙදෙනාගේ යුග දිවිය දෙදරා ගොස් ඇති බවට පළමු ඉඟිය රිතික්ගේ පියා සිනමා නළු සහ අධ්‍යක්ෂ රාකේෂ් රෝෂන්ගේ උපන් දිනයයි. එයට සුසෑන් සහභාගි නොවූවාය. අප්‍රසිද්ධව ඊට පෙර ද එවැනි අවස්ථා තිබෙන්නට ඇත. දිගු කාලයක් දෙදෙනා එක්ව පොදු කටයුත්තකට සහභාගි වී නැත. අති සාර්ථක ‘ක්‍රිස් 3’ සිනමාපටය සම්බන්ධ කිසිදු කටයුත්තකදී සුසෑන් දක්නට නොලැබීම කාගේත් මවිතයට හේතු වී තිබිණි. හිසරදයට වැඩිදුර ප්‍රතිකාර ගැනීම සඳහා රිතික් පසුගියදා අමෙරිකාවට ගිය ගමනේ දී ද සුසෑන්ගේ සහභාගිත්වයක් දක්නට නොලැබිණි. සුසෑන්ගේ සුපිරි වෙළෙඳසල විවෘත කිරීමට රිතික් සහභාගි වූයේ ද නැත. රිතික් අමෙරිකාවේ සිට පැමිණෙන තුරු ඒ වෙනුවෙන් පවත්වන ප්‍රීති සාදය කල් තබන ලෙස මිතුරු, මිතුරියන් සුසෑන්ගෙන් ඉල්ලා සිටියත්, ඇය ඊට සවන් නුදුන්නාය. සුසෑන්, රිතික්ගේ පාසල් වියේ සිට පෙම්වතිය වුවත්, විවාහයට පෙර රිතික් හා කරීනා කපූර් අතර සබඳතාවක් පවතින බවට කට කතාවක් පැතිර ගියේය. කරීනා තමන්ට කාගේවත් කාබන් කොපියක් වීමට අවශ්‍ය නැති බව මාධ්‍යයට පැවසුවාය. ඊළඟට රිතික් අළලා කතාවක් පැතිර ගියේ ‘කයිට්ස්’ සිනමාපටයේ බාබරා මෝරිගේ නම සම්බන්ධ කරමිනි. එහෙත් ඒ කාලයේදීත් ඔවුහු අත්වැල් බැඳගෙන සමාජයේ ඉදිරියට පැමිණියහ. රිතික් මහ ගෙදර හැරයාමට එකඟ නොවීම මීට හේතුව බව සමහරු පවසති. මේ අතරේ මේ සියල්ලටම හේතුව සුසෑන් නළු අර්ජුන් රාම්පාල්ට වඩාත් සමීප වීම බවට ද රාවයක් පැතිරී ගියේය. රාම්පාල්, ඔහුගේ බිරිය මේර් සහ රෝෂන් යුවළ අතර ඇත්තේ සමීප මිත්‍රත්වයකි. එහෙත් කට කතාවෙන් පසු අර්ජුන් රාම්පාල් කියා සිටියේ ඔවුනගේ වෙන්වීමට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නැති බවයි. අර්ජුන්, අභිෂේක් රසිකයන්ගෙන්, මාධ්‍යයෙන් මේ වේලාවේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ ගෞරවය රකින ලෙසට ඉල්ලා සිටින්නේ හිතවත්කමටමය. සුසෑන් සහ රිතික් දෙදෙනාම මෑතකදී කියා සිටියේ රෙහාන්, රිධාන් දරු දෙදෙනා ගැන දෙන්නාගේම වැඩි අවධානය යොමු වී තිබෙන බවයි. අපත් ආදරය ලබා හැදුණා. අපේ දරුවන්ටත් ආදරය නොඅඩුව ලබා දෙනවා. දෙදෙනා පවසති. රිතික්ට සහ සුසෑන්ට එකිනෙකා අනවශ්‍ය වී ඇතත්, හත් හැවිරිදි රෙහාන්ට සහ පස් හැවිරිදි රිධාන් යන පුතුන් දෙදෙනාට මව හා පියා යන දෙදෙනාම අවශ්‍යය. තිස් නව හැවිරිදි රිතික් ජීවිතය දෙස අලුතින් බැලීමට සූදානම් වෙමින් සිටියි. නව වසරේදී ඔහුට එය වඩාත් පහසුවනු ඇත. තිස් පස් හැවිරිදි සුසෑන් මාධ්‍යයට කියා සිටියේ වෙන් වුණත් දෙදෙනා එකිනෙකාට ගරු කරන බවයි. කිරි පැණියි මෙන් එකට ගැළපෙන තාරකා යුවළක් වසර අවසානය දික්කසාදයකින් අවසන් කිරීම බොලිවුඩයටම සිත් කම්පා කරන පුවතකි.
|