|
|
තුෂාරා ගීතය ගයන ඇන්ඩ්රිනෝ හමුවෙමුඔහු ඇන්ඩ්රිනෝ. නම ටිකක් වෙනස් වගේම කරන නිර්මාණ කටයුතුත් වෙනස්. කුඩා කාලයේ ඉඳලම කලාව පසුබිම් කරගත් මේ තරුණයා මෑත කාලයේදී අපට මුණ ගැසෙන්නේ තුෂාරා ගීතයේ නව ගායකයා ලෙසටයි. අලංකාර රූප රාමු පෙළක් රැගත් තුෂාරා ගීතය අපූරුවට ගයමින් රඟමින් මෙන්ම රූප රචනා කරමින් ද කරළියට පැමිණි ඇන්ඩ්රිනෝ වෙනස්ම ගමනක් යන්නට සූදානම් වන සුන්දර තරුණයෙක්. ඔහුගේ ඒ දස්කම් රූපවාහිනි නාලිකාවල වගේම අන්තර් ජාලයේත් ජනප්‍රියයි. මේ ඒ තාරුණ්‍යයේ සිතිවිලි විමසූ මොහොතයි.
* තුෂාරා නව ගීත නිෂ්පාදනය ජනප්‍රිය වෙමින් පවතින කාලයක තමයි අපි මේ කතාබහ අරඹන්නේ? ඔව්. තුෂාරා ගීතයට නව සංගීතය සංයෝජනය කරමින් පැරැණි බවට හානි නොවන ආකාරයෙන් නව රූප රචනාවක් කරමින් අත්හදා බැලීමක් කළා. ඒක සාර්ථකයි කියලා හිතනවා. තරුණ පරම්පරාව වගේම එදා තුෂාරා සමඟ සිටි වැඩිහිටියන්ගෙන් ද පැසසුම් ලැබෙනවා. ඒක මට සතුටක්.
* ඇයි තුෂාරා වගේ ගීතයක් රීමේක් කරන්න හිතුවේ? තුෂාරා කියන්නේ මගේ ජීවිතේ ආසම ගීතය කිව්වොත් නිවැරැදියි. ජෝතිපාලයන් තමයි මගේ ජීවිතයේ ප්‍රියතම සහ ගෞරවණීයම ගායකයා. විජය කුමාරතුංගයන් තමයි මගේ ආදරණීයම නළුවා. ඉතිං මේ සුසංයෝගයට මම කුඩා කළ සිටම ආදරය කළා. මේ ගීතයට මං දැක්වූයේ පුදුමාකාර ගෞරවයක්. ඉතිං කවද හරි දවසක මේ ගීතය ප්‍රතිනිර්මාණය කරනවා කියලා හිතුවා. ඒ ගෞරවය ආසාව හා ආදරය නිසාම තමයි මේ නිර්මාණ කටයුත්ත කළේ. මට කවදාවත් ජෝතිපාලයන්ගේ නම ළඟට කිට්ටු වෙන්නවත් බැහැ. මට මේකෙන් ඕනෑ වුණේ ජෝතිපාලයන් අනුකරණය කරන්න නෙවෙයි. මගේම ආරකට ගීතය ගායනා කරන්නයි. මට ජෝතිපාලයන් වගේවත් විජය කුමරතුංගයන් වගේවත් වෙන්න බැහැ. මට උවමනා මේ ගීතයට තවත් රසික පිරිසක් එකතු කරන්න විතරයි.
* කවුද මේ ගීතය ප්‍රතිනිර්මාණය කළේ? ඒ පසුපස විශාල පිරිසක් හිටියා. සුමේගා ශබ්දාගාරයේ මිලාන් ප්‍රනාන්දු තමයි ගීතයට නව සංගීතය මුසු කළේ.
* අලංකාර දර්ශන තලවල තමයි ගීතය රූගත කරලා තිබුණේ? ඔව්. මේ ගීතයේ රූප රචනය වගේම අධ්‍යක්ෂණය කළෙත් මම. ඒක ජීවිතේ විශාල අත්දැකීමක්. මට උවමනා වුණා ඉතාමත් අලංකාර දර්ශන තල මේ ගීතය රස විඳින පිරිස ඉදිරියට ගෙන එන්නට.
* මේ ගීතයට විවේචන එල්ල වුණේ නැද්ද? මෙහෙමයි. බොහෝ දෙනෙක් හොඳ කිව්වා. ඇතැමුන් හැදෙන්න ඕන තැන් ටික කිව්වා. ඒත් කවුරුවත් බැන්නේ නැහැ. මං ගීතයට නීතිමය අවසරයක් රැගෙනයි මේ දේවල් කළේ. මං ආසම ගීතයට හානියක් කරන්න මට උවමනා නැහැ.
* ඔබ සිනමාවටත් සම්බන්ධයි? ඔව්. චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ වගේම චිත්‍රපටවලට සමීපතම පසුබිමක් මට තියෙනවා. අවුරුදු හතේ ඉඳන් මම රඟපානවා. මගේ මාමා සුනිල් ටී. ප්‍රනාන්දු. එතුමා මට චිත්‍රපට කර්මාන්තය ගැන බොහෝ දේ කියලා දී තිබෙනවා. ඔහු හරහා මං චිත්‍රපට ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තේ බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන. ඒ පරිසරය තුළ කුඩා කළ ඉඳලම මං වින්ඳේ සෞන්ධර්යය. ඒ නිසා මං සිංහල සිනමාවට ගොඩක් ළැදියි.
* චිත්‍රපටයක් නිපදවන්නත් හිතක් තියෙනවා වගේ? ඔව්. මාමාගේ අනුදැනුම ඇතුව චිත්‍රපටයක් නිපදවන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අධ්යක්ෂවරයකු ලෙසටත් කටයුතුª කරන්න හිතාගෙන ඉන්නවා.
* කොහොමද ඉදිරිය? ‘ඈ ළග මා නැවතීලා’ නමින් ගීතයක් මේ දිනවල නිර්මාණය වෙනවා. ඒ ගීතයේ තනුව සහ පද මගේමයි. මේ දිනවල රූප රචනා කටයුතුවලට තමයි සුදානම.
* අපි අවසානයටයි පැමිණියේ? මාව සංගීතයට යොමු කළේ මගේ බාප්පා රමේෂ්. ඔහු විදෙස් රටවල සංගීතය හැදෑරූ අයෙක්. රූප රචනා හා ඒ ආශ්රිත නිර්මාණ ඉගෙන ගත්තේ මාර්ක් ප්‍රනාන්දු මහතාගෙන්. ඔහු මගේ මාමා කෙනෙක්. ඒ වගේම නුවරඑළිය නිවහන හෝටලයේ හිමිකරු වන ලියෝන් පීරිස් මට දුන් උදව් බොහෝමයි. ඔහුත් මගේ මාමා කෙනෙක්. ඒ වගේම මාව කලාවට සමීප කළ හැමෝටම ස්තුතිවන්ත විය යුතුයි. ෆයින්විෂන් ආයතනයටත්, මෙම ගීතය සංස්කරණය කළ රන්දිකටත් ස්තුතිවන්ත විය යුතුමයි. |
|