වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




පොල් තෙල් වෙනුවට පැට්‍රල් වක්කරලා
රන් තරු දර්ශන තලයේ අසිරිය

පොල් තෙල් වෙනුවට පැට්‍රල් වක්කරලා

ඇරැව්වල නාම්පමුණුව පන්සල පාර අද වෙනදාට වඩා කාර්යය බහුලයි. ලොරි, වෑන්, කාර් පිරිච්ච සුවිශාල වත්ත ඉදිරියේ අපිව නැවැත්තුවෙ ආගන්තුක තරුණයෙක්. ටික වෙලාවක් බලා ඉන්න වුණා. ආයෙත් අපි වත්තට ඇතුලු වුණේ අනවසරයෙන්.

‘අයිසෙ තමුසෙ වැඩට ඇවිත් කොච්චර කල් ද, මෙතන වැඩ කරන්න බැරිනං කරුණාකරල යනවා . .’

ගෙදරට ඇතුළුවෙද්දිම ගෝරනාඩුවක්. ටික වෙලාවකින් සියලු කටයුතු නිමාවෙලා හිනා හඬ ඇහෙන වෙලාවෙ අපි නිවෙසට ගොඩ වැදුණා. අද අපි ඉන්නේ සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යයේ එහෙමත් නැත්නම් රන් තරු දර්ශන තලයේ. රන්තරු මේ දිනවල 8.30 ට ස්වාධීන රූපවාහිනී සේවයෙන් අපේ ආලින්දය සරසන්නේ හරිම අපූරුවට.

කේක් නිෂ්පාදන සමාගමක හිමිකරුවකුª වන මුදුන්කොටුව මුදලාලි තමාගේ පුත්‍රයා විදේස් අධ්‍යාපනය නිම කොට ලංකාවට පැමිණෙන තෙක් බලා හිඳිනවා. ඔහුගේ පැමිණීම සමඟ තමාගේ ව්‍යාපාරය පුතු සසංකට භාර දෙන මුදුන්කොටුව මුදලාලි ව්‍යාපාරික කටයුතුවලට සමු දෙනවා.

නමුත් ඉතාමත් බුද්ධිමත් සසංක ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ දුර පළාතක සිට පැමිණෙන සේවකයකු ලෙසටයි. දිනෙන් දින පිරිහෙමින් පවතින ව්‍යාපාරය නඟා සිටුවීමට කටයුතුª කරනු ලබන වන්දනා නම් තරුණිය සසංක හඳුනා ගන්නේ ව්‍යාපාරයේ සේවකයකු වූ පසුයි. අනතුරුව සසංක සහ වන්දනා ඉතාමත් හොඳ මිතුරන් බවට පත් වෙන්නේ ව්‍යාපාරය නඟා සිටුවීමට නිරතුරුවම සාකච්ඡා කරමින්. කිසිදු මොහොතක මුදුන්කොටුව මුදලාලි තම පියා බව හඳුනා නොගැනීමට වග බලා ගන්නා සසංක වන්දනා සමඟ එක්ව ව්‍යාපාරයේ දූෂණ අක්‍රමිකතා සොයා ගනු ලබන්නේ ඉතා කෙටි කලකින්.

මේ අතුරතුර සසංක තම හොඳම මිතුරා වන රුවන් රන් තරු ආයතනයේ කළමනාකරු ලෙස පත්කර ගනු ලබන්නේ තම පියාගේ අනුදැනුමිනි. රුවන්, සසංක සමඟ එක්ව වන්දනා ඉතාමත් ඉක්මනින් ව්‍යාපාරය දියුණු කිරීමේ කටයුතුවල නියැළෙනවා. මේ අතරතුර රුවන් සහ සංසංකගේ නැඟණිය සසංකා සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩ නඟා ගනු ලබන්නේ සැවොමගේම ආශිර්වාදයෙන්.

සුජීව ප්‍රසන්න ආරච්චිගේ රන් තරු නව කතාව ඇසුරින් අරුණ ප්‍රේමරත්න තිර පිටපත ලියූ රන්තරු ටෙලි නාට්‍ය විකාශය වන්නේ එහෙමයි.

‘කේක් ටික තියන්න, කෙසෙල් ඇවරියක් තියන්න . . . හරි ෂොට් එක ගනිමු’

සඳුන් ඇතුළු සියලු දෙනාම රූගත කිරීමට සූදානම්. සාලයේ මැද ස්ථානගත කළ මේසය මත කේක් හා කෙසෙල් සංග්‍රහයකි. බුද්ධදාස විතානාරච්චි, මාධනි මල්වත්ත, භාග්‍යා හෙට්ටිආරච්චි සහ මානවඩු දර්ශනයට ලක ලැහැස්ති වෙයි.

හරි ගනිමු. . .

සඳුන්ගේ විධානයෙන් රූගත කිරීම ඇරැඹිණි.

කේක් කැබැල්ලක් සහ කෙසෙල් ගෙඩියක් අතට ගත් මානවඩුට දුරකතන ඇමතුමකි. කෙසෙල් ගෙඩිය මේසය මත තබන ඔහු කේක් කැබැල්ල කා ඇමතුම ලබා ගනී. කේක් කැබැල්ල ඉතා ඉක්මනින් ගිල දමනවාත් සමඟම පැමිණි සුළඟ ජනේලයේ රෙදි එහා මෙහා කළේ මානවඩුගේ මුහුණ ද වසා දමමිනි.

හරි ආයෙ ගනිමු. . .

සඳුන්ගෙන් විධානයකි.

නැවතත් මානවඩු කෙක් කැබැල්ල ගිල දමයි. ජංගම දුරකථනයට අත තබද්දීම අනවසරයෙන් පැමිණි වාහනයක ශබ්දයකි.

කේක් කැබලි කිහිපයක්ම ඔහුට ගිල දමන්නට සිදු වූයේ පැමිණි බාධා හේතුවෙනි.

‘බත් කන්නත් බෑ . . . කේක් ගිලලම බඩ පිරිල’ දර්ශනය අවසන මානවඩු පවසන්නේ ඉස්මුරුත්තාවෙනි.

පෙරේදා මාර වැඩක් වුණා. . .

දර්ශනය අවසන් කරන සඳුන් අප හා කතාවට එක් වුණේ ළෙන්ගතුª ස්වරයෙනි.

අපේ ගෑස් ලිපක් තියෙනවා. කෑම ටික ගෙනැල්ලා පපඩම් බඳින්න තාච්චියක් ලිපේ තිබ්බා. ෂූටින් කලින් ඉවර වෙලයි තිබුණේ. අපි ඔක්කොම පපඩම් බඳීන තැනට ගියා. එක පාරටම තාච්චියයි ලිපයි ගිනි ගත්තා. බලද්දී පොල් තෙල් කියලා දාලා තියෙන්නේ පෙට්‍රල්. කට්ටිය බේරුණේ අනූනවයෙන්.

සිද්ධිය මතක් කළත් මුහුණ රතුවෙන තරමට සඳුන් ඒ මොහොතෙ බියට පත්වෙලා කියලා අපට හිතුණා.

මේ වගේ සිනහ උපදවන විහිළු තහළු වගේම බියජනක සිද්ධි අතරේ රන්තරු රූගත වෙන්නේ හරිම නිදහසේ. එසේ රූගත වන රන් තරු හෙටත් ඔබේ තිරය සරසනවා. ඔබ සනසාවි.