|
|
මම දිරියෙන් නැගුන ගැහැනියක් ඉතින් ඇයි පිරිමියකු ළඟ දණ නමන්නේ
නිරෝෂා වෙන්නවත් සමිතා වෙන්නවත් නිල්මිණි වෙන්නවත් වෙන කාටවත් බෑ
‘ප්‍රේම මන්දිරේ ඇය ගයන්නීය. භාවනාවකට සම වැදුනා සේ ඈ ගීතයට ජීවයක් ලබා දෙයි. ප්‍රේමයේ කුරිරු ගින්නෙන් දැවී අළුව යන දහසක් හදවත් මතට මහා සිසිලසක් මේ හඬින් දැනේ. නෙතු පලා යන කඳුළක තෙතමනය හද දවා යන සුසුමක වියෝව සන්සුන් මනසකින් විඳ දරා ගන්නට ඇගේ හඬින් අපට පුළුවන. ප්‍රාර්ථනා කළ ලෝකය සුනු විසුනු වී යන විට ප්‍රේමයේ මල් මකරන්දය හිස මත කඩා වැටෙන විට . . . ආදරයේ දෙව් රුව සිඳී බිඳී ගිය කල . . . ජීවිතය අද්දර හිඳ සිනාසෙන්නට කියා දෙන්නී ඇයයි . . . ගී ලොව වැජඹෙන විරාජිනිය ඇයයි. ජීවිතය් හැල - හැප්පීම් රාශියකට මුහුණ දුන් මේ කෝකිලාවිය කලකට පසු සරසවිය පුවත්පත හා සෙනෙහසින් ළෙන්ගතු කතාබහකට එකතු වූයේ ගීතය තරමට අපූරු වූ ඇගේ ජීවිතය ගැන කතාබහක නියැළෙන්නයි. ඔබෙත් – මගෙත් ආදරනීය නිරෝෂා දැන් මා අබියසයි. ‘ඉතාලි ගිහින් ලංකාවට ආවේ ඊයේ. ඇවිත් හුස්ම ගන්නවත් පුළුවන් වුණේ නෑ, තවම ආපු වෙලාවේ ඉඳන් වැඩ . . . වැඩ . . .’
* මේ තරමට මොනවද වැඩ අක්කේ?’ ගැහැනියක් ජීවිතේ හැම දේම තනියම කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමේ මල්ලි. සංගීත ක්ෂේත්‍රයේම කොච්චර වැඩ ද . . . මේ දැනුත් රෙකෝඩින් එකකට ගිහින් එන ගමන්.’
* ‘අක්කේ ඔබ නිතරම විදේශ ගත වෙන ශිල්පිනියක්?’ ‘මට එන ෂෝ ඔක්කොම භාරගත්තා නම් ඔයාලට මාව ලංකාවේ දකින්න හම්බ වෙන්නේ නෑ. විදේශ රටවලින් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මොකද මල්ලි අද මම මේ ඉන්න තැනට එන්න නොසෑහෙන්න දුක් වින්ඳා. මගේම උත්සාහයෙන් තමා අද මම වැජඹෙන්නේ.’
* අපි දන්න හැටියට මුතු පලසක් උඩ ආ ගමනක් නෙමේ සංගීත ක්ෂේත්‍රයේ ඔබට තිබෙන්නේ? සත්තකින්ම ඔව්. මගේ අම්මා මාව මේ තැනට ගේන්න නොසෑහෙන්න දුකක් වින්ඳා. අපි ඈත පළාතක දුෂ්කරතා රැසක් මැද ජීවත් වූ අය. අව්ව, වැස්ස එක්ක අපි පොර බදලා තියෙනවා. මම ජීවිතේ හොඳට දුක හඳුනනවා. එහෙම දුක් විඳපු නිසා තමා අද දෙයියනේ කියලා කාටවත්ම අත නොපා ලස්සන ජීවිතයක් ගත කරන්නේ. මුතු පලසක් තියා පැදුරු කෑල්ලක්වත් එදා මම ආ මඟට එලන්න අය හිටියේ නැහැ.’
* ඔබ විඳී දුක ඔබේ මුල්ම ගීතය ගායනා කරන යුගයේදී පවා තිබුණා නේද? ‘සිත හඬයි මගේ මුල්ම වීඩියෝ ක්ලිප් එක කලාකුරකින් හරි අද දකින කොට පුදුමාකාර සංවේදී බවක් මටම ඇති වෙනවා. එදා - අද ජීවිතය කොයි තරම් නම් වෙනස් වුණාද. අද වාගේ ලස්සන ඇඳුම් - පැලඳුම් – ආභරණ එදා තිබුණේ නැහැ. බොහොම දුක සේ අසීරුතා මැඬ ගෙන ආ ගමන් මගේ ලොකු ජයග්‍රහණයක් අද මම ජීවිතේ භුක්ති විඳීනවා.
* ‘මම හිතන්නේ ක්ෂේත්‍රයට එන්න ඉන්න දුප්පත් නංගිලාට ඔබ ලොකු ආදර්ශයක්? දෙවියන් දීපු හඬ හැර මේ නිරෝෂාට වෙන මුකුත්ම එදා තිබුණේ නෑ. එදා උදව් කරන්න අත දෙන්න කවුරුවත් හිටියේ නෑ. පසු නොබසින උත්සාහය තමා ශක්තිමත් ගමනක් මා රැගෙන ආවේ. ඒ නිසා අද මාව වට්ටන්න ලෙහෙසියෙන් කෙනෙකුට බැහැ. * පසුගියදා පැවැති දෙරණ – ලක්ස් සිනමා සම්මාන උළෙල තුළ ඔබ යළිත් වතාවක් සම්මානනීය වුණා? සම්මාන ලබාදීම තුළින් දක්ෂ ශිල්ප - ශිල්පිනියන් ධෛර්යයමත් කරවනවා. කුස පබා හි ‘ප්‍රේම මන්දිරේ’ ගීතය ඒ චිත්‍රපටයේ එන සංවේදීම ගීතයයි. මා ගැන විශ්වාසය තබා මට එම ගීතය ලබා දීම පිළිබඳව සුනිල් සර්ට මම ගරු කරනවා. ප්‍රෙමයේ කටුක බව එම ගීතය පුරා අපූරුවට කියවෙනවා.
* ‘අක්කේ මේ තරම් අපූරුවට ඔබ ප්‍රේමයේ විරහව ගයන්නේ ඔබත් ජීවිතේ විරහව අත්දැකලා ඇති නිසා ද? විරහව අත් දකින්නම ඕනේ නෑ මල්ලි දැනෙන්න ගයන්න. එහෙම නම් මගේ මුල්ම ගීතය සිත හඬයි ගායනා කරද්දීවත් මට ආදරය දැනිලා තිබුණේ නෑ. ගී පද හොඳින් තේරුම් ගත්තම ඒ ගීතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්.
* ඔබේ ගීතවලින් කියවෙන බොහෝ දේ ඔබේම අත්දැකීම් දෝ කියලත් හිතෙනවා? මගේ ජීවිතේ පහුගිය කාලේ සිදු වූ යම් යම් දේ දිහා බලන විට එහෙම හිතුණාට වරදක් නෑ. ආදරය . . . විරහව . . . අහිමි වීම . . . තනිකම . . . පාළුව මේ හැම දේම අපිට උරුම දේවල්නේ. හැබැයි දැන් මම අත්දැකීම්වලින් පොහොසත්. සමාජය ගැන හොඳ අවබෝධයක් ඇති හොඳ – නරක ඉතාමත් හොඳින් තේරුම ගන්න පුළුවන් කෙනෙක්.
* එහෙත් අතීතයේ ඔබටත් වැරදුණ තැන් තිබුණා? සර්ව සම්පූර්ණ මිනිස්සු ලෝකයේ කොතනකවත් නැහැ. කවදා හරි, කාට හරි කොතනකදී හරි වැරදිලා තියෙනවා. හැබැයි එදා එහෙම වැරදුණ නිසා තමා අද බුද්ධියෙන් ජිවිතය දිහා බලන්න පුළුවන් වුණේ. එදා මේ නිරෝෂා හරිම අහිංසක ගැහැනු ළමයෙක්. විඳපු අත්දැකීම් තුළින්ම මාව ශක්තිමත් ගැහැනියක් බවට පත් කරලා දැන්.
* ඔබ හිතන්නේ ඔබට විවාහය වැරදුණේ කාගේ වැරදි හින්දා කියලාද? විවාහ ජීවිතය තුළ තියා සමාජය තුළවත් මම වැරදි කරලා නෑ මල්ලී. මමත් කසාදයක් බැඳලා පවුල් ජීවිතය ඇතුළට ගියේ බිරියක්, මවක් ලෙස ඒ භූමිකාවන්වලට ආදරයෙන් මුහුණ දෙන්න හිතාගෙන. ලෝකයේ කිසිම ගැහැනියක් ආසාවෙන් පවුල් ජීවිතය කඩා බිඳ දාගන්නේ නැහැ. එත් නොගැළපීම් තියාගෙන ලෝකෙට පේන්න අපි දෙන්නා හරි ආදරයෙන් ඉන්නවා කියලා මවා පෙන්වන්න මට බෑ.
* සමිතා එරන්දතී පැවසුවේ මමවත්, නිරෝෂාවත්, නිල්මිණිවත් ආසාවෙන් එකම බෝට්ටුවකට නැග්ගේ නැහැ කියලා? ඇත්තනේ මල්ලී, මට පෙන්නන්න ආසාවෙන් පවුල් ජීවිතයෙන් එළියට බැස්ස එක කාන්තාවක්ව. කවුරුත් කැමැති හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. ඇත්තමයි මේ ළඟදී මම නිල්මිණි එක්ක කීවෙත් අපිට ළං වෙන පිරිමි අපිව තේරුම් ගත්තේ නෑනේ කියලා.
* අක්කේ, පළමුවැනි . . . දෙවැනි . . . වාගේ මේ සෑම විවාහයක්ම බිඳීලා යද්දී කෙනෙක් කියන්න බැරි ද එයාට මිනිස්සු යාදෙන්නේ නැහැ කියලා? ගැහැනුන්ගේ පැත්තෙන්ම විතරක් ඔහොම හිතන්නේ ඇයි මල්ලි. පවුල් ජීවිතයක් ගත කරන්න තිබෙන ආශාව හින්දානේ මගේ පළමු විවාහය බිඳ වැටුණු පසු දෙවැනි විවාහයටත් පා තබන්නේ. නැතිනම් මිනිස්සු ඕනෑම නෑ කියලා ඉන්න බැරියැ. මේකනේ මල්ලි, මේ සමාජය මැද අපි විශේෂ කාන්තාවෝ. විවාහ වෙලා දරුවෝ හදන්න හැම කාන්තාවටම පුළුවන්. ඒත් නිරෝෂා විරාජිනි වෙන්නවත් සමිතා මුදුන්කොටුව වෙන්නවත්, නිල්මිනි තෙන්නකෝන් වෙන්නවත් ලෝකේ කාටවත් පුළුවන්ද? බෑ. . . ඒකයි දෙවියන් අපිව විශේෂ චරිත බවට පත් කරලා, තව දෙයක් අපේ ජීවිතවලින් ඈත් කළේ. දෙයක් ලැබෙන කොට දෙයක් නොලැබී යනවා. නොලැබුණු දේ ගැන නොහිතා අද මේ ලැබී ඇතිදේ ගැන සතුටු වෙනවා.
* ජීවිතේට එවිට තනිකමක් දැනෙන්නේ නැද්ද? මේ ලෝකයට අප එන්නෙත් තනිවම. දවසක යන්නෙත් තනිවම. මේ අතරමැද කාලයට බැඳීම් ඇතිකර ගෙන ඇයි දුක් විඳින්නේ කියලා හිතෙනවා. දවස පුරා මට වැඩ. ලත වෙන්න වෙලාවක් නැහැ.
* අක්කේ කුල ගෙයක මිහිර වියැකී ගියේ ඇයි? මම දික්කසාදය අනුමත කරන්නේ නැහැ කවදාවත්. ඒත් එකට ඉන්න බැරි අවස්ථා පැන නගිනවා. සුහදව කතා කරලා ඈත් වෙනවා හැරෙන්න ගහ මරා ගන්නේ ඇයි . . . මේ සමාජය දමලා ගහන්නේම ගැහැනියට. දික්කසාදයකින් පසු වුණත් කොච්චර දේවල් කියනවාද ගැහැනියකට. පිරිමින්ගෙන් ගුටි කකා පවුල් ජීවිත ආරක්ෂා කරගත යුතු නැහැ. දුප්පත්කමින් මේ ගමන මම ආවේ. අද මම හොඳ තැනක ඉන්නවා. ඇයි ඉතිං මම පිරිමියෙක් ළඟ වුණත් වැඳ වැටෙන්නේ.
* සමිතා කීවා දෙවියන් දීපු හඬක් නිරෝෂට තියෙන්නේ කියලා? ඇය හැමදාමත් මාව අගය කරනවා. මේ වගේ නිර්භයව ප්‍රකාශ කරන්න ගොඩාක් අයට බෑ. මම කියනවා සමිතාට තියෙන්නේ හැඟීම්බරම හඬයි කියලා. එය කාටවත්ම නෑ. ඇය හිත හොඳ යෙහෙළියක්. මුල ඉඳන්ම අපේ අම්මත් මමත් සමිතාට හරිම කැමැතියි.
* නිරෝෂා අක්කේ ඔබ තවම තරුණයි . . . ලස්සනයි. පුළුවන්නේ නැවත විවාහයක් කරගන්න? මම ළඟ තියෙන්නෙ මගේ උත්සාහයෙන් හරි හම්බ කරපුවා. මම පිරිමියෙකුගෙන් දෙයක් අරගෙන යැපිලා නෑ. දෙවියන් මට හොද හඬක් දුන්නා. මට පුළුවන් මැරෙනකම් සිංදු කියලා ජීවත්වෙන්න. අනාගතය ගැන මම දන්නේ නැහැ මල්ලී. මේ නිරෝෂා විරාජිනීගේ හදවත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණොත්. . . බලමු නේද . . .
|



