|
||||||||
ඒ ලියුම ආචාර්ය ලෙස්ටර්ට හමුවුනාදැයි තවම මම දන්නේ නැහැස්වර්ණප්රාප්තියට සැරසෙන නිළි රැජණ මාලිනි
සිනමා රංගනය පිළිබඳ පෘථුල අධ්‍යයනයක යෙදෙන්නෙකුට ආසියාවේ දී ඒ පිළිබඳ වඩාත්ම ගවේෂණය කළ යුතු නිළිය මාලිනී ෆොන්සේකා යැයි පැවසීම කිසිවකුට අතිශයෝක්තියක් යැයි වරදවා වටහා ගන්නට හේතුවක් නොවේ.
පුරා දශක පහක් මුළුල්ලේ සිනමා රංගනයෙහි ඇයට ලැබුණ චරිත හෝ අවස්ථා මේ කලාපයේ වෙනත් කිසිවකු ට හෝ රඟපාන්නට නොලැබුණ ඒවාය. මේ කලාපයේ නම් දැරූ ඕනෑම නිළියකගේ රංගන කාල පරාසය ද රංගන චරිත පරාසය ද මාලිනිය සමග සසඳා වෙනත් නිළියක සොයා ගත හැක්කේ නම් සිනමාව පිළිබඳ මගේ ලිපි මෙයින් නවත්වන බවට ඔට්ටුවක් තබන්නට තරම් මා අභියෝගයක් කරන්නේ එබැවිනි. රංගන කාල පරාසය පනස් වසරක් ගෙවුණ නිළියක් සොයා ගත හැකි වෙතත් ජනප්‍රියත්වය ඒ හා සමානව එකසේ රඳවන්නට සමත් නිළියක් නැත.සිනමාවේ සම්ප්‍රදායික ප්‍රධාන ප්‍රවාහයේ මෙන්ම එම ප්‍රතිරූපය පවා අභියෝගයට ලක් කරමින් චරිත නිරූපණයක යෙදුන යම් නිළියක පෙන්වා දිය හැක්කේය. එහෙත් ඇයගේ රංගන කාලපරාසය සහ ඇයට ලැබුණ අවස්ථා සීමා සහිතය. මාලීනී ෆොන්සේකා සිය රංගන දිවියේ පනස් වසර සමරන්නට සූදානම් වනුයේ එළැඹෙන 2014 වසෙර්ය.ඒ අතර වාරයේ ලබන 26 වැනි දින බැංග්ලෝරයේ ආරම්භ වන අන්තර් ජාතික සිනමා උළෙලේ දී ඇයගේ ප්‍රත්‍යවලෝකන සිනමා උළෙලක් පැවැත්වීමට නියමිතය.එයට ඇය චරිත නිරූපනය කළ නිධානය,එයා දැන් ලොකු ළමයෙක්,බඹරු ඇවිත්,සොල්දාදු උන්නැහේ, සහ ආකාස කුසුම් යන චිත්‍රපට පහ ඇතුළත්ය.මේ අතරින් එයා දැන් ලොකු ළමයෙක් මොස්කව් සිනමා උළෙලේ දී ද ආකාස කුසුම් ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දි ද සම්භාවනාවට පත් විය. මේ චරිත පහ එනම් අයිලින්,සුසිලා,හෙලන්,පේමක්කා සහ සන්ධ්‍යා රාණි යනු මෙරට සමාජ තලයේ විවිධ පැති කඩයන් නියෝජනය කරන චරිත පහක් වීම විශේෂයකි. ඇගේ රංගන පරාසය මුළුමනින්ම කතා කරන්නට නම් මේ චිත්‍රපට පහ ලඝු කොට ගන්නට හැකි බව පෙන්වා දිය හැකිය.එහෙත් ඇයගේ පනස් වසරක රංගනය එබඳු චිත්‍රපට පහකින් හුවා දක්වන්නට නොහැක.එය විවිධ කාලයන් ගේ විවිධ සිනමාකරුවන් අත විවිධ හැඩ තළ අනුව ගොඩ නැගෙන්නකි. කෙසේ වෙතත් ඇය ගේ මෙම රංගනයන් පහෙන් හතරක්ම ඇයට ලැබෙද්දී ඇය ඒ හා සමාන රංගනයක යෙදෙන්නේ ඉන්දියානු අනුකරණයෙන් තැනෙන ජනප්‍රිය චිත්‍රපට සම්ප්‍රදායේ පෙම්වතිය ලෙස රඟන අතරවාරයේ බැව් සිහියේ තබාගැනීම වටී.වඩා වැදගත් වනුයේ එම චිත්‍රපට සදහා ද ඇය සිය කාර්යය වැදගත් කොට දැක්වීමය. ‘මට නිධානය ලැබෙන විට මම හිතන්නේ මම හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ චරිතය රඟපානවා. හැබැයි ඒ වන විට මම ලෙස්ටර් මහත්තයාගේ අක්කර පහ චිත්‍රපටයේ රඟපාලා තිබෙනවා.“ එම වසර පනහටම ඇය චරිතයක් ඉල්ලා ලියුමක් දමා තිබුණේ ආචාර්ය ලෙස්ටර් ට පමණක්ය. ‘හැබැයි ඇත්තටම ඒ ලියුම කවදාවත් ආචාර්ය ලෙස්ටර්ට හම්බ වුනාද දන්නේ නෑ.අදටත් මම ඒක ගැන අහලා නැහැ.” මාලිනී මේ උළෙල ට තෝරා ගත් නිධානය පිළිබද සිහිපත් කරමින් පැවසුවාය. ‘හැබැයි මම හිතන්නේ නිධානය රඟපෑමෙන් මට ලැබුණ ලොකුම සම්මානයක් ලැබුණා.දන්නවා ද ඒ ?” ලෝකයේ හොඳම චිත්‍රපටය ලෙස විචාරකයන් විසින් සළකනු ලබන සිටිසන් කේන් චිත්‍රපටය තිර ගත වූ 1941 වසරේ කිසිදු සම්මානයක් එයට අමෙරිකාවෙන් හිමි නොවූ ආකාරයටම නිධානය ද ඒ වසරේ මෙරටදී සම්මානයට පාත්‍ර නොවීණ.මම මාලිනියගේ පැනයට නිරුත්තර වීමි. ‘ඒ දවස් වල මාත් ගාමිණීත් ඉතාම කාර්ය බහුලයි. ලෙනින් මොරායස් ලාගේ නීල් රූපසිංහ වැනි සිනමාකරුවන් ගාමිණී මාලිනී යුගයක් සිංහල සිනමාවේ ස්ථාපිත කරමින් සිටි යුගය එයයි.එහෙත් ඔවුන් දෙදෙනා එයින් බැහැරව නිධානයට කැප වුනහ.මේ කැපවීම කෙතරම් ද යත් සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම නිර්මාණයට එය ආලෝකයක් විය. ආචාර්ය ලෙස්ටර් මේ යුවල ගේ රංගනය සැම විටම අගය කරමින් කතා කළේ ඒ අවදියේ සමකාලින සිංහල සිනමාවේ විලාසය ඔහු හොඳීන් අවබෝධ කර ගත් හෙයිනි.එක් අතකින් නිධානයේ අයිරින් සහ විලී යන දෙදෙනාම මනා ශික්ෂණයකින් යුතුව රඟපෑ යුතු චරිත දෙකකි.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් වරින් වර ප්‍රසිද්ධියේ කරනු ලබන එම ප්‍රශස්තිය මාලිනිය සම්මානයක ලෙස සළකන්නීය. ‘අයිරින් බලකොටුවක තනිව ඉන්නා ගැහනියක්.ඇයගේ සැමියා ගැන ඇයට තියෙන්නේ භක්තියක්.ඒ අවධියේ නිධානය මට බාර දෙන්න ඒ වන වට මම දහසක් සිතුවිලි,අක්කර පහ වගේ චිත්‍රපට වල රඟපාලා තියෙන එක හේතුවක් වෙන්නැති. “ මම ඒ අතරවාරයේ නිධානය සම්බන්ධව අයට තවත් කාරණයක් මතක් කළෙමි.ඒ ජී.බී.සේනනානයකගේ නිධානය කෙටි කතාවේ අයිරින් පිළිබඳ තිබෙන සලකුණය. ඒ ඇගේ මුහුණේ සිට පෙනෙන උපන් ලප පිළිබඳ වය. “ඇත්ත ඒකත් එක හේතුවක් “ එබැවින් අයිරින් යනු මාලිනිය වෙනුවෙන්ම නිර්මාණය වනු චරිතයකය යන්න අතිශයෝක්තියක් නොවේ. මාලිනී ප්‍රත්‍යාවලෝකන උළෙලේ චිත්‍රපට ත්‍රිත්වයක්ම ධර්මසේන පතිරාජයන්ගේය. ‘ ආචාර්ය ලෙස්ටර් අපට වැඩිහිටියෙක් වගේ වුනත් පති මට සමකාලින යාළුවෙක්.පති අපි බඹරු ඇවිත් කරන කාලේ මුළු පිරිසම හිටියේ කල්පිටියේ . මුළු චිත්‍රපටයේ කට්ටියම එකම පවුලක කට්ටිය වගේ.එයා දැන් ලොකු ළමයෙක් කියන්නේ මම ඉස්සර වෙලාම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වු චිත්‍රපටය. “ ඒ මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ දීය.එහෙත් එම උළෙලට සහභාගිවීමේ අවස්ථාව මාලිනිට නොලැබිණ.එය අදටත් ඇයාගේ හිත පාරණ කාරණයක් ව තිබේ. වරක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවසා තිබූ අන්දමට එය මෙරට සිනමාවට ලබා ගත හැකිව තිබුණ එක් මහඟු අවස්ථාවක් අත් හැරීමක් බවය. ඒ නිළධාරිවාදයේ එක් අවස්ථාවක්ය.එහෙත් පතිරාජයන්ගේ මුල්ම චිත්‍රපටය අහස් ගව්ව සිට මාලිනියගේ සිනමා රංගනය උකහා ගත්තේය. එහි කූට ප්‍රාප්තිය සොල්දාදු උන්නැහේය. ‘සොල්දාදු උන්නැහේ දක්වා පති ත් එක්ක කටයුතු කළ හැම චිත්‍රපටයක්ම මට වැදගත්.ඒ එක් චරිතයක් වත් අනිත් චරිතයක් එක්ක සංසන්දනය කරන්න බැහැ.පේමක්කාගේ චරිතය ඒ අවදියේ පමනක් නොවෙයි අදත් පවා අභියෝගයක් හැටියටයි මට දැනෙනේනේ” ඒ අවදියේ මාලිනී පේමක්කා වැනි චරිතයක පණ පොවනුයේ එක් අතකින් අපේ සිනමාවේ එබඳු චරිත නිළියන් ප්‍රතික්ෂප කරන සමයකය. ‘මට අපේ සිනමාවේ පරිපූර්ණ යුගයේ ඉඳන් වර්තමානය දක්වාම කටයුතු කරන්නට ලැබෙනවා. මේ චිත්‍රපට සතියේ චිත්‍රපට අතර අපේ සිනමාවේ ස්වර්ණමය යුගය කියලා සළකන හැත්තතෑවේ දශකයේ සිනමාකරු පතිරාජත් එක්ක කටයුතු කළා වගේම වර්තමාන සිනමාවේ ප්‍රසන්න විතානගේ සිනමා කෘතියත් අයත් වෙනවා. මේ සිනමා කරුවන් තිදෙනා යුගයන් තුනක සිනමාකරුවන්.මා මුලින් පැවසුවා වගේ අපේ ගුරුවරයා ආචාර්ය ලෙස්ටර් සමකාලින පතිරාජ වගේ ම අනික් පරම්පරාවේ ප්‍රසන්නත් එක්ක කටයුතු කරන්න ලැබෙනවා. ආකාස කුසුම් චිත්‍රපටයේ සන්ධ්‍යා රාණිගේ චරිතය රඟපාන විට අපේ සිනමාවේත් එබඳු යුගයක් ගතවෙලා. කලක් එක දිගට වැඩ කළ අප පවා ආකාස කුසුම් කරන විට දිගු කලකින් චිත්‍රපටයකට දායක වෙලා නොසිටි අවස්ථාවක්.කලින් පරම්පරාවට වඩා ප්‍රසන්න ලාගේ සිනමා පරම්පරාව බය නැතුව දංගෙඩියට බෙල්ල තියෙන පරම්පරාවක්.මට වුනත් ආකාස කුසුම් රඟපාන විට චිත්‍රපට රංගනයට දායක වෙන්නට නොහැකිව කිසියම් පසුතැවිල්ලක් අවංකවම තිබුණා.ඒ සන්ධ්‍යා රාණිගේ චරිතයේත් ඒ ලක්ෂණ තිබුණා.ඒ නිසා වටෙක එහි මටම මාවම නිරූපනය කරන්නට තිබුණා.” මාලිනිය මේ අවස්ථාවේ තවත් හෙළිදරව්වක් කළාය.ඒ ඇය අලුතින් එක් වූ සිනමා කෘතිය පිළිබඳවය. ඒ දේවින්ද කෝංගහගේ නිර්මාණය කළ බව තරණය චිත්‍රපටයයි. ‘හැම විටම අලුත් අධ්‍යක්ෂවරයෙකුගේ මුල්ම චිත්‍රපටයට බොහෝ විට දායක වන්නට මට අවස්ථාව ලැබී තිබෙනවා.” ඇය ආඩම්බරයෙන් පවසයි.එහිලා අගය කළ යුතු වඩාත්ම වැදගත් කාරණය වනුයේ සිනමාවේ නිළි රැජණ අධ්‍යක්ෂවරයා කවරෙකු වුව ඔහුගේ නිර්මාණයට එක්වීමට කරන කැපවීමයි. බොහෝ අලුත් නළු නිළියන් පවා තමා දායක වන සිනමා කරු ගේ පළපුරුද්දට වැඩි තැනක් දෙද්දි මාලිනී බොහෝ විට සිනමාකරුවන්ගේ මුල් චිත්‍රපටයට දායක ව සිටින්නීය. මේ වාර්තාව අතර ඇය කිසිම සිනමා නිළියකට වඩා තවත් වාර්තාවක් තබා ඇත්තීය. ඒ අපේ සිනමාවේ සෑම දශකයකම සිනමාකරුවෙකුගේ එක් චිත්‍රපටයකට හෝ දායකව ඇය කටයුතු කිරීමය.මුල් දශකයේ සිනමාකරුවන්ගේ චිත්‍රපට අතරින් ඇය දායක වන සිනමාකරුවන් වනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සිරිල් පී අබේරත්නගේ චිත්‍රපට සඳහාය.එතැන් පටන් අපේ සිනමාවේ නාමාවලිය සළකන්නෙකුට ඒ ඒ දශකයන් නියෝජනය කරන සෑම සිනමා පරම්පරාවක් සමගම මාලිනී කටයුතු කළ බැව් පෙනෙන්නකි. එය අසන මාලිනී පුදුමයට පත්වන්නිය.ඇය දායක නොවන්නේ ඉන්දියාවේ සිට මෙහි පැමිණ සිනමාකරුවන්ගේ චිත්‍රපට රංගනයන්ට පමණී. එහෙත් ඇය ඉන්දියානු හවුල් නිෂ්පාදනයකු වන පයිලට් ප්‍රෙම්නාත් චිත්‍රපටයේ රඟපාන්නේ එවකට දකුණු ඉන්දියාවේ සුපතල සිනමාකරුවකු වන ඒ.සී.තිලෝකචන්දර්ගේ මෙහෙයවීම යටතේය. මාලිනි මේ වසරේ සිය රංගනයේ ස්වර්ණ සම්ප්‍රාප්තිය සමරන්නීය.එහෙත් අපට පෙර එකී වගකීම ජාත්‍යන්තර සිනමා උත්සව සිය කාර්යක් කොට ගෙන අත්තේය.පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී ඇයගේ ආකාස කුසුම් බ්‍රිස්බේන් සිනමා උළෙලේ දී තිර ගත වූයේ එබැවිනි.ඉතින් අලුත් අවුරුද්දේ ඇය ට මෙසේ කියන්නට සරසවිය සැරසෙයි. මේ ස්වර්ණප්‍රාප්තිය මාලිනියගේ වසරයි.
|
||||||||