වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඉස්සර බුරිය ගාවට ඇඳපු අය දැන් අඳින්නේ ඊට පහළින්

ඉස්සර බුරිය ගාවට ඇඳපු අය දැන් අඳින්නේ ඊට පහළින්

‘දෝණි’ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු

“පරෙස්සමෙන් ගෙදර එන්න තාත්තේ...මම මඟ බලාගෙන ඉන්නවා....”

ඒ දයාබර ඉල්ලීමත් සමඟ ‘දෝණි’ දැන් ඔබේ සිනමාහලට ද පැමිණ හිඳින්නීය.

අතිශය සංවේදී කතා පුවතක් පසුබිම් කර ගනිමින් වී. සිවදාසන් නිමැ වූ ‘දෝණි’ සුනිල් ටී. නිපැයූ පනස් හතර වැනි චිත්‍රපටය වේ.

‘දරුවනේ’ සමඟින් සිය සිනමා ගමන් මගේ හැරවුම් මාවතකට පිවිසි සුනිල් ටී. ‘දෝණි’ කැටුව එම මාවතේ අභිමානයෙන් පිය නඟන්නේ වඩාත් හොඳ සිනමාවක් සඳහා අපට ඇරැයුම් කරමිනි.

එසේ නව මඟකට පිවිසි සුනිල් ටී. නව සිතුම්, පැතුම් සමඟින් අප හා එක් වූ අවස්ථාවකි මේ.

‘දෝණි’ ත් මම හිතන්නේ ‘දරුවනේ’ වගේම සංවේදී, ඒ වගේම ආදර්ශමත් කතා පුවතක් රැගත් චිත්‍රපටයක්?

ඔව්, ‘දරුවනේ’ කතාව ගෙතී තිබුණේ පුතකු වටා. ‘දෝණි’ කියන්නේ දයාබර දියණියක් මුල්කර ගෙන තැනුණ චිත්‍රපටයක්. මම හිතනවා මේ චිත්‍රපටයත් ‘දරුවනේ’ වගේම ජනපි‍්‍රය වෙයි කියලා.

කොහොමද මේ වෙනකොට ‘දෝණි’ ට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර...?

ගොඩක් හොඳයි. ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල් පනස් පහක ‘දෝණි’ ප්‍රදර්ශනය ඇරඹුවේ පසුගිය 19 වැනිදා ඉඳලා. මේ වෙනකොට ඉතා හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මොකද ‘දෝණි’ කියන්නේ දූ දරුවන්ට, මවුපියන්ට එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ නිසා පවුල් පිටින් ඇවිත් මේ චිත්‍රපටය නරඹන්න උනන්දු වෙනවා.

ප්‍රදර්ශනය කළ යුතු උපරිම පිටපත් සංඛ්‍යාව තිස් පහකට සීමා කර තිබියදී ‘දෝණි’ පිටපත් පනස් පහක් ප්‍රදර්ශනය කරන්නේ කොහොමද කියන ගැටලුව කෙනෙකුට මතුවෙන්න පුළුවන්?

‘සිරි පැරකුම්’ චිත්‍රපටයටත් කලින් තමයි මම මේ චිත්‍රපටය, චිත්‍රපට සංස්ථාවේ ලියා පදිංචි කළේ. 2013 ජනවාරි 01 දාට පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කළ චිත්‍රපටවලට ඔය නීතිය බලපාන්නේ නැහැ. ඒ අනුව චිත්‍රපට සංස්ථාවෙන් මට අනුමැතිය ලැබුණා පිටපත් පනස් පහක් ප්‍රදර්ශනය කරන්න. පනස් පහක් නෙවෙයි අවස්ථාව තියෙනවා නම් පිටපත් හැත්තෑ පහක් වුණත් ප්‍රදර්ශනය කරන්න තිබුණානම් හොඳයි.

එතකොට අනෙක් අයට අසාධාරණයක් වෙනවනේ?

නෑ, එහෙම වෙන්නෙ නෑ. ඊළඟ චිත්‍රපටය සඳහා ඒ අවශ්‍ය සිනමාහල් මුදා හැරීමේ කොන්දේසිය මතයි මම ඒවා ලබා ගන්නේ. මගේ චිත්‍රපටය නිසා කාට හරි නිෂ්පාදකයකුට අවහිරයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ චිත්‍රපටය මම ඉවත්කර ගන්නවා.

දැන් ඔබ ‘දෝණි’ චිත්‍රපටය මුදා හරින්නේ තරගකාරී මණ්ඩලයක. මා දන්නා තරමින් ඔවුන් තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය කළ යුතු කාල සීමාව පවා තීරණය කරන්නෙත්. මේකත් ඔබට අභියෝගයක් නේද?

නෑ.., මම ඒ අයට මට අවශ්‍ය දින ප්‍රමාණය කිව්වා. ඔවුන් ඊට එකඟ වුණා. එහෙම ඩේට්කරලා තමයි මේ චිත්‍රපටය දුවන්නේ. දින පනහේදී මම ප්‍රකාශයට පත් කරනවා චිත්‍රපටය ප්‍රදර්ශනය වන අවසන් දිනය මෙදාය කියලා. ඒ වෙනකොට ඉලක්ක ගත ප්‍රේක්‍ෂක පිරිස මේ චිත්‍රපටය නරඹයි. ඒ සඳහා මම විශාල ප්‍රචාරක විධික්‍රම භාවිත කරනවා.

ඇතැම් සිනමාශාලා හිමියන්ගේ ‘මාෆියාවක්’ තියෙනවා කියලා පසුගිය කාලේ නොයෙක් චෝදනා එල්ල කළා සමහර නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්‍ෂවරුන්...?

ඒ කිව්වේ මොන වගේද...?

තමන්ගේ චිත්‍රපටය හොඳට දුවද්දී ඇතැම් සිනමාශාලා හිමියන් ඒ චිත්‍රපටය ගළවා දමන්නට ක්‍රියා කරනවා කියලා...?

නෑ... මට නම් කවදාවත් එහෙම දෙයක් දැනිලා, හැඟිලා නෑ. ඉස්සරහට දැනෙන එකකුත් නෑ. මොකද මම හැම දේම දැනගෙන, සැලසුම් සහගතව තමයි මේ දේවල් කරන්නේ. අපිට දින හැත්තෑ හයක් ‘දෝණි’ ප්‍රදර්ශනය කරන්න ඉඩ දීලා තියෙනවා. අපි දැනගන්න ඕනෑ ඒ කාලය තුළ උපරිම ආදායම ලබා ගන්න. මොකද දින හැත්තෑ හයක් හොඳටම ප්‍රමාණවත් නිෂ්පාදකයකුට තමන්ගේ ලාභය උපයා ගන්න. දින පනහ තමයි සාමාන්‍ය ගණන.

පිටපත් පනස් පහකුත් ප්‍රදර්ශනය කරනවානේ...?

ඔව්, නගරයේ වගේම ගමෙත් චිත්‍රපටය එකවර ප්‍රදර්ශනය කරනවා. ඒ සිනමාශාලා මොනවද කියලත් අපි රූපවාහිනියෙන් වගේම පුවත්පත්වලිනුත් ප්‍රචාරය කරනවා. තමන්ට ළඟම සිනමාහලට ගිහින් චිත්‍රපටය නරඹන්න එතකොට ප්‍රේක්‍ෂකයාට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මොරටුවේ සිනමාශාලා දෙකේම ‘දෝණි’ ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම බොරැල්ල, රාජගිරිය, කොටුව, නුගේගොඩ, මහරගම, වැල්ලවත්ත මේ හැම තැනකම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා.එතකොට කිරිබත්ගොඩ, කඩවත, ගම්පහ, ජා ඇල, වේයන්ගොඩ, මීරිගම මේ හැම පැත්තක්ම ආවරණය කරලා තියෙනවා. නුවර, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, මාතර ගත්තත් එහෙමයි.

‘සුනිල් ටී’ චිත්‍රපටයක් ප්‍රදර්ශනයට පෙර සිටම ඔබ මාධ්‍ය මඟින් ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදෙනවා. මෙයත් ඔබේ සුවිශේෂී උපක්‍රමයක්...?

ප්‍රධාන දේ අපි හදන චිත්‍රපටය ජනතාව අතරට ගෙන යන්න ඕනෑ. එහෙම ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් ලැබුණොත් තමයි චිත්‍රපටයක් ජනපි‍්‍රය වෙන්නේ. දැන් මම චිත්‍රපට නිෂ්පාදකයෙක් විතරක් නෙවෙයි. තවත් ව්‍යාපාර මගේ තියෙනවා. ඕනෑම දෙයක් අලෙවි කරන්න අද ප්‍රචාරය අවශ්‍යයි. සබන් කැටයේ ඉඳන් මේ අවශ්‍යතාවය තියෙනවා. හැබැයි මම හොඳ චිත්‍රපටයක් හදලා ඒ ගැන මාධ්‍ය මඟින් වැඩි ප්‍රචාරයක් ලබා නොදුන්නත් කටින් කට යනවා වැඩේ හොඳයි කියලා. ඒ මවුත් පබ්ලිසිටි එකත් චිත්‍රපටයක වාණිජ සාර්ථකත්වයට හොඳ රුකුලක්.

දැන් මේ ඔබේ පනස් හතර වැනි චිත්‍රපටය. විවිධ මට්ටමේ ප්‍රේක්‍ෂක පිරිස් සමඟින් තමයි ඔබ මේ ගමන ආවේ. එතකොට සුනිල් ටී. ගේ චිත්‍රපට බලන්න ඔබටම ආවේනික වූ ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා කියලා ඔබ හිතනවාද?

අනිවාර්යයෙන්ම, ප්‍රේක්‍ෂකයෝ විශාල පිරිසක් ඉන්නවා මගේ චිත්‍රපට නරඹන්න. මොකද මම එකම රාමුවේ චිත්‍රපට නෙවෙයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. කාම රැල්ලේ, විකට රැල්ලේ චිත්‍රපට, පවුලේ චිත්‍රපට, ළමා චිත්‍රපට මේ විවිධ තරාතිරමේ චිත්‍රපට මම හදලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රේක්‍ෂක අවශ්‍යතාව හඳුනාගෙන තමයි මම චිත්‍රපට හැදුවේ සහ ඉදිරියට හදන්නේ.

වර්තමානයේ ඔබ ඓතිහාසික සිනමා රැල්ලටත් නැඹුරු වෙලා...?

ඔව්....,පසුගිය දවස්වල මම ‘අජාසත්ත’ ‘අනගාරික ධර්මපාල’ වගේ චිත්‍රපටවලට නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා. ඒක කාලීන අවශ්‍යතාවක්. මිනිසුන්ට අවශ්‍ය මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනෑ.

කොහොමද ඒ අවශ්‍යතාව ඔබ හඳුනා ගන්නේ. ඒ ඉව ඔබට ලැබෙන්නේ කොහොමද...?

මම නිතරම සමාජයත් එක්ක ජීවත්වන පුද්ගලයෙක්. සමාජයේ හැමෝම මම ආශ්‍රය කරනවා. උරෙනුර ගැටෙනවා. විශේෂයෙන්ම මම තරුණ කොටස් ආශ්‍රය කරනවා. ඔවුන් ගේ හෘද ස්පන්දනය මට දැනෙනවා. මා ගාවට සේවයට ගන්නේ තරුණ දක්‍ෂ ළමයි. ඒ අයගෙන් මම අහනවා, විමසනවා මොකක්ද අද ට්‍රෙන්ඩ් එක කියලා. ඉස්සර බුරිය ගාවට කලිසම ඇඳපු අය අද අඳින්නේ බුරියට පහළින්. ඒක මට අල්ලන්නෙ නැති වුණාට තරුණ කොටස් පි‍්‍රය කරන්නේ ඒ විලාසිතාව නම් ඒක තමයි මට ෆිල්ම් එකට දාන්න වෙන්නේ. ගීත පැත්ත බැලුවත් ඒ වගේ. ජෝතිපාලගේ ගීත මම අදටත් මගේ චිත්‍රපටවලට යොදා ගන්නවා. කොමර්ෂල් මූවිස්වලට.

ඒකෙත් රහසක් තියෙනවා?

ඔව් නේ. මොකද ජෝති කියන්නේ ‘ලෙජන්ඩ්’ එකක්. ජෝති හැම කාලෙකටම ඔබින ගායකයෙක්. ස්ක්‍රීන් වොයිස් කියන්නේ වෙනම එකක්. දැන් භාචි සුසාන් ගයන ‘බඹර නාදේ’ ‘රන්ජා’ චිත්‍රපටයට හදපු ගීතයක්. නමුත් රන්ජන් ගේ මධඪජඥ එකට ඒක මැච් නොවන නිසා මම ඒ ගීතය අයින් කළා. ඒ වෙනුවට මම දැම්මේ ජෝතිපාල ගේ සිංදුවක්. චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනෙක් එය අගය කළා.

කොහොම වුණත් ‘බඹර නාදේ’ අද ජනපි‍්‍රය ගීතයක්. දුකක්, ලෝබකමක් හිතෙන්නේ නැද්ද ඒ ගීතය චිත්‍රපටයෙන් ඉවත් කිරීම ගැන...?

ඇත්ත, ගීතය ජනපි‍්‍රයයි. ඒත් මට දුකක් නෙවෙයි සතුටක් තියෙන්නේ. චිත්‍රපටයෙන් ගීතය ඉවත්කළ නිසාම ගීතයටත්, ගායකයාටත් සාධාරණයක් ඉටු වුණා. රන්ජන් දාලා ඒ ගීතයට ඇක්ට් කෙරෙව්වා නම් ෆිල්ම් එක වැටෙනවා. ඒකයි මගේ කල්පනාව. අධ්‍යක්‍ෂවරයා නෙවෙයි ඒවා ප්ලෑන් කරන්නේ මම. ඒ මගේ අයිඩියාස්.

ඒ කියන්නේ ඔබ අධ්‍යක්‍ෂවරයාගේ මාධ්‍යය අතට ගත් නිෂ්පාදකවරයෙක්...?

චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරනවා කියන එක මට එච්චර ලොකු දෙයක් නෙවේ. නමුත් මට ඒ සඳහා වැය කරන්න කාලවේලාවක් නෑ. නිදහසක් නෑ. චිත්‍රපටයක් නිර්මාණය කරනවානම් ඒ සඳහා නිදහසක් අවශ්‍යයි. ඒ නිසා තමයි මම අධ්‍යක්‍ෂවරයාට ඒ වැඩ කොටස බාර දෙන්නේ. තව චිත්‍රපට නවයක් විතර ඉදිරියේ දී ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. අධ්‍යක්‍ෂවරු නව දෙනෙක් තමයි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ.

සමහර නිෂ්පාදකවරු ඉන්නවා චිත්‍රපට සඳහා මුදල් යොදවන්නේ සම්මාන ඉලක්ක කරගෙන. හැබැයි ඔබ මේ සම්මාන සංකල්පයෙන් බැහැර වූ නිෂ්පාදකයෙක්...?

නෑ... මම කවදාවත් සම්මාන බලාගෙන චිත්‍රපට කරපු කෙනෙක් නෙවේ. පසුගිය ‘සිග්නීස්’ සම්මාන උළෙලට අනුග්‍රහය දැක්වූවෙත් මම. ෆාදර් මට කතා කළා. කතෝලිකයෙක් හැටියට මම ඊට උදවු කළා. ඒකෙදි මම ‘දරුවනේ’ චිත්‍රපටයට සම්මාන ඉල්ලුවේ නෑ. මට ගන්න පුළුවන් උපරිම සම්මානය තමයි වැඩිම ආදායමක් ලබාගැනීම. ‘දරුවනේ’ චිත්‍රපටය වෙනුවෙන් දුලීකා මාරපනට සම්මානයක් හිමි වෙනවා මම දැක්කා. ඒක මට සතුටක්. නමුත් මම සම්මාන ඉලක්කකර ගෙන චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ නෑ.

ඉදිරියේ දී චිත්‍රපට නවයක් ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා ඔබ නිෂ්පාදනය කළ. ඒ අතරින් වඩාත්ම බලාපොරොත්තු තබා තිබෙන්නේ...?

‘අජාසත්ත’ චිත්‍රපටය. ඒ වගේම ‘රන්ජා’. මේ චිත්‍රපට දෙක ගැනම මගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. මම හිතන්නේ ලබන වසරේ දී මගේ චිත්‍රපට හතරක් වගේ ප්‍රදර්ශනය වේවි. මේ දවස්වල මගේ හැටවන චිත්‍රපටය වගේ තමයි හදාගෙන යන්නේ.

වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කරලා වාර්තාවක් තියන්නද යන්නේ..?

එහෙම රෙකෝඩ් එකක් තියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. මම එහෙම රෙකෝඩ් එකක් තිබ්බත් හෙට තව කෙනෙක් ඒක බිඳලා දමයි. ස්කෝලෙ යන කාලේ ඉඳලම මගේ හිතේ තිබුණ ආශාව තමයි නළුවෙක් වීම. නමුත් රඟපාන්න නෙවෙයි වඩාත් සුදුසු චිත්‍රපට නිෂ්පාදනයට කියලා මට හිතුණා. ඒ පැත්තට යොමු වුණා. එහෙම තමයි මෙතනට ආවේ.