වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සිරස සුපර් ස්ටාර් – හයවන අදියර ඇරැඹේ...

සිරස සුපර් ස්ටාර් – හයවන අදියර ඇරැඹේ...

සිරස TV මෙරට රියැලිටි ටෙලිවිෂන් වංශ කතාවේ සමාරම්භය සනිටුහන් කරමින් 2005 වසරේ ආරම්භ කළ “සිරස සුපර් ස්ටාර්” වැඩසටහන් මාලාවේ හයවන අදියර මේ වනවිටත් ප්‍රේක්ෂක රසවින්දනයට තිළිණ කර ඇති බව දැනුම් දෙනුයේ ඉමහත් සතුටිනි.

ඉදිරිපත් කිරීමේ ස්වභාවය අතින් ද ආකෘතිමය වශයෙන් ද සිරස සුපර් ස්ටාර් හයවන අදියර නැවුම් ස්වරූපයක් ගෙන තිබේ.

සිරස සුපර් ස්ටාර් වැඩසටහන තුළින් ම ජනාදරයට පත් සුපිරි තරු රෑනක දීප්තියෙන් සුපර් ස්ටාර් වේදිකාව ඒකාලෝකවත්වීම මෙවර දැකිය හැකි සුවිශේෂිතාවකි. ඒ අනුව සිරස සුපර් ස්ටාර් පස්වන අදියරේ සුපිරි කිරුළට හිමිකම් කී සුපිරි තරුව දසුන් මධුෂාන් සිය නිසඟ ගායන හැකියාව අතික්‍රමණය කරමින් නිවේදක භූමිකාවට ප්‍රවිෂ්ට වීමේ දුර්ලභ අවස්ථාව මෙවර සිරස ප්‍රේක්ෂකයාට අත්විඳීමට ලැබෙනු ඇත.

පුහුණුකරුවන්ගේ මණ්ඩලයේ ද සුවිශේෂී වෙනසක් සිදුව ඇත. එනම් කලකට පෙර සුපිරි ස්ටාර් වේදිකාව හැඩ කළ, අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනූ ගායන ශිල්පිනී අමිලා නදීශානි සහ සුවිශේෂී, ප්‍රතිභාපූර්ණ හඬකට හිමිකම් කියන සංගීතවේදී දුමාල් වර්ණකුලසූරිය මෙවර සුපර් ස්ටාර් පුහුණුකරුවන්ගේ මණ්ඩලයේ අසුන්ගෙන ඇත. එය ද ප්‍රේක්ෂක අවධානය දිනාගන්නා සුවිශේෂීතාවකි. ඔවුන් දෙපළට අමතරව ප්‍රවීණ සංගීතවේදී හේෂාන් ගමගේ මෙවර ද පුහුණුකරුවන්ගේ මණ්ඩලයට එක්ව එම කාර්යභාරයට උරදෙනු ඇත.

එමෙන්ම පුහුණුකරු තෝරා ගැනීමේ ස්වයංවරය තරගකරුට හෝ තරගකාරියට ලැබීම තවත් සුවිශේෂීතාවකි.

ප්‍රේක්ෂක මනාපයෙන් තේරී පත්වුණු විශිෂ්ටතම හඬ පෞරුෂයට මෙවර ද අතිවිශාල ත්‍යාග මුදලක් වන රුපියල් කෝටියක් හිමිකර ගැනීමේ භාග්‍යය උදා වෙයි. අනුශූරතාව සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් තේරී පත්වූ 170 දෙනෙකු ආරම්භක වටය නියෝජනය කරමින් මෙවර සුපර් ස්ටාර් වේදිකාවට පිවිසෙන අතර තීරණාත්මක තරග වට ගණනාවකට පසුව අවසන් 18 දෙනාට ඉදිරියට යාම සඳහා පුහුණුකරුවන්ගේ තීරණය හා සමගාමීව ජනතා මනාපය ද වැදගත් වේ.

පියෙන් පිය ඉදිරියට පිය නඟමින් ජාත්‍යන්තර වේදිකාවට පිය නඟන්නට වරම් ලබන, අතිවිශාල මුදල් ත්‍යාගයකට හිමිකම් කියන ඒ සුවිශේෂී වූ විශ්වීය හඬෙහි හිමිකරු කවුරුන්දැයි දැනගන්න, ඔක්තෝබර් 19 වනදා සිට විකාශය ආරම්භ වූ සිරස සුපර් ස්ටාර් 6 වන අදියර සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනක ම රාත්‍රී 9 ට සිරස TV ඔස්සේ ද, රාත්‍රී 7 ට සිරස FM ඔස්සේ ද රස විඳින්න.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම වියට්නාමයට

චිත්‍රපටයට සංඝරත්නයෙන් සම්මානයක්

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා පටයෙහි විශේෂ දර්ශනයක් පසුගියදා වියට්නාමයේදී පැවැත්විණි. එහිදී එම සිනමාපටය අගයා එරට ගරුතර සංඝරත්නයගෙන් විශේෂ සම්මානයක් ද ලබා දෙන ලදී. මෙම මොහොතෙන් පසු ශ්‍රීී සිද්ධාර්ථ ගෞතම සිනමාපටය වියට්නාමයේ ප්‍රදර්ශනය සඳහා ආරාධනා ලැබිණි. ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයේ සිට වියට්නාමයේ සිනමා ශාලා හතළිස් පහක තිරගත වනු ඇත.

ගගන් මලික් ප්‍රධාන චරිත මවන මෙහි රන්ජන් රාමනායක, අචල් සිං, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, අංජනි පෙරේරා, ඇතුළු පිරිස චරිත මැවූහ.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ආචාර්ය නවීන් ගුණරත්නගේ දැවැන්ත නිෂ්පාදනයක් වන අතර නීතිඥ සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයකි.