වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




නරක සීයා අංක එකට

නරක සීයා අංක එකට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි පෙරමුණ ගැනීමට ජෙෆ් ට්‍රිමෙයින් අධ්‍යක්ෂණය කළ Bad Grandpa චිත්‍රපටය සමත් වී ඇත. පළමු සතිය අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 32.1ක්. 87 හැවිරිදි මහලු පුද්ගලයකු තම 8 හැවිරිදි කුඩා මුනුපුරා සමඟින් අමෙරිකාව හරහා යෙදෙන ගමනක් සමඟින් ගොඩනැගුණු අපූරු කතා පුවතකින් යුතු හාස්‍යමය චිත්‍රපටයක් වන මෙහි ජොනී නොක්ස්විල්, ජැක්සන් නිකොල් සහ ග්‍රෙග් හැරිස් ප්‍රධාන චරිත නිරූපණය කරති.

පසුගිය සති තුනක් පුරාවටම ප්‍රථම ස්ථානයේ පසු වූ Gravity මෙවර දෙවැනි ස්ථානයට පැමිණ තිබේ. එය පසුගිය සති අන්තයේදි වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 20.1ක්. පසුගිය සතියේ දෙවැනි ස්ථානයේ සිටි Captain Phillips චිත්‍රපටය මෙවර තෙවැනි ස්ථානයට පත් වී ඇති අතර එය මෙම සතිඅන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 11.6ක්.

මෙම සතියේදි තිරගත වීම ආරම්භ කළ The Counselor චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර සිව්වැනි ස්ථානය හිමි වී තිබේ. රයිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ මෙම ත්‍රාසජනක චිත්‍රපටයේ මයිකල් ෆැසබෙන්ඩර්, පෙනෙලොප් කෲස්, කැමරුන් ඩයස් ප්‍රධාන චරිත නිරූපණය කරති. The Counselor පසුගිය සතිය අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 7.84කි.

සති පහක් පුරා අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටින Cloudy With a Chance of Meatballs 2 චිත්‍රපටයට මෙම සතියේදී හිමි වී ඇත්තේ පස්වැනි ස්ථානය යි. පසුගිය සතියේ තිරගතවීම ආරම්භ කරමින් තෙවැනි ස්ථානයේ රැඳී සිටි Carrie චිත්‍රපටය මෙම සතියේදී හයවැනි ස්ථානයට පැමිණ තිබේ.

මයිකල් හැන්ස්ට්‍රෝම් අධ්‍යක්ෂණය කළ Escape Plan චිත්‍රපටය හත්වැනි ස්ථානයට පත්වී ඇති අතර 12 Years a Slave චිත්‍රපටය අටවැනි ස්ථානයට පැමිණ තිබේ. නිකොලේ හොලොන්සෙනර් අධ්‍යක්ෂණය කළ Enough Said  නවවැනි ස්ථානයේ පසුවන අතර බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර හයවැනි සතිය ගත කරන Prisoners චිත්‍රපටයට හිමි වී ඇත්තේ දසවැනි ස්ථානය යි.