වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මෙලෝ ගෑනියක් නොයෙන ගමනක් එන්ඩ උඹ බය නැති වුණා

මෙලෝ ගෑනියක් නොයෙන ගමනක් එන්ඩ උඹ බය නැති වුණා

ශාන්ති දිසානායකගේ සම්මානනීය නවකතාව පාදක කර ගනිමින් සරත් ධර්මසිරි අතින් තිර රචනය කරන ලදුව ෆාහිම් මවුජිඩ් ගේ අර්ථපතිත්වයෙන් සුදත් රෝහණ අතින් ටෙලිවිෂන රූප කාව්‍යයක් වන ගිරිකුළ ඇසුරෙන් සරසවිය වෙත විශේෂයෙන් ලියැවෙන වෘත්තාන්තයකි.

මුතු මැණිකා හීන් සීරුවේ දෙනෙත් ඇර බැලුවාය.සාමාන්‍යයෙන් දවල් වන තෙක් නිදා නොගන්නා ඇයට යස අගේට නින්ද ගියේ ගමන් විඩාවටත් එක්කය.වතුර පාරක් වැදෙන හඬක් ඇසුන නිසාවෙන් ඇය නැගිට ගෙයින් එළියට බැස්සාය.ගෙයි පිළිකන්න පැත්තේ සිටි මැක්කම්මා සෝදමින් සිටියාය. වතුර වීසිවන හඬ ඇසුණේ ඇය ඉඳුල් වතුර අසල පැළයකට වීසි කළ හෙයිනි.

‘ඊයේ රෑ තිස්සේ උඹ හරියට දෙඩෙව්වා.‘

මැක්කම්මා පැවසුවේ මුතු මැණිකාගේ උරහිසට අත තබමිනි.දුටු මොහොතේ සිට මේ පෙනුමැති තරුණිය කෙරෙහි මවකගේ සෙනහසක් ඇයට ඇති වී තිබිණ.මේ ගැහැනිය ගේ කරුණාවන්ත කම කෙරෙහි මුතු මැණිකාට ද ඇති වූයේ අප්‍රමාණ භක්තියකි. මුතු මැණිකා සිය වරලස ගැට ගසන්නට පටන් ගත්තාය.

“මේ පූටකේ යන්ඩ එපා.ඉදිච්චි බතෙං ඩිංගිත්තක් කාලා පලයං“

මැක්කම්මා පවසද්දී මුතු මැණිකාට සිය මෑණියන් සිහිපත් විය.

“උඹ බඩිං නේද ?‘

මැක්කම්මා විමසද්දී මුතු මැණිකා තිගැස්සුනාය.එහෙත් එයට උත්තර බඳීන්නට ඇය අදහස් නොකළාය.

“මෙලෝ ගෑනියක් නොඑන ගමනක් එන්ඩ.උඹ හිත බය නැති උනේ උඹ බඩිං හින්දා.ඒක මට තේරෙනවා“

මුතු මැණිකා ඉවත බලා ගෙන කල්පනාවට වැටුණාය.

“අන්න අර කලෙං වතුර එකක් නමාන අත හෝදා ගනිං.මං බත් බෙදන්නම්“

‘මට කන්න පිරියක් නෑ.‘

‘අප්පිරියාවෙන් හරි කටක් කාපං.ඇඟට අහේම තියෙන්නේ“

මැක්කම්මා කරුණාවෙන් කියා සිටියාය.මුතු මැණිකා ඖෂධහාමිගේත් මැක්කම්මාගේ කරුණාව විඳ නිවසින් පිටත්වූවාය.ඇයත් නිවසින් පිටත්ව නොපෙනී යන තෙක්ම මැක්කම්මා කඩුල්ල ළඟට වී බලා සිටියාය. තනිව මගට බට තමන් දැන් කොයි යම් විදියකින් හෝ සුදු බණ්ඩා හමු විය යුතු වග මුතු මැණිකා තේරුම් ගෙන සිටියාය.අව් රශ්මිය තදින් නැගෙමින් තිබිණ. බොරලු ඇනී පය රිදුම් දෙන්නට විය. මේ පාරේ වල් රූස්ස වනාන්තරය විනිවිද අලුතෙන් කැපූ වග පෙනෙන්ට තිබිණ.කුඩා වන රොදක් පසු කර තවත් යද්දී අලුතෙන් ඉදිවූවා යැයි අනුමාන කළ හැකි ගෙවල් යායක් ම විය. ඒ සියල්ලම කියා පෑවේ මේ පොළවේ ඇති සාරවත් බවයි.

මේ ගමනේ බොහෝ දෙනා ගෙන් වස්තුහාමි ගේ නිවස ඇති ඉසව්ව සොයා ගන්නට මුතු මැණිකා සමත් විය. එහෙත් ඇය කිහිප වරක්ම මග වරද්දා ගත්තාය.

“උඹ පාර වරද්දාන ළමයෝ.එහා පාරෙන් ආවනං හරි.අර මහ ගහක් පෙනෙන තැන තමා ඔය ඉඩම තියෙන්නේ.ආයේ ආපහු හැරිලා යන්ඩ ඕන නෑ.ඔතැනින් හැරිලා පලයං.ඔය පාර උන්ගේ ගෙට පිටිපස්සෙන් තියෙන්නේ“

මහ මග හමුවූ ගැමියෙක් වස්තුහාමිගේ නිවස ඇති තැන ඉන්තේරුවටම කියා දුන්නේය.

ඇයට තද වෙහෙසක් දැනිණ. උන් තැනින් තවත් යා නොහැකි තරම් වෙහෙසකි.එහෙත් එයින් පසුබට වන්නට ඇය සිතුවේ නැත.ඇය මහ රූස්ස ගහක් සමීපයේ වූ නිවසට සමීප වූවාය. ඇයට තවත් දුර යන්නට නොහැකි විය. ඇයගේ ඇස් නිලංකාර වන්නට ගත්තේය. එබැවින් ඇය උන් තැන ම වාඩි වුණාය.

මේ මොහොතේ වස්තුහාමිත් සුදු බණ්ඩා ත් උන්නේ ඉඩම සුද්ධ කරමිනි. ඩිංගිරි අම්මා සිය සැමියාට සහ දරුවාට තේ අරගෙන යන්නට සැරසෙමින් සිටියාය. ඇයට උදව් දුන්නේ රන්මැණිකාය.

“අද නම් බැනුම් අහන්ඩ වෙනවා.ඉක්මන් කොරළා පලයං.“

ඇය රන් මැණිකා උනන්දු කළාය.රන් මැණිකා සිය චීත්තය තදින් ඇඳ ගත්තාය. අම්මා විසින් තනන ලද තේ පෝච්චිය අතට ගත් ඇය ඉක්මන් ගමනින් ගොස් කඩුල්ල පැන්නා පමණී.ඇය දුටුවේ කිසිවකු බිම ඇද වැටී සිටි අයුරුය.ඇයට කෑගැසිණ.අනතුරුව ඇය පාත් වී බැලුවේ වැටී සිටි ගැහැනිය කවුරුන්ද යන්න හඳුනා ගන්නටය. රන් මැණිකා ගේ හඬ ඇසුණ ඩිංගිරි අම්මා දුව ආවාය.

‘අම්මේ මේං මෙතන කවුදෝ වැටිලා“

ඒ ඇසුණ ඩිංගිරි අම්මා ද දිවගෙන ආවේ ඉක්මන් ගමනිනි.

‘සරුපයෙක් දෂ්ට කොරලද ?‘

ඩිංගිරි අම්මා මේ නාඳුනන තරුණිය නගා සිටුවන්නට වෙර දරමින් පැවසුවාය. තරුණිය යාන්තම් ඇස් ඇර බැලුවාය.

“උඹට මොකද උනේ ?“

ඇය ඇසුවාය.එහෙත් එයට පිළිතුරක් නොලැබිණ.එහෙත් ඇය ගේ ඇස් එක්වරම දිලිසිණ.අඩ අඳුරේ වුව ද දිව එන කිසිවකුගේ රුව ඇය නෙත ගැටිණ.

“ආං අහරේ අපුච්චා බනිනවා තේ නැතිව“

දුව ආ තරුණයා සිය නැගණියට කඩා පැන්නේය.අම්මාත් නැගණියත් බිම වාඩි වී සිටින ගැහැනියක් සමීපයෙහි උන්නා බැව් ඔහු දැක්කේ එවිටය.

‘මේ මොකෑ“

මුතු මැණිකා ඒ හඬ හීනයකින් මෙන් ඇසුණි.ඇයට නව පනක් ලැබුණා හි සමාන විය.ඇය තොල් විවර කළේ ඔහුගේ නම කියන්නටය.එහෙත් එයින් හඩක් නැගුනේ නැත.සුදු බණ්ඩා නැඹුරුව ඇය ඔසවා ගත්තේය

“මුතු“

ඔහුට කියැවිණ.

අම්මාත් නැගනියත් තමා දෙස පුදුමයෙන් බලා සිටින වග සුදු බණ්ඩාට දැනිණ.එහෙත් මේ ගැහැනිය තමා පසුපස සොයා ඇවිත්ය.මේ සංසාරයේ ප්‍රාර්ථනා කළ ගැහැනිය බැව් ඔහුගේ සිත තදින් කීවේය.තමා ඇය අතහැර පැමිණීම පිළිබඳ ඔහුගේ සිත ඔහුට දොස් කීවේය. ඔහු මුතු මැණිකා ඔසවා ගෙන ගොස් ගෙයි පිළ මත තැබුවේය.

ගිරි කුළ ඇසුරු කොට ගත් සරසවිය ගෙන ආ අන්දරයට මෙයින් විරාමයක් තබමු.එහෙත් වස්තුහාමි සමග අලුත් ජනපදයකට පැමිණි පිරිසගේ ජීවනාන්දරය තව දුරටත් ඉදිරියට ගලා යන්නේය.එහි වස්තුහාමි ඩිංගිරි අම්මා ද පමණක් නොව සුදු බණ්ඩා සොයා ගොස් ජීවන අරගලය ට මුහුණ දෙන මුතු මැණිකාගේ ද ජීවිතය ඉදිරියට යනු ඔබට දැක ගත හැකි වන්නේය.

අපි නැවත හමුවෙමු.