මඟුල් බලන්න මට හොරෙන් එන්නේ එහෙම නෑ
මඟුල් බලන්න මට හොරෙන් එන්නේ එහෙම නෑ
ජෝ අබේවික්‍රම නම් පියාණන් පිළිබඳ
දියණිය කුමාරි මෙනෙහි කරයි
අප්පච්චි අප හැරගොස් වසර දෙකක් ඉක්ම ගොසිනි. ඒ කාලය අතරතුර දී ඔහු නොමැති අඩුව මකා
ගත්තේ කුමන අයුරකින්දැයි නොදනිමි. මම නිවසේ සක්මන් කරමින් කල්පනාවක නිමග්න වීමි.
පිටුපසින් අඩිශබ්දයක් ඇසෙයි. ක්‍ෂණයකින් මම හැරී බලමි. කිසිවකු නැත. ඒ පියවර නඟනා
හඬ ඇසුණේ මගේ යටි සිතින් බව කියා උඩුසිත මටම දොස් පවරයි. ඒ ගැන මම කම්පා නොවෙමි.
මන්දයත් මගේ අප්පච්චි මෙලොවින් නික්මී ගියත් මසිතින් කෙදිනකවත් මිය නොයන බැවිනි.
ඔයාගේ තාත්තා ජෝ අබේවික්‍රම නේද?
පුංචි කාලයේ පාසලේදී යාළුවො මා වට කරගෙන එසේ අසයි. එවිට ‘ඔව්’ යන්න මා පවසන්නේ මහත්
ආඩම්බරයෙනි. එය මා මවාගත් එකක් යැයි දැනගත් මිතුරන් මටද ඔච්චම් කොට පලායයි.
අප්පච්චිගෙන් නිරහංකාර ගුණය ඉගෙනගත් මට සැබැවින්ම ආඩම්බර වන්නට බැරිය. ඒ බව යාළුවෝ
දනිති. අප්පච්චිට රටේ තිබුණු පිළිගැනීම කොතෙක්ද යත් මට දැණුනේ පුංචි සංධියේ සිටය.
කැමරාව ඉදිරියේ ‘ඇක්‍ෂන්’ කියද්දී නළුවකු වුවද ‘කට්’ යන වචනය ඇසුණු සැනින් ඔහු
මහපොළොවේ පයතබා ජීවත් වූ ජෝ අබේවික්‍රම නම් සාමාන්‍ය මිනිසාම වූවේය.
‘මට හොරෙන් එන්නෙ එහෙම නැහැ ෂූට් කරන මගුල් බලන්න’
අප්පච්චි මට කළ එකම තහනම් නියෝගය එය විය. ඔහු මම රංගනයට පිවිසෙතැයි බිය වූයේ කිනම්
හේතුවක් නිසාදැයි මං දන්නේ නැත. ඔහුට ඇති බය පක්‍ෂපාතීත්වය නිසාම ෂූටින් කරන
අහලකටවත් මම නොගියෙමි. මේ වනතෙක් දර්ශන තලයක රූගත කිරීමක් සිදුවන්නේ කෙසේදැයි මම
නොදනිමි. වෙන අධ්‍යක්‍ෂවරුන් මාව රංගනයට ගනියි යැයි බියෙන් ඔහු පසු වූවේය. එහෙයින්
මෑතක්වන තුරුම මා තරම් ලොකු දුවක් ජෝ අබේවික්‍රමට ඉන්නා බැව් ක්‍ෂේත්‍රයේ
වැඩිදෙනෙකු නොදන්නා කරුණක් විය.
අප්පච්චි ජීවිතය කියාදෙන පොතක් බඳුය. සැබැවින්ම මා කියවා ඇත්තේ එහි පරිච්ඡේද දෙක
තුනක් පමණය. ඒ පුංචි පේළි කිහිපයෙන් මා උගතදේ බොහෝය. ඒ ප්‍රතාපවත් චරිතය මාගේ
අප්පච්චි වූයේ පෙර ආත්මයේ මා කරන ලද මහත් වූ කුසල කර්මයකින් බව මම අදද විශ්වාස කරන
කරුණකි.
හින්දි සිංදු ඒ අයුරින්ම අප්පච්චි තාලෙට විසිල් කරන අයුරු මට දැන් ඇසෙයි. එමෙන්ම
ඔහුට මවුත් ඕගනය ස්වර ප්‍රස්ථාර රහිතව වාදනය කරන්නට ද පුළුවන. ඒ හඬ අදටද මගේ දෙකන
නිම්නාද වෙයි.
ජීවිතය යනු බාධක ගොඩක්ය. ජීවිතය ජීවත් කරන්නට අප ගන්නා වෙහෙස අපමණය. ජීවිතයේ දී මට
මුහුණ දීමට සිදු වූ දහසකුත් එකක් බාධක පැමිණෙද්දී අප්පච්චි මට දුන් දිරිය ශක්තිය මට
මහමෙරක් තරම්විය. ඒ හැම තැනකදීම පණ ගසා නැඟිටින්නට අප්පච්චි සුරත පෑ අන්දම මේ
මොහොතේ මා සිහිකරන්නේ කඳුළු පිරි දෙනෙතිනි.
දෑස නිසා, වැලිකතර, බඹරු ඇවිත් චිත්‍රපට එදවස නරඹද්දී ඒ ඉන්නේ අප්පච්චිද කියා මට
සිතාගන්නට බැරිය. තිරයේදී විවිධ චරිත මැව්වද නිවසේදී එක් චරිතයක් වී ජීවිත කාලයම
ඔහු ගත කළේය. ඒ උත්තරීතර ගුණය මා සිහි කරන්නේ ආඩම්බරයෙනි.
තුෂාරා චිත්‍රපටයේ අප්පච්චි නාන්න ගොසින් වතුර සීතල වී කෑගසන දර්ශනය තරම් සිනහා
උපදවන එකක් මගේ ජීවිතය තුළ නොවීය. එවන් උපහාසයක් අප සිතෙහි ජනිත කළ අප්පච්චි බොහෝ
සංවේදී අයකු බව එක් දිනකදී දුටුවේය. ඒ අප්පච්චි ගේ අප්පච්චි මියගිය දිනයදීය.
අප්පච්චී එදින ළදරුවකු සේ හැඬුවේය. මටද ඇඬිණ. වාවාගත නොහැකි ශෝකයකින් මසිත වෙළා
ගැනිණ. ‘අනේ අප්පච්චි මෙච්චර සංවේදී කෙනෙක්ද?’
 |
|
ජෝ සිය පුතු සහ දුව සමඟ |
මට ඉබේටම කියැවිණ. එදින ගෙදර පැමිණි අප්පච්චි කල්පනාබරිතව හිඳින දර්ශනය මට තවමත්
මතකය.
නිවසේ හුදකලාවන සෑම තත්පරයකදීම අප්පච්චි මාගේ මතකයට එන්නේ නිරායාසයෙනි. මේ මොහොතේ
මට ජනපි‍්‍රය ගීතයක පද පේළියක් මතකයට නැඟේ
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හෙඳන් නුඹෙ ලෝකය එළිය වුණි
ඇත්තටම අප්පච්චි අපට ඉරක් විණ. ඒ ආලෝකය සදා නොවෙනස්ව අදටත් මට ජීවිත ගමන් මගෙහි
පියවර නඟන්නට ධෛර්යයක් වන්නේය. අප්පච්චී නැති වී දෙවසරක් ඉක්ම ගිය තැන අප මහරගම
පිළිකා රෝහලට දානයක් දුන්නෙමු. අප්පච්චී කොහොමටත් දාන මානවලට බෙහෙවින් කැමැතිය.
එදින මට දසදහස් වාරයක් අප්පච්චීව සිහි විණි. බොරැල්ල පොදු සුසාන භූමියේදී
අප්පච්චිගේ පිළිරුවක් තැනීම මාගේ හීනයක් විය.
එය සාක්ෂාත් කර ගන්නට මේ දිනවල මම වෙර
දරමි. ඒ සඳහා අදාළ පාර්ශවයන් මාහට සහයෝගය දෙනු ඇතැයි මම බලපොරොත්තු වෙමි. දැවැන්ත
රූස්ස ගසක සෙවණෙහි වසර ගණනාවක් සෙවණ ලද මම අද සිහින් සිරිපොද වර්ෂාවකට පවා
තෙමෙන්නේය. එහෙත් අප්පච්චී එදා ඉතිරි කළ ගිය ගුණදම් වගාකර ගත් බිම්කඩෙහි ස්ථිර
පදිංචිකාරියක් ලෙස මම ජීවිත කාලයම ගෙවා දමන්නෙමි. සැබැවින්ම අප්පච්චිගේද සිහිනය එය
වන්නට ඇත.
මම උදේනි කුමාරි අබේවික්‍රම
සටහන –
ප්‍රසාද් සමරතුංග
සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|