|
|
පූර්ණ චන්ද්‍රයා සම්පූර්ණයෙන් බැස ගියේය
මන්නා ඩේ
ප්‍රබෝද් චන්ද්‍රා ඩේ (මන්නා ඩේ) තිරයේ ගී පද, රසික සවන්හි අවදියෙන් තැබූ පූර්ණ චන්ද්‍රයායි. ප්‍රබෝද් යනු අවදියෙන් සිටින යන අරුත ඇති සංස්කෘතික වචනයකි. 1942 වසරේ සිට 2006 වන තුරුම ඒ රිදී සීනු හඬ අවදි වූයේ ඒ මුවින්ම පමණි. ඒ නම් ‘මන්නා ඩේ’ ගැයූ ගීයක් කියා සවනට කිසිදු සැකයක් නැතිව තෝරා ගැනීමට තරම් ආවේණික මිහිරි බවක් ඔහුගේ හඬෙහි විය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගී ගැයීම අරඹා, නිදහස ලබා ගැනීමෙන් පසු ද ගී ගැයීමට වරම් ලද භාරත දේශයේ යෝධ ගී තරු අතර බොලිවුඩයට වසර සියය පිරෙද්දී ඉතිරිව සිටි එකම ගී තරුව මන්නා ඩේය. තලාත් මෙහෙමුද්, මොහොමඩ් රාෆි, මහේන්ද්‍ර කපූර්, කිශෝර් කුමාර් යන ගීත කෝකිලයන් එකිනෙකාගේ හඬ අකල්හි නිහඬ වෙද්දී පුරා සත් දශකයක් මේ හඬ අවදි විය. සිනමාපටය ද වඩා තිරයේ ගීතයෙන් රසික හද මන්මත් කරන්නට තරම් දුලබ වාසනා මහිමයක් තිබූ කෝකිලයන්ගෙන් මේ අවසන් කෝකිලයාගේ නික්ම යාම සිදු වූයේ පසුගිය ඔක්තෝබර් 24 වැනිදා අලුයමය.
පාසල් සමයේදී ප්‍රබෝද් ගායනයට වගේම මල්ලව පොර, බොක්සිං ක්‍රීඩාවට ද දස්කම් පෑවේය. විද්‍යාසාගර් කොලීජියෙන් උපාධිය ලබාගත් ඔහු යළිත් සංගීතයට බැඳී සිත අවදි කිරීමට පටන් ගත්තේය. එසේ සංගීතය තෝරා ගන්නේ සංගීතය ද, ක්‍රීඩාව ද කියා සිත සමඟ කළ ද්වන්ද සටනකින් පසුවයි. සුළු පියාගෙන් සහ උස්තාද් දබීර් ඛාන්ගෙන් තරුණ ප්‍රබෝද් සංගීතය හැදෑරීම ඇරැඹුවේය. මේ කාලයේදී වසර තුනක් පිට පිට, සංගීත අංශ තුනකින් අන්තර් – පාඨශාලා තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ තමන් ගීතයටම උපන් කෙනකු බව ඔප්පු කරමිනි. 1942 දී ප්‍රබෝද් සුළු පියා සමඟ බොම්බායට ගිය ගමන ඔහුගේ සංගීත ජීවිතයේ ඉරණම් ගමන විය. ඔහු සංගීතඥ සචින් දේව් බර්මන් යටතේ සහාය සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍රියා කළේය. වෙනත් අධ්‍යක්ෂවරුන් යටතේත් සහාය සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රබෝද් පසුව ස්වාධීන සංගීත අධ්‍යක්ෂවරයකු බවට පත් විය. හින්දි සිනමාපට ගණනකටම ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය. ඒ අතරේදීත් ඔහු උස්තාද් අමන් අලි ඛාන් ගෙන් සහ උස්තාද් අබ්දුල් රහ්මන් ඛාන්ගෙන් හින්දුස්තානි රාගධාරී සංගීතය හැදෑරීමට පටන් ගත්තේය. ප්‍රබෝද් චන්ද්‍රා ඩේ, මන්නා ඩේ ලෙසින් සිය කෝකිල හඬ ‘තමන්නා’ (1942) සිනමාපටයට එක් කළේය. ඔහු මන්නා ඩේ බවට පත් කළේ ද සුළු පියාය. ක්‍රිෂ්ණා බාප්පා හුරතලයට ප්‍රබෝද් ඇමතුවේ ‘මන්නා’ කියායි. සුළු පියා සංගීතය නිර්මාණය කළ, මන්නා ඩේ - සුරෙයියා නිළි ගායිකාව සමඟ ගැයූ මුල්ම යුග ගීය ‘තමන්නා’ සිනමාපටයට ගැයූ ‘ජගෝ ආයී ඌෂා පොන්චි බෝලේ ජාගෝ’ය. ඔහුගේ කුලුඳුල් සිනමා සම්ප්‍රාප්තිය අති සාර්ථක විය. එක් රැයකින් මන්නා ඩේ රිදී තිරයේ කෝකිලයා බවට පත් විය. කදම්බරි (1944), කමලා (1946), චල්තේ චල්තේ (1947) වැනි සිනමාපට ගණනක්ම මන්නා ඩේ ගේ මිහිරි හඩින් ගීතවත් විය. අනිල් බිස්වාන් සංගීත නිර්මාපකයාට නැතුවම බැරි හඬක් බවට මන්නා ඩේ ගේ හඬ පත් විය. ඔහුගේ හඬින් බොංගාලි හා මරාති සිනමාපට ද ගීතවත් වීමට වැඩි කාලයක් ගත නොවුණි. 1945 - 47 දක්වා මන්නා ඩේගේ තිරයේ කෝකිලාව වූයේ රාජ්කුමාරිය. ඉන්පසු ෂම්ෂාඩ් බෙගම් ඔහුගේ සිනමා ගීතාවලියේ කෝකිලාව වූවාය. ලතා මංගේෂ්කාර් සමඟ මන්නා ඩේ ගැයූ මුල්ම ගීය ‘ලපත් කේ ෆෙට් පහානේ බිකරල්’ (නාසිං අවතාර් – 1949)ය. ගීතා රෝයි, උමාදේවී, ආශා බෝස්ලේ වැනි තිරයේ අතිශයින් ජනාදරයට පත් ගී තාරකාවන් සියලු දෙනාම පාහේ ඔහු හා යුග ගී ගැයුහ. ඔහු අනදෝලන් (1951) සිනමාපටයට කිශෝර් කුමාර් සමඟ ගැයූ ‘සුබා කි පෙහ්ලි’ ගීතය ද මන්නා ඩේ ගීතාවලියේ නොමියෙන මතකයකි. මේ සුපිරි ගායකයන් දෙදෙනා ගීත 31 ක් එක්ව ගයා තිබේ. පසුව මන්නා ඩේ පමණක් නොව මොහොමඩ් රාෆි ද, මුකේෂ් ද, කිශෝර්ගේ ගායනය නිසා සිනමා ගී ලොවේ පසුබෑමකට ලක් වූහ. 1953 වසරේ සිට 1976 දක්වා කාලය මන්නා ඩේ හඬට තිරයේ වැඩිම ඉල්ලුමක් තිබූ කාල වකවානුවයි. රාජ් කපූර්ගේ සිනමා නිර්මාණ ගීතවත් කිරීමට මුකේෂ් සේම මන්නා ඩේ ද නැතිවම බැරි විය. ශ්‍රී 420, චෝරි චෝරි, පර්වාරිෂ්, දිල් හෛ තු හෛ, මේරා නාම් ජෝකර්, කාල් ආජ් ඕර් කාල් වැනි ඔහුගේ සිනමාපට ගණනකටම මන්නා ඩේගේ මධුර හඬ මුසු විය. මොහොමඩ් රාෆි සමඟ මන්නා ඩේ ගයා ඇති යුග ගී ගණන 58 කි. ඔහුගෙන් 1992 දී පමණ හින්දි සිනමා ගීතයට බැඳී ඇල්ම දුරස්වන්නට ගත්තේය. ඒ ගීතයේ මෙන්ම සිනමාවේ ද ගුණාත්මක බව අඩුවෙමින් පැවති නිසාය. එහෙත් ඔහු බෙංගාලි සිනමාපටවලට සිය හඬ මුසු කළේය. 2012 වසර වන තුරුම බෙංගාලි සිනමාපටවලින් බජන් සහ ගසල් ගායනාවලින් මන්නා ඩේ රසික රසිකාවන්ට දෙසවන් මිහිරි කර ගැනීමේ වාසනාව උදා විය. ඔහුගේ අවසන් සජීවී ප්‍රසංගය පැවැත්වුණේ 2012 මූම්බායිවලයි. 2006 වසරේ තිරගත වූ ‘උමර්’ සිනමාපටය ඔහු අවසන් වරට ගී ගැයූ හින්දි සිනමාපටයයි. මන්නා ඩේගේ මධුර හඬට තනු නිර්මාණ කළ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ගණන 102 කටත් අධිකය.
* සම්මාන
සිනමාපට 4000 කට වැඩි ගණනකට ගී ගයා ඇති ඔහු ලබා ගත් සම්මාන ගණන ද අති විශාලය. 1969 මේරේ හූසූර් සිනමාපටයේ ගායනයට සහ 1971 නිෂි පද්ම බෙංගාල සිනමාපටයේ ගායනයට සහ මේරා නාම් ජෝකර් සිනමාපටයේ ගායනයට හොඳම ගායකයා ලෙසින් ඉන්දීය ජාතික සිනමා සම්මානයට පාත්‍ර විය. මේරා නාම් ජෝකර් (1972) සිනමාපටයේ ගායනයට හොඳම ගායකයා ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනා ගත්තේය. 1971 දී ඉන්දියානු රජයෙන් හිමිවුණු පද්ම ශ්‍රී සම්මානය ද, 2005 දී හිමිවුණු පද්ම භූෂණ සම්මානය ද, 2011 දී හිමි වූ ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානය ද ඔහු ලද සම්මානය අතරින් සුවිශේෂීය.
* පෞද්ගලික ජීවිතය
මන්නා ඩේ ගීතයට මෙන්ම බිරියට ද එකසේ ඇලුම් කළ ගායකයකි. 1953 දෙසැම්බර් 18 වැනිදා ඔහු සුලෝචනා කුමාරන් සිය බිරිය කර ගත්තේය. දෙදෙනාට ෂුරෝමා සහ සුමිතා නම් දූවරුන් දෙදෙනෙකි. ඔහුට සුලෝචනා මුණ ගැසී ඇත්තේ 1948 දී රබීන්ද්‍ර සංගීත වැඩ සටහනකදීය. එහි දී දෙදෙනා එක්ව ගී ගයා තිබේ. ඔහු ඇයට කෙතරම් සෙනෙහසින් බැඳී සිටියා ද කිවහොත් ‘විවාහයෙන් පසු මා ගැයූ සියලු ආදර ගීත ඇයට පූජා වේවා’ කියා වරක් ප්‍රකාශ කළේය. මන්නා ඩේ ආදරයට ඇය ඇමතුවේ ‘සුලු’ කියායි. එහෙත් 2012 ජනවාරි 18 වැනිදා ඇය පිළිකා රෝගය වැළඳී මිය යාමෙන් ඔහුගේ හදවත බිඳී ගියේය. වැඩි කාලයක් මන්නා ඩේට ද විරහ වේදනා විඳින්නට දෛවය ඉඩ සැලසුවේ නැත. ඔහු අනූ හතර වැනි වියේදී ජීවිතෙන් සමු ගත්තේය. ඔක්තෝබර් 24 වැනිදා පෙ. ව. 3.45 ට මේ මහා සංගීතඥයා මිය ගියේ හෘද රෝගයකිනි. එහෙත් ඔහු භාරතයේ පමණක් නොව අපේ ලංකාවේ ද සංගීතකාමී සකල ලෝකවාසීන්ගේ ද සවනත අමරණීයය. බුද්ධම් සරණම් ගච්ඡාමි, මේරා නාම් ජෝකර්, මේරා නාම් කරේගා රෝෂන් වැනි ගීත සමඟ ඔහු ශ්‍රීී ලාංකික හදවත්හි සදා ජීවමානය.
* ජනප්‍රියම ගීත 10
* ආයේ මේරේ ප්‍යාර් වතන් (කාබුලිවාලා) |



සිනමාවට පෙරළිකාර හඬක් එක් කළ ප්‍රබෝද් ඉපදුණේ ද විප්ලවීය දිනයකයි. 1919 මැයි 1
වැනිදා ඔහු මහාමායාගේ සහ පූර්ණ චන්ද්‍රා ඩේ ගේ පුතු වශයෙන් කල්කටාවේ දී උපත ලැබීය.
කුඩා ප්‍රබෝද්ට සංගීතාචාර්ය ක්‍රිෂ්ණා චන්ද්‍රා ඩේ සුළු පියාගේ ආභාෂය සංගීත ලෝකයට
පිවිසීමේදී මහගු අත්වැලක් විය. ක්‍රිෂ්ණා අඳ සංගීතඥයකු වුවත් ප්‍රබෝද්ගේ
දීප්තිමත් අනාගතය මනසින් දුටුවේය.