වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා එම සම්මාන උළෙල නියෝජනය සඳහා යවා ඇති සමහර චිත්‍රපට ලංකාවේ අපට නැරැඹීමට නොලැබීම ගැන ඔබතුමා කුමක් සිතන්නේ ද?

තිලකරත්න විල්වල – කෑගල්ල

හැම චිත්‍රපටම නොවෙයි තිලකේ, සමහර චිත්‍රපට නම් නරඹන්න නොලැබීමත් කොච්චර එකක්ද කියලා හිතෙනවා.

පැරැණි චිත්‍රපටවල පසුබිම් ගීතය තුළ පවා කිසියම් කතාවක් ගැබ්ව තිබුණා නේද?

ලක්ෂ්මන් රණසිංහ – වත්තල

ඔව් ඉතින් සමහරුන්ට චිත්‍රපටයෙන් කතාව කියන්න බැරි වුණාම සිංදුවෙන් කතාව කියනවානේ.

ඉන්දියාව දෙකඩවීමෙන් පසුව පාකිස්ථානය බලා ගිය ප්‍රවීණ ගායිකා නුර්ජෙහාන් සාම්ප්‍රදායික මුස්ලිම් කතක් වූවාද? ඇය ගැන කෙටි සඳහනක් කරන්න.

එම්. එච්. ගීතරත්න – අලුත්වත්ත – බටපොළ

ඇය කොහොමත් උත්පත්තියෙන් පන්ජාබ් ජාතික මුස්ලිම් කාන්තාවක්. ඇය පකිස්ථානයේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාවයි. ඇගේ ප්‍රථම හා දෙවන විවාහ දෙකම දික්කසාදයෙන් කෙළවර වුණා. ඇය දෙවන වර විවාහ වූයේ පන්ජාබයේ ජනප්‍රිය නළුවකු වූ ‘දුරානි’ සමඟයි. කෙසේ වෙතත් ඇය 1961 පසුව රඟපෑවේ නැහැ. 2000 වසරේ දී ඇය ජීවිත සිනමාවෙන් සමුගත්තා.

ඒ කාලේ වගේ අද චිත්‍රපට ගීත ජනප්‍රිය නොවන්නේ ඇයි?

සුජාතා ගුණවර්ධන – කඩවත

ඇයි සුජාතා, සමනළ සංධ්වනිය, සිරි පැරකුම්, කුස පබා චිත්‍රපටවල ගීත ජනප්‍රියයිනේ.

ආනන්ද සමරකෝන්ට හා සුනිල් ශාන්තයන්ට නම්බුනාම ලැබුණාද?

චාමර ප්‍රේමනාත් විජේසිංහ – පිළියන්දල

කළ හොඳ වැඩත්, කීර්තිමත් නාමයත් හැරුණාම කෙනෙකුට තව නම්බුනාම මොකටද චාමර.

මොහොමඩ රාෆී, කිෂෝර් කුමාර්, මුකේශ් වැන්නවුන්ගේ අභාවය ඉන්දීය වාණිජ සිනමාවට කිව නොහැකි අඩුවක් ගෙන දුන්නද, යුගයක් සමග වෙනස් වෙමින් අද කුමාර් සානු, උදිත් නාරායන්, සෝනු නිගම් වැන්නවුන්ගේ මිහිරි ගීත විටින් විට හෝ අපට අසන්නට ලැබේ. නමුත් අපේ රටේ ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසු අද නළුවන්ට සරිලන ගායකයෙක් නොමැති බව බහුතරයක් පවසයි. ඔවුන් ජෝතිපාලයන් හට බෙහෙවින් ඇබ්බැහිවූවන්ද? ඔබේ අදහස කුමක්ද?

ජානක ඉලුක්කුඹුර – කඩවත

ජෝතිපාලගේ ජනප්‍රියත්වය ඔහුගෙන් පසුව චිත්‍රපට පසුබිම් ගායනයට අඩුවක් තියෙන බව මා පිළිගන්නවා. නමුත් ජෝතිපාලගේ චිත්‍රපට ගීත නැවත නැවත යොදා ගනිමින් පෙනී යන්නේ සිනමාකරුවන්ගේ නොහැකියාවයි.

හින්දි සිනමාවේ ගිනිසිළුව නමින් ප්‍රකට වෛජයන්තිමාලා රංගනයට පිවිසුණේ කුමන චිත්‍රපටයෙන්ද? ඇය ගැන කෙටි විස්තරයක් පළ කරනවාද?

එම්. ඉන්ද්‍රපාල – මුංහේන

ඇයගේ මුල්ම චිත්‍රපටය 1949 දී තිරගත වූ ‘වාල්කයි’ නම් චිත්‍රපයයි. ඒ වන විට ඇගේ වයස අවුරුදු 13 යි. වෙජයන්තිමාලාගේ මුල්ම හින්දි චිත්‍රපටය වූයේ ‘ලඩ්කි’ චිත්‍රපටයයි. ප්‍රකට දෙමළ නිළියක වූ වසුන්දරා දේවිට හා එම්. ඩී. රාමස්වාමිට දාව උපන් ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියක්.

ඇතැම් ඕපාදූපයක කියැවෙන පරිද්දෙන් ඇගේ පියා වන්නේ මයිසූර් හී මහා රාජායි. කෙසේ වෙතත් දකුණු ඉන්දියාවේ සිට හින්දි සිනමාවට පිවිසි නිළියන්ගෙන් ඇගේ දක්ෂතාවට යන්තම් හෝ සම කළ හැක්කේ ශ්‍රී දේවි පමණයි. දොස්තර චමත් ලාල් බාලි සමඟ 1965 දී විවාහ වූ පසු ඇය සිනමාවෙන් සමුගත්තා. පසුව ඇය නර්තන පාඨශාලාවක් ආරම්භ කළා. ඇගේ අවසාන චිත්‍රපටය වූයේ ‘මුගවරී’ නමැති දෙමළ චිත්‍රපටයයි. එහි ඇගේ පුතු සුමේන්ද්‍ර චරිත නිරූපණය කළා. නමුත් ඔහු එතරම් ජනප්‍රිය නළුවකු වූයේ නැහැ.

මාතලන් චිත්‍රපටයෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ක්ලැරිස් ද සිල්වා ගැන අලුත් යමක් අපට කියා දෙන්නකෝ.

මැණිකේ විල්වල – කෑගල්ල

ඇය දැන් රඟපාන්නේ නැහැ. දැනට කියන්න තියෙන්නේ එපමණයි.