|
මම මුදල් අරන් පැන ගිය කතාව බොරුවක්සේනක විජේසිංහ සේනක විජේසිංහ පසුගිය කාලයේ හිටියේ නිහඬව. කිසිදු නිර්මාණයකින් හෝ ඔහුව අප දැක්කේ නැහැ. ඒ වගේ සේනකට විරුද්ධව එක්තරා පාර්ශවයකින් ඔහු මූල්‍යමය වංචාවක් කළා යැයි චෝදනාවකුත් තිබුණා. කෙසේ නමුත් ඔහු යළි කරළියට ඇවිත්. හිස් අතින් නම් නෙවෙයි. පුංචි බෲස්ලීවත් අරගෙන. කාලෙකට පස්සේ හමුවුණු හින්දා සේනකට මෙන්න මෙහෙම ප්‍රශ්න පත්තරයක් යොමු කළා. පළමුව ඇසුවේ මුල්‍ය වංචාව ගැන.
* සේනක මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? කියන්න නම් තියෙන්නේ මං එහෙම මූල්‍ය වංචාවක් කළේ නැහැ කියලා.
* එහෙනම් ඔබ ටෙලි නාට්‍යයක් කරන්න මුදල් අරන් පැන ගියාය කියන කතාව? ඒක සේරම බොරු. මං කියන්නම් වෙච්ච කතාව. රෙඩි කියලා නාට්‍යයක් අපි පටන් ගත්තා. ඒක අධ්‍යක්ෂණය කළේ ක්ලයිව් මාටෙනිස්. ඔහු මේ වන විට අප අතරේ නැහැ. මම ඒකේ නිෂ්පාදන කළමනාකරු. නිෂ්පාදකයි මමයි අතරෙයි මුදල් හුවමාරු වන ගිවිසුම ගැහැව්වේ.
* රෙඩි රූ ගැන්වුණේ නැද්ද? රූගත කළා කොටස් දහයක්. නමුත් සංස්කරණය කරද්දී ඒක කොටස් හතකටයි සංස්කරණය වුණේ. ඉතින් නිෂ්පාදන පාර්ශ්වය කිව්වා අපි කොටස් හතක් රූගත කරලා ඉතිරි කොටස් තුනේ සල්ලි වංචා කළා කියලා.
* වැරැද්ද ඔබලා අතේ නේද තියෙන්නේ? ඒක මගේ වැරැද්දක් නෙවෙයි. අධ්යක්ෂවරයා අතිනුයි එය සිද්ධ වුණේ. මං හිටියේ නිෂ්පාදන කළමනාකරු විදිහට විතරයි. අධ්යක්ෂවරයා ඊට වගකිව යුතුයි.
* ඒත් දැන් ඔහු ජීවතුන් අතර නැහැ. කොහොමද ඒ බවක් ඔබ ඔප්පු කර පෙන්වන්නේ? ඒකට මට සාක්ෂි තියෙනවා. මේ වන විට එහි නඩුව යනවා. ළඟදීම තීරණයක් ලැබේවි.
* රුපියල්වලින් ගත්තොත් කීයක් ඔබ වංචා කළා කියලද ඔවුන් කියන්නේ? ලක්ෂ තුන හමාරක් විතර.
* ඔබගේ නම පිටින් මේ පුවත ගැන පළ වුණා නේද? ඒකනේ. මාධ්‍ය මඟින් ඕනෑවටත් වඩා මේ ගැන ඇවිස්සුවා.
* ඔබට තිබුණනේ නිවැරැදි කිරීමක් කරන්න? කමල් අද්දරආරච්චිටත් විරුද්ධව පත්තරවල ඇතැම් අය ලිව්වනේ. ඒත් ඔහුට කිසිම හානියක් වුණේ නැහැනේ. මටත් එහෙමයි. මට ඕවට වඩා වෙන වැඩ තියෙනවා.
* ඒ මොනවාද? මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. එයාලට කන්න අඳින්න පළඳීන්න දෙන්න ඕනේ. ඉස්කෝලේ පහසුකම් ගාස්තු දෙන්න සල්ලි හොයන්න ඕනෑ. මේවා තමා මගේ වැඩ. පුද්ගලික ජීවිතේ මං හොඳ පියෙක්. ඒ නිසා ඔවුන් ගැන හිතනවා ඇරෙන්න ඕවා නිවැරැදි කර කර ඉන්න කාලයක් මට නැහැ.
* සීයට සීයක් විශ්වාසද ඔබේ කීර්ති නාමයට හානියක් වුණේ නැහැ කියලා? මං රට වෙනුවෙන් මැරෙන්න වුණත් ලැහැස්ති මිනිහෙක්. යුද්දෙ තියෙද්දි මං ප්රභාකරන්ට විරුද්ධව නැඟී සිටි කලාකරුවෙක්. මං බය නැතිව ඒක කළා. ඒවා මගේ රසික රසිකාවන්ට මතකයි. ඔවුන් මට දක්වන ඒ ළෙංගතුකම මේ දෙකයි පනහෙ උන් කරන දේවලින් නැති කරන්න බැහැ.
* ඔබ අලුත් සිනමාපටයක් ආරම්භ කරන්නට සූදානම් පුංචි බෲස්ලි කියලා? ඔව්.
* මේ තත්ත්වය මත නිෂ්පාදකවරයකු ඔබත් එක්ක වැඩ කරන්න කැමැති වෙයිද? ඇයි එහෙම අහන්නේ. මං හොරෙක් නෙවෙයිනේ. නඩු තීන්දුවෙන් ඒක මනාව ඔප්පු වේවි. අනික මේක ළමා චිත්‍රපටයක්. පුංචි බෲස්ලි මගේ බඩ වඩා ගැනීමට කරන වෑයමක් නෙවෙයි. මේක තනිකරම සටන් කලාව හා බැඳුණු චිත්‍රපටයක්.
* ඔබ කාලයක් තිස්සේ සටන් කලාව ජාතික මට්ටමෙන් ව්‍යාප්ත කරන්නට වැඩ පිළිවෙළක් සකස් කරන්න තනි උත්සාහයක යෙදෙනවා. නමුත් ඒක එතරම්ම සාර්ථක බවක් පෙනෙන්නට නැහැ? ඔබ ඕක ගැන අහපු එක හොඳයි. ලබන ජනවාරි 04 වැනිදා සුදර්ශියේ මං මගේ ඇකඩමියක් පටන් ගන්නවා. ඒකෙන් මගේ චිත්‍රපටයට මෙන්ම අනෙකුත් චිත්‍රපටවලටත් සටන් ජවනිකාවලට පිරිස යොමු කරනවා. මගේ උත්සාහය නැවතිලා නැහැ.
* වසර විස්සකටත් අධික කාලයක් ඔබ සටන් කලාව වෙනුවෙන් වෙහෙස වෙනවා. මොනවද ඔබට ඉන් ලැබුණේ? මං මාර්ග සංවර්ධන අධිකාරියේ ජනාධිපති උපදේශකවරයකු විදිහට වැඩ කරනවා. ඉන් බොහොම සුලු වැටුපක් ලැබෙන්නේ. මගේ මූලිකම ආදායම් මාර්ගය සටන් කලාව. ඒක නිසයි අද මමත් පවුලේ අයත් ජීවත් වෙන්නේ.
* තවමත් මෙගා නාට්‍ය නොකරන මතයේද ඔබ ඉන්නේ? මෙගා නාට්‍ය තදින් විවේචනය කරපු කෙනෙක් මම. මොකද රෑ 7 – 9 අතර මෙගා පෙන්නපුවාම මව්පියෝ ඒව බලනවා. ළමයි ෆෝන් එකයි කම්පියුටරයයි අතර තනි වෙනවා. ළමයි නොමඟ යනවා. මේක මහ විනාශයක්. මං ඒ ගැන කතා කළා. ඇතැම් අපේ මිනිස්සු ඒක වැරැදියට තේරුම් ගත්තා. මාව මෙගාවලට ගත්තේ නැහැ. ඒකෙන් වුණේ මට නාට්‍ය කරලා මාසිකව හම්බු වෙච්ච රුපියල් ලක්ෂයක පමණ මගේ ආදායම අහිමි වෙච්ච එක විතරයි. අවුරුදු හයක හතක තිස්සේ එහෙමයි මං කාලය ගෙව්වේ. අදටත් මට ආර්ථික අපහසුකම් තියෙනවා. සමහරු කියනවා ආර්ටිස් කෙනෙක් වෙලා මේ වගේ කතා කියලා පීචං වෙන්න එපා කියලා. ඒත් මං කිව්වේ ඇත්ත. මම මෙගා නාට්‍ය නොකරන මතය අතහැරලයි ඉන්නේ.
|