වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සංජු අධ්‍යක්ෂවරයකු කළ ‘දෙවුලෝ සත්’ මුහුරත් උළෙල

සංජු අධ්‍යක්ෂවරයකු කළ ‘දෙවුලෝ සත්’ මුහුරත් උළෙල

නව පරපුරේ රංගන ශිල්පී සංජු සමරසිංහ සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් කලඑළියට පැමිණෙන දෙවලෝ සත් සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා කෝට්ටේ නාග විහාරයේදී පැවැත්විණ.

එස්. එස්. ෆිල්ම්ස් හීී නිෂ්පාදනයක් වන මෙය සංජුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වේ. ආදර්ශවත් චිත්‍රටයක් වන දෙවුලෝ සත් හි විල්සන් කරූ, දුලීකා මාරපන, තිසුරි යුවනිකා, මලින්ද පෙරේරා, ශාලිකා එදිරිසිංහ අශිකා මතසිංහ, නෙතලි නානායක්කාර, හංසක ගනේගොඩ, කැලුම් කුලරත්න රංගනයෙන් දායක වෙති. පිටපත සංජු සමරසිංහගෙනි. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය. \ස්ස ලංකා අදිකාරම් කැමරාව මෙහෙයවයි. ප්‍රියන්ත දිසානායකගේ අංග රචනයකි. එස්. එම්. ජේ. බණ්ඩාර නිෂ්පාදන කළමනාකරුය. මහේන්ද්‍ර සජුන සහාය අධ්‍යක්ෂවරයා වේ. දෙවුලෝ සත් මේ වන විට පානදුර අවට රූ ගැන්වේ. සේයාරුවෙන් දැක්වෙන්නේ සිනමාපටයෙහි පිරිවර මුහුරත් උළෙල දා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.


ආදර සංධ්වනිය ටෙලිවිෂනයේ

සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ සුන්දර යොවුන් ආදර කතාවක් රැගත් ආදර සංධ්වනිය ටෙලි සිතුවම පසුගිය සෙනසුරාදා සිට සති අන්තයේ සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම රාත්‍රි 7.30ට විකාශය වේ. දයා අල්විස්, ධනුක දිල්ශාන්, භාග්‍යා හෙට්ටිආරච්චි, ජනිත් වික්‍රමගේ, තිසර ප්‍රනාන්දු, අයෝධ්‍යා රත්නසිරි, කුමුදු නිශාන්ත, රෙබෙකා නිර්මාලී, සෝමසිරි අලකොලංග, සංගීතා බස්නායක, ගාමිණි ජයලත්, සුසිලා කෝට්ටගේ, විශ්ව ලංකා, හෂිනිකා කරලියැද්ද, සුදත් විජේසේකර, අදිශ හේවාවසම්, ප්‍රමෝද් සසලංක, සෝමසිරි කොළඹගේ, සෝමවීර සේනානායක මෙහි චරිත මවති.

ආදර සංධ්වනිය ප්ලස් වන් ආයතනයේ නිෂ්පාදනයකි.


සීමා නෑ ආකාසේ කැපේ

නාට්‍ය රචකයකු වන නිහාල් බණ්ඩාර පළමුවරට අධ්‍යක්ෂණය කළ ‘සීමා නෑ ආකාසේ’ සිනමාපටයෙහි රූගත කිරීම් පසුගියදා නිම විණ. දැන් එය සංස්කරණයට සූදානමිනි. මාධ්‍යවෙදිනියක් වන අරුනි මල්ලවආරච්චි තිරයට හඳුන්වා දෙන මෙම සිනමාපටය යෞවනය ඉලක්ක කර ගත් කතා පුවතකි. නිහාල්ගේම තිර රචනයක් වන සීමා නෑ අකාසේහි බුද්ධදාස විතානාච්චි, ශ්‍රියානි අමරසේන, පුබුදු චතුරංග, ධනංජි තාරුකා, සංජුල දිවාරත්න ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.

ඇක්ටිව් මෝෂන් පික්චර්ස් වෙනුවෙන් තිස්ස බාලසූරියආරච්චි නිෂ්පාදනය කළ සීමා නෑ ආකාසෙහි කැමරාව අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි විසින් මෙහෙයවන ලදී. ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් ද, නලීන් ප්‍රේමතිලක අංග රචනයෙන් ද, දීප්ති මංගලසෝම කලා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රීලාල් වික්‍රමගේ ගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂණයෙන්ද දායක වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය සංඛ රුවන්දිතගෙනි.

සීමා නෑ ආකාසේ සඳහා ගායනයෙන් කෞෂික ඔලින්ද, ඉමාෂා මුතු කුමාරි, ඩිල්ෂාන් සමරසිංහ සහ චමරි පෙරේරා එක්ව ඇත.


මීහරක් ගම්පොළදී

සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ‘මීහරක්’ මෙම මස 03 වැනිදා ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේදී වේදිකා ගතවේ. නලීන් ප්‍රදීප් උඩවෙල, සරත් චන්ද්‍රසිරි, සුමිත් රත්නායක සහ අදිත ප්‍රනාන්දු මේ සඳහා රංගනයෙන් දායක වෙති. මීහරක් මධුකා මඩවලගේ නිශ්පාදනයකි.


ප්‍රේමසිරි කේමදාස උපහාර උළෙල: ‘හංසවිල’ හෙට මහරගම

අග්‍රගණ්‍ය සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අප අතරින් වියෝ වී වසර පහක් සපිරීම නිමිති කර ගනිමින් ‘හංසවිල’ නම් ප්‍රාසාංගික උපහාර උළෙලක් මෙම මස පළමුවැනිදා එනම් හෙට සවස 07 ට මහරගම ශ්‍රී ලංකා යූත් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

විශාරද ප්‍රදීපා ධර්මදාසගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන එකී ප්‍රසංගය සඳහා ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ලතා වල්පොල, නන්දා මාලිනී, ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, නීලා වික්‍රමසිංහ, සමන්ත පෙරේරා, සුමිත් වල්පොල, ඉන්දිකා උපමාලි, අමල් පෙරේරා යනාදී ගායක ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිතය.

සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මෙම අවස්ථාවෙහි සංගීතය මෙහෙයවනු ඇත.


සුදර්ශියට 60 වසරයි විශේෂ නාට්‍ය උළෙල ටවර් රඟහලේ

සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශිය පිහිටුවා වසර හැටක් ගතවීම කේනන්ද්‍ර කර ගනිමින් ඒ වෙනුවෙන් විශේෂ නාට්‍ය උළෙලක් ඊයේ මරදාන ටවර් රඟහලේදී ඇරැඹිණ. එය එළඹෙන නොවැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම දිනයන්හී සවස 6.15 ට ටවර් රඟහලේදී නාට්‍යන් රංගගත වේ. එම නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේය.

ඔක්තෝබර් 31 එනම් අද නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ සක්කාය දිට්ඨි

නොවැම්බර් 01 වැනිදා ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ගැබ්බර මිනිසා

නොවැම්බර් 02 දා මහානාම ද සිල්වාගේ මාතෘ

නොවැම්බර් 03 දා ජයලත් මනෝරත්නගේ ගුරු තරුව

නොවැම්බර් 04 දා උදයසිරි වික්‍රමආරච්චිගේ රඟපෑම් ඉවරයි

නොවැම්බර් 05 වැනිදා රෝහණ දන්දෙණියගේ රාස්ස පරාස්ස