වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මම බඳීනවා කිව්වාම අම්මා දෙවියන්ට පින් දුන්නා

මම බඳීනවා කිව්වාම අම්මා දෙවියන්ට පින් දුන්නා

සරසවිය මුල්ම හොඳම නිළිය පුණ්‍යා හීන්දෙනිය

‘තාවකාලිකව මවුබිමෙන් ඈත්ව ජීවත්වීමේ දී සාංකාව මඟ හරවා ගැනීමට හොඳම මඟ මා හැඳී වැඩුණු පසුබිම, පරිසරය හා ඇසුරු කළ වුන් ගැන සිහි කිරීම විය. රංගන කලාවේ නිරත වී සිටි මම එදිනෙදා මුණ ගැසෙන හෑම මිනිස් චරිතයකට මත්, බලු, බළල් හෝ කුරුලු වැනි සෑම සත්ත්ව චරිතයකටමත් , ආවේණික වූත්, විශේෂ ගුණාංග හා ලක්ෂණ හා වටිනා විවිධත්වයක් ඇති බව, ප්‍රභේද පරීක්ෂාකාරී දෘෂ්ටි කෝණයකින් බලා රස විඳීමට පුරුදු වූයෙමි. චරිතයක් පණ ගැන්වීමේ දී මෙවන් අත්දැකීම බෙහෙවින් ප්‍රයෝජනවත් විය. එහෙත් රංග කලාවෙන් ඈත් වී ඇති නිසා, එවන් අත්දැකීමක් ගොනුකොට කෙටිකතා හා විචිත්‍ර විත්ති වශයෙන් ලිවීමට ඉමහත් ආශාවක් ඇති විණ.’

මේ කොටස මා උපුටා ගත්තේ සිංහල සිනමාවේ පුණ්‍ය වන්තම නිළියක වන පුණ්‍යා හීීින්දෙනිය විසින් රචනා කරන ලද ‘බ්‍රින්දා නම් කෙටිකතා සහ විචිත්‍ර විත්ති’ එකතුවේ පෙර වදනිනි. ඇය ඊයේ එනම් 31 වැනිදා සුමති සම්මාන උළෙලේ දී යූ.ඩබ්ලිව්.සුමතිපාල අනුස්මරණ යාවජීව සම්මානය දිනා ගත්තා ය.

‘මේ අවුරුද්දට ‘ගම්පෙරළිය’ට අවුරුදු පනහයි. ‘සිකුරු තරුව’ හදලා අවුරුදු පනහක් සම්පූර්ණ වුණා. මම කසාද බැඳලා අවුරුදු හතළිස්පහයි. ඒ වගේම සුමති සම්මානය පිරි නැමෙන කොට සරසවිය මුල්ම සම්මාන උළෙලේ මුල්ම හොඳම නිළියට සම්මානය අරගෙන අවුරුදු පනහකට ළං වෙනවා. ඒ සම්මානය ගත්තේ මම 1964 වසරේ දී’ පුණ්‍යා හීන්දෙනිය එදා මෙදා පූර්වපර සන්ධි ගළපමින් කියන්නට පටන් ගත්තා ය. අවුරුදු ගණනාවක් එතෙර සිටිය ද අගේ කතාබහ ද, ඇගේ ආගන්තුක සත්කාරය ද ‘ගම්පෙරළිය’, ‘කුරුලු බැද්ද’, ‘සිකුරු තරුව‘ ඇතු¼ථ චිත්‍රපට රැසක ඇගේ කතා ශෛලිය අපට සිහිපත් කරයි.

’ මම දැන් ඔස්කා වයිල්ඩ්ට අභියෝගයක් කරන්න කැමැතියි. ඔස්කා වයිල්ඩ් කියලා තියෙනවා ගෑනියෙක් වයස කියනවා කියන්නේ කිසිම රහසක් හංගන්නේ නෑ කියන එකයි කියලා. හැබැයි මම නම් මගේ වයස කියනවා. මට දැන් වයස හැත්තෑත පහයි. මම දැන් මුනුපුරු - මිනිබිරියෝ ඉන්න ආත්තම්මා කෙනෙක්.’

සරසවිය පුවත්පතේ නථ – නිළි රුවකින් මුල්වරට සරසවිය කවරය සැරසුණේ ද පුණ්‍යා හීන්දෙනියගේ රුවෙනි. එබැවින් පුණ්‍යා යනු සිනමා ඉතිහාසයෙහි බිඳ හෙළීමට නොහැකි වූ තරම් වාර්තා තැබූ නිළියකි. එහෙත් ඇයට මෙවර යාවජීව කර්තව්‍යයට සම්මානය ලැබෙනුයේ ටෙලි විෂන් සම්මාන උළෙලකිනි. ඇය මෙසේ පවසන්නී ය.

‘මම ලංකාවේ ටෙලිවිෂන් ගැන වැඩිය දන්නේ නෑ.හැබැයි අප ඉන්ටර් නෙට් එකෛන් නම් රූපවාහිනිය බලනවා.මගේ මහත්තයා ‘සංහිඳ’ වැඩසටහන නිතරම බලනවා. හැබැයි දැන් අපේ රටේ චිත්‍රපට හොඳට කරන වග දැන ගන්නට ලැබුණා. කොහොම හරි ඒ චිත්‍රපට හදන එක ගැන නම් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.’

ඇය සිනමාවට පිවිසෙනුයේ සිරිසේන විමලවීරගේ ‘අශෝකා’ චිත්‍රපටයේ නැටුම් ජවනිකාවකිනි.

‘අපේ ඉස්කෝලේ නැටුම් උගන්වපු පණීභාරත මහත්තයා තමයි ඒ චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කළේ. ඒ මහත්තයා අපිවත් ඒ චිත්‍රපටයේ නැටුම්වලටත් යොදා ගත්තා. විමලවීර මහත්තයාගෙන් මට චරිතයක් දෙන්න බැරි ද කියලා ඔහු ඇහුවා. එතකොට ඔහු මේ ළමයාගේ නහය කැඩිලනේ, කැමරාවට ඔය ලක්ෂණ අගේට පේනවා කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි, සිනමාවට නම් මේ ළමයාව කොහෙත්ම ගැළපෙන්නේ නෑ කියලත් ඔහු කිව්වා. විමලවීර මාස්ටර් මොන හේතුවක් නිසා එහෙම කිව්වද කියලා මට තේරෙන්නේ නෑ.’

කෙසේ වෙතත් පුණ්‍යාගේ දෛවයේ ලියා තිබූ නිළියක වීමේ ඉරණම තීන්දු වූයේ ඇය ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයකට පිවිසීමෙනි. එය නිපදවූ එස්.ද.එස් සෝමරත්න පුණ්‍යාගේ මහප්පාගේ පුතාගේ මිතුරෙකු විය. එහිදි තම චිත්‍රපටයට අලුත් නිළියක් සොයමින් සිටි සෝමරත්න ළඟට පුණ්‍යා කැඳවා ගෙන ගියේ ඇගේ තාත්තාත්,ඥාති සොහොයුරාත් ය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එල්.එස්. රාමචන්ද්‍රන් ය. රාමචන්ද්‍රන් පසුව අධ්‍යක්ෂණය කළ ‘කුරුලු බැද්ද’, ‘සිකුරු තරුව‘යන චිත්‍රපට සියල්ලගේම ප්‍රධාන චරිතය රඟපෑවේ පුණ්‍යා ය. ඉන්දියානු ජාතික රාමචන්ද්‍රන්ගේ චිත්‍රපටවල එන ගීත ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කර දුන්නේ ද පුණ්‍යා ය.

‘ඒ කාලයේ අපට මේකප් දැම්මා. මට මතකයි මටත්, ජීවාටත්, සන්ධ්‍යාටත්. අපි ඔක්කොටම මේකප් දන්නේ එකම විදියටයි. ඒක ඒ කාලයේ හිටිය ශිල්පීන්ගේ හැටි. මේ අපහාසයකට කියනවා නෙවෙයි, ‘කුරුලු බැද්ද’ චිත්‍රපටයේ රන් මැණිකාගේ චරිතයේ මේකප් එක දැක්කාම මට දැන් හිතෙන්නේ ඒ ළමයාගේ මේකප් එක අයින් කරලා සාමාන්‍ය ගැමි ළමයා වගේ හිටිය නම් හොඳයි කියලා.’

කෙසේ වෙතත් පුණ්‍යා සිය රංගන ජීවිතයේ අග්‍ර ඵලය වූ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ නන්දා වූයේ ඉන්පසුවය. ඇය එහි දෙවැනි කොටස වූ ‘කළියුගය’ තනද්දී ද නන්දා වන්නට වරම් ලැබුවාය. ඇය සරසවිය සම්මානය මුල්වරට ඇය දිනා ගත්තේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙනි. ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අධ්‍යක්ෂණය යටතේ ‘ගම්පෙරළිය’, ‘කළියුගය’, ‘රන්ස¼ථ’ යන චිත්‍රපටවල රඟ පා අතිශය විශිෂ්ට නිළියක ලෙස සිනමාවේ නම රැන්ඳුවාය.

‘මගේ තාත්තා කලාවට කැමති කෙනෙක්. හැබැයි අම්මා නම් සම්පූර්ණයෙන් ම විරුද්ධ වුණා. මම විවාහ වෙන්න තීරණය කළාම අපේ අම්මා ගාථා වැඩිපුරත් කියලා දෙවියන්ට පිං දුන්නා.’

පුණ්‍යා සිනහවෙමින් පවසන්නී ය.

‘මගේ ප්‍රියතම කලාව සිනමාවයි. කවදාහරි විවාහ වුණාට පසුව මේ දෙකම එකට කරන්න බැහැ කියලා මම තීරණය කළා. මගේ සැමියා වෛද්‍යවරයෙක්. ඔහු සේවය කරලා එනවිට මම ෂූටින් ගිහිල්ලා ඉන්න බැහැ.’

එබැවින් මේ රංගන ශිල්පිනිය එතැන් පටන් යහපත් බිරිඳක වූවාය. ඇගේ පුත් අනූපම එංගලන්තයේ ජීවත් වන විශේෂඥ වෛද්‍යවරයෙකි. දියණිය පූර්ණමී ද වෛද්‍යවරියක මෙන්ම වෛද්‍ය්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන්නීය. ශ්‍රී ලංකාවට පැමිණි පසුව ඈ නවතින නිවස ඇත්තේ කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසයක උඩුමහලෙහි ය. එහි කෙළවරකට උදේ පාන්දර පෙනෙන්නේ ‘සමනල ගිර’ යි.පුණ්‍යා මේ නිවසේ දී උදෑසනම බුදුන් වඳින්නේ ඒ දෙස බලාගෙනය. මේ කතාවට වරින්වර හවුල් වන්නේ පුණ්‍යාගේ ආදරණීය සැමියා දොස්තර මිල්රෝයි බෙවර්ලි ද සිල්වා නානායක්කාරයි.

‘මේ ඔක්කොම මට හොයලා දුන්නේ මගේ මහත්තයා.’

පුණ්‍යා කෘතවේදීව පවසන්නීය.

ඇය හෙන්රි ජයසේන සමඟ ‘ ශ්‍රී 209’ චිත්‍රපටයේ ගයමින් රඟ පෑ ගීතයක් අපේ මතකයට එයි.

‘ජීවන ගංගා ඉවුරේ අපි

ඇවි ද යමු ප්‍රියේ....’

යන්නයි. රිදී රැයක් ප්‍රසංග මාලාව මුලින්ම ආරම්භ කළේ ද හෙන්රි ජයසේන හා පුණ්‍යා හීන්දෙනිය ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙහි කළ රඟපෑමක් ප්‍රති නිර්මාණය කරමිනි. පුණ්‍යා මේ දිනවල ඒභබභථද ට්චතඵ නමින් අලුත් කෘතියක් රචනා කරන්නී ය.

පුණ්‍යා සිටින මහල් නිවාස සංකීර්ණය අසල සුපිරි ඇඳුම් සාප්පු කිහිපයකි. බොහෝ තරුණ – තරුණියෝ එයින් විවිධ විලාසිතා මිලයට ගන්න අයුරු ඇයට පෙනේ.

‘ඉස්සරට වඩා රට දැන් බොහොම දියුණුයි. ළමයි ලස්සනට අඳිනවා. ඉස්සර මේ වගේ ඇඳුම් විකුණන තැන් තිබුණේ නෑ. ඒ නිසා මගේ ඇඳුම් මහ ගත්තේ මමයි. මට දැනටත් හොඳට මහන්න පුථවන්.’

‘මගේ චරිත කතාව ලියන්න කියලා සමහර හිතවත්තු මට කියනවා. ඕකේ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ත්‍රිවිධ රත්නයයි, කර්මයයි තමයි මම විශ්වාස කරන්නේ. ජ්‍යෙතිශ්‍ය ගැන මගේ ඒ තරම්ම විශ්වාසයක් වැහැ. ලන්ඩන්වල හිටියත් මම දැන් පසළොස්වකටත් සිල් ගන්නවා.’

පුණ්‍යා හීන්දෙනිය හමුවන්නට තවත් පිරිසක් පැමිණෙති. ඒ ද මාධ්‍ය සඟයන් කිහිපදෙනෙකි. අපි ඔවුන්ට ඉඩදීමට සූදානම් වීමු.

මට නම් සරසවිය කියන්නේ මගේම පත්තරය වගේ.’

ඇය අපට සමුදෙමින් පැවසුවාය.