වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මේනකා - හංසි - ආක්ෂා ගැටුම ඇත්තටම මොකද වුණේ

මේනකා - හංසි - ආක්ෂා ගැටුම ඇත්තටම මොකද වුණේ

සරසවිය ප්‍රශ්නවලට තිදෙනාගෙන් පරස්පර විරෝධී පිළිතුරු

නව පරපුර නියෝජනය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙපොළක් වන මේනකා මධුවන්ති සහ අක්ෂා සුදාරි, හංසි සිතාරා නම් නිරූපිකාවකට පහරදී ඇය සතුව තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් මංකොල්ල කෑ බවට පුවතක් පසුගිය සතියේ රටපුරා පැතිර ගියා. මේ සිදුවීම සිදුවී තිබුණේ රූපලාවණ්‍ය ශිල්පිනී නිලුකා කොඩිකාරට අයත් නුගේගොඩ පිහිටි රූපලාවණ්‍යාගාරයකදීයි. මේ සිද්ධියේ ඇත්ත නැත්ත සොයා ඔබ වෙත ගෙන ඒමේ අරමුණින් අපි මෙයට අදාළ පාර්ශ්වයන්ට කතාකළා.

පළමුව අදහස් දැක්වූයේ නිලුකා කොඩිකාර.

* අපට ලැබෙන ආරංචිවල හැටියට මේනකා සහ ආක්ෂා හංසි සමග ගැටුමක් ඇතිකරගෙන තියෙන්නෙ ඔබේ රූපලාවණ්‍යාගාරයේ. මොකක්ද එදා සිද්ධවුණේ?

මෙහෙමයි. කියන්න තරම් ගැටුමක් ඇති වූයේ නම් නැහැ. හැබැයි මේ අය වචනවලින් යම් හරඹයක් කරගත්තා. මම සිදුවූ සම්පූර්ණ සිද්ධිය කියන්නම්.

මම හංසිට එන්න කිව්වා බ්‍රයිඩ්ල් ෂෝ එකක ඇඳුම් වගයක් ෆිටොන් කරන්න. ඇය ආවා. මං ඒ වෙලාවටම මේනකාටත් එන්න කියලයි තිබුණේ. නමුත් ඇය ටිකක් ප්‍රමාදවෙලා ආවේ. මේනකාත් එක්ක ආක්ෂා සහ ඇයගේ මවත් හිටියා. මෙතැන හංසි ඉන්නවා දැක්කා විතරයි එයාලා අතර යම් බහින්බස්වීමක් වුණා.

* මොනවද එයාලා කතා බහ කරගත්තේ?

මං හිතන්නෙ පෞද්ගලික ප්‍රශ්නයක්. මට ඒක අදාළ නැති නිසා මං වැඩිය අහගෙන හිටියෙත් නැහැ.

* ඒ වුණත් ඔබට මතක ඇති විදිහට ඇහුණු වචනයක් දෙකක් කියන්න පුළුන්ද?

ඒවා එයාලගෙ පෞද්ගලික ප්‍රශ්නනේ. මට මොකටද ඒවා.

* හරි ඔවුන් බහින්බස්වෙද්දී ඔබ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද?

මගෙ සැලූන් එක ඇතුළෙ කිසිම රණ්ඩුවක් වෙනවට මං කැමැති නැති නිසා, ඔවුන්ට කිව්වා “කරුණාකරලා එළියට ගිහින් ප්‍රශ්නය විසඳගන්න” කියලා.

* ඒත් එතැන විශාල ගැටුමක් ඇතිවුණා කියලයි අපට නම් දැනගන්න ලැබුණේ?

මොන බොරුද ඔය කියන අන්දමේ කිසි ගැටුමක් වුණේ නැහැ.

* ඔබ ඒ ප්‍රකාශය ඉතා වගකීමෙන්ද අපට කියන්නෙ?

ඔව්.

* ඔබ හංසිව කොච්චර කල් ඉඳලා අඳුනනවද?

වැඩි කාලයක් නැහැ. ඇයව ගන්න හිතාගෙන හිටියෙ පළමු බ්‍රයිඩ්ල් ෂෝ එකෙහි ඇඳුම් බලන්න තමයි එන්න කිවේ.

* හංසි නම් කියන්නෙ ඔබ සැලසුම් සහගතව ඇය සහ අනිත් නිළියන් දෙදෙනා මුණ ගැස්සුව බවයි?

මං හරි ස්වාධීන තැනැත්තියක්. මං මේ වෙලාවේ කාගෙවත් පැත්තක් අරගෙන කතා කළේ නැහැ. ඒකයි එහෙම කියනවා ඇත්තේ.

නිලූගේ අදහස් දැක්වීමෙන් අනතුරුව අප ආක්ෂාව සම්බන්ධ කර ගැනීමට දැඩි උත්සාහයක යෙදුණා. නමුත් ඇයගේ ජංගම දුරකථනයට සම්බන්ධවීමට අපට නොහැකි වුණා. අපි හංසිටත් කතා කළා. ඇය පැවසුවේ තමා වැඩක යෙදී ඉන්නා බවයි. හරියටම පැයකින් තමාට කතා කරන ලෙස ඇය අපට පැවසුවා. ඒ හින්දා ඉන් අනතුරුව අප මේනකා මධුවන්තිට ඇමතුමක් ලබාගත්තා. ඇය කියන්නේ මෙවන් කතාවක්.

* මේනකා ඔබ රිමාන්ඩ්භාරයේ කියලා කටකතාවක් පැතිරෙනවා?

මටත් ඕක ආරංචි වුණා. රිමාන්ඩ් එකේ ඉන්නවා නම් ෂූටිං එන්න බැහැනේ. අනික මේ විදියට දුරකථනයෙන් කතා කරන්නත් පුළුවන්ද රිමාන්ඩ් එකේ ඉන්නවා නම්.

* ඔබට මොනවද මේ වෙලාවේ මේ සිද්ධිය ගැන කියන්න තියෙන්නේ?

මේක එහෙම් පිටින්ම අහක යන කුණුගොඩක් පැත්තක ඉන්න මාත් ඒකට ගෑවුණා. එදා මං නිලූ අක්කගෙ සැලොන් එකට යද්දි ආක්ෂා කෝල් කළා. මං සැලුන් එකට යනවා කියලා දැන ගත්තම එයත් මාත් එක්ක ආවා. එතකොටත් හංසි එතනට ඇවිල්ලා. හංසියි ආක්ෂයි ගජ යාළුවො මං දන්න විදිහට. ආක්ෂා රට ඉඳලා එද්දි හංසිට ඇඳුම් පවා ගෙනත් තියෙනවා. එච්චරට එයාලා යාළුවො. ආක්ෂා හංසි හටි දැක්ක හිටි හැටියෙ යම් බහින්බස්වීමක් වුණා.

මං එවලෙ පුදුමවෙලා ඇහැව්වා ඔයාලා හොඳම යාළුවො වෙලා ඇයි මෙහෙම කියවගන්නෙ කියලා. කොහොම හරි එතැනින් මං ආක්ෂාව අරගෙන ආවා.

* ආක්ෂා හංසිට පහර දුන්නේ නැද්ද? ඔයත් ඊට සම්බන්ධ වුණාලු.

පිස්සුද? අනික හංසි කියන්නෙ කවුද? එයා නිකම්ම නිකම් මොඩ්ලර් කෙනෙක් විතරයි. එයත් එක්ක ගහගන්න තරම් අපි මෝඩ නැහැ.

* ඒත් හංසි ඔබලාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා නේද?

මේ සිද්ධිය වෙලා දවස් කිහිපයකට පසුවයි ඇය එහෙම කරලා තියෙන්නේ. ගැටුමක් වුණානම් එවලෙම පොලිසි යන්න එපායැ.

* එතකොට හංසිගෙ ජංගම දුරකථනය ඇතුළු වටිනා භාණ්ඩ ඔබලා පැහැරගත්තයි කියන කතාව?

ඇන්ට්‍රියෙත් ඕවා කියලා තියෙනවා. මොන අමූලික බොරුවක්ද ඒක. එයාට ඒවා ඔප්පු කරලා පෙන්වන්න කියන්න. ඇයගේ මාලයක් අපි කඩාගත්තා කියලත් කියනවා. එහෙමනම් බෙල්ලේ සිරීම් තුවාලයක්වත් තියෙන්න ඕනෙනෙ. මට පේන්නෙ හංසිට ඕනෙ ජනප්‍රියවෙන්න.

* ඔබ දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?

මේ සිදුවෙච්ච අපහාසයට මං නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. උසාවියෙදි ඔප්පුවේවි කවුද වැරැදි කළේ කියලා.

අපි යළිත් හංසිට ඇමතුමක් ගත්තා. එවෙලෙනම් ඇය නොපැකිලී කතා කරන්න ඉදිරිපත් වුණා. හැබැයි ඇය නම් කිව්වේ ඉහත දෙදෙනාට වඩා හාත්පසින්ම වෙනස් වූ අදහසක්.

මේනකයි, නිලුයි කියන්නෙ පට්ටපල් බොරු. මට වෙච්ච දේ මමයි දන්නේ. මම තවමත් කම්පනයෙන් වගෙයි ඒ සිද්ධිය නිසා.

* ඔබ කියන්නෙ ඔබට ඔවුන් පහර දුන්නයි කියන එකද?

ඔව්. එදා මේනකයි ආක්ෂයි ඇවිත් මගෙ ළඟට වෙලා අපහාසාත්මක හින්ට් පාස්කළා. මං නිශ්ශබ්දව හිටිය. එකපාරටම ආක්ෂා මගෙ ළඟට ඇවිත් “උඹ මොකටද මගෙ කොල්ලත් එක්ක කතා කරන්නෙ කියලා මගෙ කම්මුලට දැඩිව පහරක් එල්ල කළා.”

* ආක්ෂා කොල්ලා යනුවෙන් අදහස් කළේ කාවිංග පෙරේරාවද?

නැහැ. නැහැ. ඇය දැන් කාවිංගත් එක්ක නැහැ. වෙන කොල්ලෙක් ආක්ෂාට දැන් ඉන්නවා. මං මොකදට එයාට කතා කරන්නෙ. ආක්ෂා තව මොකක් හරි දෙයක් කියලා මගෙ දකුණු අත හයියෙන් හැපුවා. මේ අතර මේනකා එතැන තිබුණු ඇඳුම් ගොඩක් එක්ක මගෙ ෆෝන් එක අතට අරගෙන. මං ඒක දැකලා ෆෝන්එක ගන්න හදපුවාම ඇය ඒක කෑලි කෑලි යන්න පොළවෙ ගැහැව්වා. ඊට පසුව ආක්ෂා මට හීල් එකෙන් ඔළුවට ගැහැව්වා. මාව තල්ලු කළා. එතකොට මාව සැලොන් එකේ තිබුණු ලොකු වීදුරුවක වැදුණා. මං හිතුවෙ ඒක මගෙ ඇඟට වැටෙයි කියලා. මගෙ ඇඳුම් පවා ඉරුවා. වටිනා දේ පැහැරගෙන ඔවුන් ගියා.

* ඊට පස්සේ?

මට මාර අවුල්. මං බැරි බැරි ගාතෙ බෙහෙත් ගන්න ගියා. මට වෙච්ච තුවාල මොනවද කියලා මං ගත්තු එක්ස්රේ වල තියනවා. ඒක නිසා ඒ හැම දෙයක්ම මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. කවදාහරි ඇත්ත එළිවෙනවනේ.

ආක්ෂාට ඇමතූ එක් උත්සාහයක් සාර්ථක වුණා. නමුත් ඇය පෞද්ගලික කටයුත්තක යෙදී සිටියා.

අයියෙ මේ සිද්ධිය ගැන කවුරුවත් දන්නෙ නැති කතාවක් තියෙනවා. මං පොඩ්ඩක් ෆ්‍රීවෙලා ගන්නම්.

එහෙම කියලා ඇය දුරකථනය විසංධි කළා කළාමයි තවමත් ඇය ඒ කතාව කිව්වේ නැහැ. ඊළඟ සතියේ ඇය මේ පිළිබඳ අදහස් දක්වාවිද?

බලමු...