වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




දසුන්ට කම්මුල් පාර විසිහතරක්

දසුන්ට කම්මුල් පාර විසිහතරක්

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන දිගා වෙලා හිනා යන මෙගා දර්ශන තලයේ සිට

අපි එතනට යද්දී ටිකක් හවස් වෙලා. වාහනේ හිමින් ගිහිං දර්ශන තලය අසල නැවතුණා.

පන්නිපිටියට නුදුරු ඒ දර්ශන තලය සුවිසල් නිවෙසක්. ශාන්ත පරිසරයකින් හෙබි ඒ නිවෙස අවට පරිසරය තවමත් ග්‍රාමීයයි.

‘අඩෝ . . . දැනගනිං . . . මං තෝව’

වාහනෙන් බහින කොට මහ රණ්ඩුවක්.

‘ඇයි උඹ මොනව කරන්නද . . . මම ඇක්ට් කරන්න ඉගෙන ගන්න අවෙ නෑ ඩෝ . . . උඹ ඒ ඩී වුණ පළවෙනි එකෙත් මාං නළුවෙක් . . .’

රණ්ඩුව තත්පරයෙන් තත්පරේට හැරෙන්නේ නරක අතට.

පුටු මේස වීදුරු ගැටෙන සද්දෙ පරිසරයේ නිහඬ බව බිඳ දැම්මේ තත්ත්පර කිහිපයකින්.

‘ඇති බං . . .’

තව කීප දෙනෙක් රණ්ඩුව බේරන්න උත්සාහ කරන පාටයි.

රණ්ඩු අස්සේ මොන ලොකේෂන් කවරේජ්ද. මං ආයෙ වානයට නැංගෙ මාලනුත් අඬගහගෙනමයි.

‘චතුර විනාඩියක් ඉන්න’

දමින්ද මඩවල නිවෙසේ සඳළුතලයේ ඉඳන් අපට පැවසුවේ හිනාවෙන් මුව සරසාගෙන.

‘හරි . . . අපි නැවතුණේ ගේට්ටුව අසළ තුරු සෙවණේ.

ටික වෙලාවකට පස්සේ එතනට ආවෙ මෙගා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ දමින්ද මඩවල.

‘අද තිබුණෙ නළුවෙක් ඒ ඩි ට ගහන සීන් එකක්.

දසුන් උඩුකුඹුරගෙන් කම්මුල් පාරවල් විසි හතරක් කෑවා.

දමින්ද එහෙම කියලා ඉවර වෙනවත් එක්කම දසුන් ආවෙ කම්මුල අතගාමින්.

‘අන්තිම දෙක තුන සැරටම වැදුණා.

මේ රණ්ඩුව මොකද්ද කියලා තේරුම් ගත්තු අපි දර්ශන තලයට ගොඩ වුණේ ගොම්මනත් රැගෙනමයි.

ලොකු ගඩොල් කැටයක් අතේ තියාගෙන ජම්බු ගහක් යට බංකුවට වෙලා ලසන්ත උඩුකුඹුර ගඩොලට තඩි බාන්නේ තරහ ඇවිස්සිච්ච ගතිය පතුරුවමින්.

‘ඉතිං’ මං එතන බංකුවේ වාඩි වුණේ අනවසරයෙන්.

‘මං මේ සීන් එකකට පුරුදු වෙනවා. අද ඔක්කොම තියෙන්නේ පහරදීම් එවා. ඉස්සෙල්ල ඒ ඩී ට ගැහුවා. දැන් ගඩොලට ගහනවා.

දැන් දර්ශනය රූගත කිරීමට සියල්ල සූදානම්.

දර්ශනයේ ඇතුළත් වෙන්නේ උඩුකුඹුර ගඩොලකට දෙකට කැඩෙන්න ගහන්නට උත්සාහ දරන දර්ශනයක්.

දර්ශන වාර කිහිපයක් ගෙන අවසානයේ උඩුකුඹුරගේ දකුණත දම් පැහැය වෙලා තියෙනවා හැම දෙනාම දුටුවා.

ඊළඟ දර්ශනය ගෙන වැරැදි නිවැරැදි පරීක්ෂා කරමින් කණ්ඩායම රාජකාරි කටයුතුවල.

‘තෙවැනි විසිසුරුගෙන් කුමන පිළිතුරක් ලැබේද. අවුට් ද නොටවුට් ද?

චාමර තිරය පිරික්සමින් සිටින අතරේ උඩුකුඹුරගෙන් ලැබෙන්නේ සිනහව ජනනය කරන පිළිතුරක්.

මේ අතරේ චැලියකට නැගුනු නානායක්කාර දර්ශන රූගත කරන වාරයක් පාසාම

‘ස්ටාට් කරන්න ද මේක’

යනුවෙන් අසන්නේ හැම දෙනාගේ අවධානය තමා වෙතට ගනිමිනි.

සුන්දරත්වයෙන් මෙන්ම සිනහවෙන් පිරුණු මෙගා දර්ශන තලයේ සුන්දර කතා එමටයි.

එය සැබෑවටම මෙගා තරමටම සොඳුරුයි. අලුත්.