අසන්න ඇය යළිත් ගයන්නී
අසන්න ඇය යළිත් ගයන්නී
ගී යාත්‍රා සුභාවිත ගී නදිය 02 වැනිදා
‘නන්දා මාලනී – ගී යාත්‍රා’ විශාරද නන්දා මාලිනියගේ රන් ස්වරය යළිත් රසික සවන්පත්
අතර නිම්නාද වන සොඳුරු ඒක පුද්ගල ගීතාවලියකි.
ගීත නිර්මාණක කේන්ද්‍රය (ඔස්කා) මඟින් ඉදිරිපත් කරනු ලබන මෙම ගීත ප්‍රසංගය
පැවැත්වෙන්නේ නොවැම්බර් 02 වැනි දින සවස 7.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.
සාර්ථක ඕස්ට්‍රේලියානු සංචාරයකට පසුව නන්දා මාලිනිය ‘ගී යාත්‍රා’ ප්‍රසංගය හා
ඒකාත්මික වන්නේ කිසියම් උදාරතර අරමුණක් පෙරදැරිවය. මෙරට වෘත්තීය සංගීත ශිල්පීන්ගේ
සුබසාධනය වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කරන ඔස්කා සංවිධානයේ අරමුදල තරකර ගැනීමේ
සද්කර්යය උදෙසා ඕ දායක වන්නේ කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයකින් තොරව වීම විශේෂත්වයකි.
අපේ රටේ සංගීතය තම වෘත්තීය බවට පත්කරගත් සංගීත ශිල්පීන් සෑහෙන ප්‍රමාණයක් සිටිනවා.
ගායක, ගායිකාවන්, වාද්‍ය ශිල්පීන්, සංගීතඥයන්, ගී පද රචකයන් විතරක් නෙවෙයි, ශබ්ද
පරිපාලකයන් පවා සංගීතය තම ජීවනෝපාය කරගත් අය. ඇත්තෙන්ම මේ පිරිස තමන්ගේ මුළු ජීවිත
කාලයම වැය කරන්නේ සංගීතය වෙනුවෙන්. ඔවුන් බොහෝ දෙනකු මාසිකව ස්ථිර ආදායමක් උපයන අය
නෙවෙයි. යම් හෙයකින් ඔවුන් දුබලව ගියොත්, ලෙඩක් දුකක් හැදිලා අසරණ වුණොත් පිළිසරණක්
වෙන්නේ කවුද? වියපත්ව, කාත් කවුරුත් නොමැතිව ගියොත් පිහිට වෙන්නේ කවුද? එය බැරෑරුම්
ප්‍රශ්යක්නේ. මේවාට විසඳුමක් හැටියට තමයි ගීත නිර්මාණක කේන්ද්‍රය බිහි වෙන්නේ.
කලාකරුවන්ට සෞඛ්‍ය හා ජීවිත රක්ෂාවරණයක් ලබාදීමටත් ඔවුන් දැන් කටයුතු කරගෙන යනවා.
දශක පහක කාලයක් පුරාවට ගී ලොවේ අඛණ්ඩව රැඳී සිටිනා නන්දා මාලිනිය සංගම්, සංවිධානවලට
බැඳීමට හෝ ඒවායෙහි සාමාජිකත්වය දැරීමට හෝ උනන්දුවක් දැක්වූයේ නැත. නමුදු ඇය ‘ඔස්කා’
සංවිධානයේ මේ මාහැඟි කාර්යයට උර දෙන්නේ අසීමිත සතුටකිනි.
විශාරද අමරදේවයන්ගේ පටන් මේ රටේ සංගීත ශිල්පීන්ගෙන් 85% ක් පමණ ‘ඔස්කා’ සංවිධානයේ
සාමාජිකත්වය දරනවා. හැම වසරකම මෙහි අරමුදල තර කර ගැනීම සඳහා සංගීත ප්‍රසංග
පැවැත්තුවා. නමුත් මේ විදිහේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.
ජයන්ත ධර්මදාස මහතා ඇතුළු ‘ඔස්කා’ සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනුයි මට මේ
ප්‍රසංගය සඳහා ආරාධනා කළේ. ඇත්තෙන්ම ‘ගී - යාත්‍රා’ ප්‍රසංගයට මම දායක වෙන්නේ
කිසිදු මුදලක් අය නොකර. ‘ඔස්කා’ හොඳ නායකත්වයක් ඇති ශක්තිමත් සංවිධානයක් සහ යහපත්
පරමාර්ථයක් ඇති සංවිධානයක් නිසයි මම මෙවැනි කාර්යයකට අත පෙව්වේ.
‘නන්දා මාලිනී – ගී යාත්‍රා’ ප්‍රසංගය ඇගේ සෙසු ඒක පුද්ගල ගී ප්‍රසංග මෙන් දිගින්
දිගටම පැවැත්වෙන්නක් නොවේ. එය එක් වරක් පමණක් ගීතවත් වන සුවිශේෂි ප්‍රසංගයකි.
මේ ප්‍රසංගයේදී මගේ ගායන දිවියේ සුවිශේෂී කඩයිම් ගීත විසි පහක් ගායනා කරනවා. සංගීතය
සපයන්නේ ආචාර්ය රෝහණ විරසිංහ ප්‍රමුඛ වාද්‍ය වෘන්දය. මෙහි නිවේදක නිවේදිකාවෝ නැහැ.
මමම තමයි ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම නර්තනාංග නැහැ. ‘ගී යාත්‍රා’ වෙනස්ම
මුහුණුවරකින් ඉදිරිපත් කරන ගී ප්‍රසංගයක්. මෙහි සංවිධාන කටයුතු සියල්ලම සිදු කරන්නේ
‘ඔස්කා’ සාමාජික සාමාජිකාවන්. අප විසින්මයි ප්‍රවේශපත් අලෙවි කරන්නෙත්. අපේ
සාමාජික, සාමාජිකාවන් පවා මුදල් දී ප්‍රවේශ පත්‍රයක් අරගෙන තමයි ප්‍රසංගය නරඹන්න
එන්නේ. ඒ සියලු මුදල් ‘ඔස්කා’ සංවිධානයේ අරමුදලට බැර කරනවා.
හෙළ සුභාවිත ගීතයේ අභිමානවත් යශෝරාවය වෙමින් සහෘද දෙසවන් මතු නොව හදවත ද සනහාලන
නන්දා මාලිනියගේ ‘ගී යාත්‍රා’ හා දැහැන්ගත වන්නට අප ඔබට ඇරියුම් කරමු. මේ ඇගේ මුදු
හඬයි.
වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම්වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින් . . .
|