වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ලේන් පැටියෙක් හොස්ටල් එකට ගෙනා කෙල්ල මමයි

ලේන් පැටියෙක් හොස්ටල් එකට ගෙනා කෙල්ල මමයි

ඇලට වැටෙද්දි මට අවුරුදු පහයි
අපි හොඳ නම් ස්වභාව ධර්මයත් ආරක්ෂා කරනවා

අපේ ගමට ඈතින් පෙනිච්ච මහ කන්දටත් වඩා උස කෙනෙක්. පුංචිම කාලෙදිත් අප්පච්චි ගැන මගේ හිතේ තිබිච්ච ප්‍රතිරූපය එහෙමයි. මං ගෙදර බඩපිස්සි. පුංචිකමට හුරතල් වෙන්න ගෙදරින් ඕනෑ තරම් ඉඩකඩ මට ලැබුණා.

අක්කල අයියල ඉස්කෝලෙ යනවා. ඉතින් අම්මල අප්පච්චිල රස්සාවට යන්න කලින් මාව අත්තම්මලෑ ගෙදරට ඇරලවනවා. මං අප්පච්චිගේ සුළැඟිල්ලේ එල්ලෙනවා. ඊට පස්සේ එයා අඩියට දෙකට වෙලක් මැදින් ඇවිදිනවා. මට ඒ වේගෙන් ඇවිදින්න බැරි නිසා මං දුව දුව යනවා. නියර මඩ වෙච්ච තැන්වලදි මඩ නොගෑවෙන්න එතැනින් එහාට පනිනවා.

කුඹුර ළඟින්ම ඇළ ගලනවා. අපි ඒදණ්ඩකින් මේ පොඩි ඇළ පාරෙන් එගොඩ වෙනවා. ඒ වෙද්දී දවස් දෙකක් මං අප්පච්චිගේ පස්සෙන් මේ ඒදණ්ඩෙන් එගොඩ වෙලා තිබුණා. ඉතින් එදත් මං නොවැටී ඒවියි අප්පච්චි හිතන්න ඇති.

කකුල ලෙස්සුවා. වතුර පාර දෙබෑ කරන් මාව වැටුණා. අප්පච්චි සුටුස් ගාල මාව ගොඩ ගත්තා. ඒත් එතකොට මාව හොඳටෝම නෑවිලා. එහෙම ඇළට වැටෙද්දි මට වයස අවුරුදු පහකටත් අඩුයි.

වතුරෙම මගේ ඊළඟ මතකේ තියෙන්නේ තරුණ කාලෙදි. රූගත කිරීමකදී උණවටුනෙ වෙරළේදී. වෙරළට කළුවර ඇවිදින් තිබුණා. අපි හිටියේ දියඹ ඉසව්වේ. දර්ශන් නළුවට හිටියා. නිළිය මං. අපි දෙන්නටම එකට මූදට පනින්නයි තියෙන්නේ.

ඩිරෙක්ටර් ඇක්ෂන් කිව්වා. දර්ශන් තත්පරෙන් වතුරට පැන්නා. මගේ පපුව ගැහුණා. ‘මට පීනන්න බැහැනෙ’ මට එහෙම හිතුණා. ඒත් හිත තද කරන් මාත් පැන්නා. නිල් පාටක් මගේ ඇස් ඉස්සරහට ඇවිදින් එක පාරටම නැති වුණා. මට මතක එච්චරයි.

පන්නිපිටියේ බ්‍රාහ්මණගමදී ඇළට වැටෙද්දිත් ඒ විදියටම නිල් පාටක් ඇස් ඉස්සරහට ඇවිදින් අතුරුදන් වුණා මට මතකයි.

මොහොතින් කට්ටිය වතුරට පැනලා මාව ගොඩට ගෙනැවිත්. වැල්ලේ මං වැටිලා ඉඳිද්දි මට මතකයි. ඒත් එතකොටත් ෂූටින් ඉවර නෑ. රූගත කිරීම ඉවර වුණේ වැල්ලේ මං ටික වෙලාවක් වැටිල හිටියට පස්සෙයි.

වතුරත් එක්කම බද්ධ තවත් මතකයක් තියෙනවා. ඒක මගේ කැම්පස් ජීවිතේ. එදා රැග් සීසන් එක ඉවර වුණු දවස. සීනියර් බැජ් එකේ අය අපිව නෑව්වා. වතුර කළ ගෙඩියක්ම මගේ ඔළුවටත් හැළුවා. මං හුස්ම ඇල්ලුවෙත් හරි අමාරුවෙන්.

කැම්පස් එකේ හුඟ දෙනෙක් මාව දැනගෙන හිටියේ ලේන් පැටියෙක් හොස්ටල් එකට ගෙනාව කෙල්ල විදියට. පොඩි කාලේ ඉඳන්ම මං පරිසරයට වගේම සතා සිවුපාවුන්ටත් ආදරෙයි. මට පුංචිම පුංචි ලේ්න් පැංචෙක් හම්බ වුණේ එයාලගේ කූඩුව හුළඟකට අහුවෙලා බිම වැටිලා තියෙද්දි. කූඩුවේ තනිවෙලා ඉඳීද්දි හමුවෙච්ච මං රෙදි පාංකඩවලින් කිරි පොව පොව බලා ගත්තා. ටිකක් ලොකු වෙද්දී ලේන් පැංචටත් මාව නැතුවම බැරි වුණා.

එත් එහෙම කොහොමද? මට යන්න වුණේ රුහුණු විශ්ව විද්‍යාලෙට මාතරට. ඒත් මං ලේන් පැටියවත් අරන් යන්න තීරණය කෙරුවා. මගේ ලොකු රෙදි පර්ස් එකට දාගෙන බස් එකෙන්ම එයාවත් ගෙනිච්චා. ටික වේලාවකින් බස් එකේ හැමෝටම ප්‍රහේළිකාවක් ඇති වුණා. ඒ මගේ ලේන් පැටිය සද්ද කරන්න ගත්ත නිසයි. මං එයාව ඔඩොක්කුවේ තියාගෙනම කෑම බීම දුන්නා. එතකොට මගීන් මගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ.

ඔහොම යාන්තම් මං එයාව හොස්ටල් එකටත් ගෙනිච්ච. දැන් ටිකක් ලොකු නිසා ලේන් පැංච දඟලනවා. මගේ ළඟට විතරක් නෙවෙයි එයා අනෙක් ළමයි ළඟටත් ගිහින් එනවා. දවාලට විතරක් නෙවෙයි, සමහර දාට රෑටත් ඇවිදින් ඇඟට පනිනවා. එතකොට නම් සමහරු බය වෙනවා. එයාල නින්දෙන් ඇහැරිලා හොස්ටල් එක දෙවනත් කරනවා. ඉතින් මටත් වුණේ එයාව කැලේට අතෑරලා දාන්නයි.

කැම්පස් කාලෙදි මං දෝන කතිරිනා. ඒ චරිතයට මං ලොකු පිම්බිච්ච කළු ගවුමක් ඇන්ඳා. වේල් පටක් නළලට දැම්මා. තව නාට්‍ය කීපයකත් රඟපෑවා. කොළඹ මහ සෙනඟක් මැදදී නම් වේදිකාවක රඟපෑවේ දොන් ජුවන් නාට්‍යයට.

වේදිකාවෙන් දැන් ආයෙමත් මගේ හිත ගමට දුවනවා. හිත නවතින්නේ ගමේ රබර් හේඩාවක් ළඟ. එතැන පොඩි ළමයි කෙළි සෙල්ලමෙන් දුව පනිනවා. ඒ අතර කොණ්ඩ දෙකක් ගොතල සුදු ඩොට් වැටිච්ච රතුª ගවුමක් ඇඳන් මං ඉන්නවා. එදා අපේ සෙල්ලම ටිකක් සැරයි.

අපි දිග රබර් පටි අතට ගන්නවා. ඒවායේ තියලා විද්දම කීස් ගාලා දුර දුවන ජාති රබර් පටිවලට අමුණනවා. අන්තිමට ඒවායින් විද ගන්නවා. මට එහෙම විදිල්ලක් කිස්කන්න වැදුණා. කේන්තියට මං මට විදපු අපේ ගේ ළඟ ඉන්න පිරිමි ළමයට විදින්න මාන ගත්තා. ඇහැටම විදිනවයි කියලා හිතලා විද්දා. ඒ වගේම හරියටම එයාගේ ඇහැටම වැදුණා.

මේ ළමයාගේ ඇහැ ඉඳිමුණා. වැඩිහිටි අයත් වට වුණා.නරක ළමයෙක් දිහා බලනවා වගේ ඔක්කොම මගේ දිහෑ බැලුවා. මටත් දුක හිතුණා. අම්මලා ඇවිදින් මාව ගෙදර ගෙනිච්චා. එදා ඉඳන් හුඟ දවසක් යනතුරුම මං ගෙදර තනියම. හුඟ කාලයක් යනතුරු අහල පහළ අය එයාලගේ ළමයින්ව මාත් එක්කල සෙල්ලම් කරන්න එව්වේ නෑ.

තරුණ කාලේදී තොප්පිගල පෙනෙන මානෙදිත් මට ඒ වගේ තනිකමක් දැනුණා. ඒ ප්‍රභාකරන් චිත්‍රපටය රූ ගන්වද්දී. එතැන හුඟක් හිටියේ පිරිමි. ගෑනු ළමයි හිටියේ කීප දෙනයි. සමහර දවසට මං විතරමයි. ඒත් කාගෙන්වත් වචනයකින්වත් මට හිරිහැරයක් නැහැ. හොඳ විනයක් සංවරයක් තියෙනවා නම් කාට වුණත් එහෙමයි. අදටත් මං තනියම ගමන් බිමන් යන්න වුණත් බය නැහැ. හුදෙකලාවට ප්‍රිය කරන නිසාම නෙවෙයි. ඇත්තටම අපි හොඳ නම් එච්චරයි. එහෙම අයව සොබා දහමින්ම ආරක්ෂා කරනවා කියලා මං විශ්වාස කරනවා.

ඉතින් ඒ දවස්වල තොප්පිගල මායිමට රූගත කිරීම්වලට එල්. ටී. ටී. ඊ අයත් එනවා. එයාලට තුවක්කු, බෝම්බ සෙල්ලම් බඩු වගේ. විවේක වෙලාවට ඒව උඩ දදා ඉන්න එයාලා රෑට වැලිඔය පැත්තෙන් එයාලගේ යුද සීමාවට යනවා.

මේ කොළඹ ජීවිතේ ටියුෂන් පන්ති ගිය කාලේ මගේ මතකයක්. ඒ කාලේ අපිට ගෙදරින් පුංචි මුදලක් ලැබෙනවා. මමයි යාළුවෙකුයි දෙන්න අපි දෙන්නගෙම ළඟ තිබුණු ඒ සල්ලි එකතුª කළා. ‘අද අපි මේවයින් හෝටලයකින් කමු. කාල පයින්ම පන්නිපිටියේ යමු’ ඒ විදියට හිතාගෙන හෝටලයකින් කෑවා. ඒත් පයින් යෑම හිතපු තරම් ලේසි නෑ. විජේරාම හන්දියට එද්දි දෙන්නම හෙම්බත්වෙලා හිටියේ. අතේ සල්ලිත් නැහැනේ. අන්තිමේදී දෙන්නත් එක්කම ගිහින් කඩේකින් බස් එකට සල්ලි ඉල්ල ගත්තේ අපේ සල්ලි නැති වුණයි කියලයි.

දැන් මං වර්තමානයට එනවා. සැමියා නාලක, පුංචි පුතු පෘථිවි. එයාල මගේ ජීවිතේ ලස්සන කළ අය. පුංචි පුතා බිහි කළ දවසෙදි මට හිතුණේ සමාජය කොච්චරක් නම් කාන්තාවන්ට ගරු කරන්න ඕනෑ ද කියලයි. එහෙම නොවෙන දේවල් අහද්දී දකිද්දී මට ලොකු කනගාටුවක් ඇති වෙනවා.

හුඟ දෙනෙක් මේ දවස්වල තිරයේදී චරිතවලින් හමු නොවෙන්නේ ඇයි කියලාත් මගෙන් අහනවා. පුංචි පුතා නිසා මං ටිකකට නැවතුණා. ඒත් දැන් පුතා ටිකක් ලොකුයි. එයාවත් එක් කරගෙන ඇවිදින් හොඳ නිර්මාණයකට දායක වෙන්න මට දැන් පුළුවන් වේවි.’

මං

අනුරුද්ධිකා පාදුක්කගේ