වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




දහඅට වංගුවට පස්සේ කුමාගෙන් ගීත එකතුවක්

දහඅට වංගුවට පස්සේ කුමාගෙන් ගීත එකතුවක්

සෙනෙහසක් ලොව තිබේ නම් 02 දා එළි දකී

කුමා අත්තනායක ගායකයකු ලෙසට ප්‍රචලිත වන්නේ ‘කඳු අතරින් උදේ හවා’ ගීතය ජනප්‍රියවීමත් සමඟය. ඉන් අනතුරුව නයගාරා සංගීත කණ්ඩායමෙහි නිත්‍ය ගායන ශිල්පියකු ලෙස කටයුතු කළ කුමා තමන්ගේ ගමන අරඹන්නේ 1994 වසරේදීය.

දුටුවැව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු කැකිරාව මහා විද්‍යාලයේදී රජරට සේවය සමඟ සම්බන්ධ වී කටයුතු කළ අයෙකි. 1995 සහ 1996 වසරවලදී මින්දද හීසර නමින් ප්‍රසංගයක් පැවැත් වූ කුමා 1997 වසරේදී රජරට සේවය මඟින් පැවැත් වූ ආධුනික ගී තරගාවලියේ දක්ෂතම ගායකයාට හිමි සම්මානය ද තමාගේ කර ගත්තේ තම ගමන ද වෙනත් මාවතකට පෙරලා ගනිමිනි. එතැන්දී මුණ ගැසුනු රඹුකන සිද්ධාර්ථ හිමියන් සමඟ කොළඹට පැමිණි කුමා අද රටක් හඳුණන ගායකයෙකි.

විවිධ දක්ෂතා ප්‍රකට කළ ඔහු වසර දහයකට පසුව තම ගීත එකතුව එළි දක්වන්නේ නව මුහුණුවරකිනි. ‘සෙනෙහසක් ලොව තිබේ නම්’ ලෙස නම් කළ ඒ සුභාවිත ගීතාවලියෙහි සියලුම ගී පද තලාවේ සංඝරතන හිමියන්ගේ වීම විශේෂත්වයකි. අශෝක කෝවිලගේ, රන්ජන් තිලක් පීරිස් සංගීතවත් කළ මෙම ගී තැටිය නොවැම්බර් 02 දින සවස 2.30 ට බෙන්තොට ගාමිණී ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.

කළුතර දිස්ත්‍රික් උප ප්‍රධාන සංඝ නායක ඕවිටිගල සුමේධ හිමියන් මුලසුන හොබවන මෙම උළෙලෙහි රත්න ශ්‍රී විජේසිංහ සහ තිඹිරියාගම බණ්ඩාර යන විද්වත්හු දේශන පැවැත්වීමට නියමිතය.

ඉතාමත් වෙනස් මාතෘකා රැසක් ගත් මෙම ගී තැටිය සංගීතය මෙන්ම ගායන ක්‍රමවේදයෙහි ද වෙනස්ම ආරක් ගත් එකකි. මීට පෙර අපට හමු වූ කුමා මේ තුළ අපට හමු නොවෙයි. රජරට සේවයේ දී සුභාවිත ගීත මාවතට යොමු වූ කුමා නැවතත් සෙනෙහසක් ලොව තිබේ නම් හරහා අපට දැක ගත හැකිය. එමෙන්ම සුභාවිත ගීත වල දමා වාණිජ පරමාර්ථ පදනම් කොට ගත් යුගයක කුමාගේ මෙම උඩුගම් බලා පිහිනන ගමන ඉතාමත් සුවදුන් වූ එකකි. යහපත් බලාපොරොත්තු පොදි බැඳගත් ස්ථිර ගමනකි.