|
|
මට ගැළපෙන චරිත සිනමාවේ නැතුව ඇති
කලකට පසු විශාඛා සිරිවර්ධන හමුවෙමු
හැකියාවන් ඔප මට්ටම් වුණේ පුංචි තිරයෙන්
සිනමාවේ ස්වර්ණමය යුගය අසූව දශකය යැයි බොහෝ දෙනා කියති. එදා තිරය එළිය කළ තාරකාවන්ට අදට ද ප්‍රේක්ෂකයින් දක්වන්නේ අප්‍රමාණ වූ සෙනෙහසකි. ඉමහත් ගරුත්වයකි. සබීතා. . . සනෝජා . . . නදීකා . . . මොරින් . . . මැණික් . . . වැනි ජනප්‍රියත්වයෙන් ඉහළටම ගිය තාරකාවන් අසූව දශකයේ තිරයේ සුපිපුණු කුසුමන්ය. මේ කුසුමන්වල සුවඳින් අදට ද රිදී තිරය සුවඳවත් වේ. මේ තාරකා පෙළහරට තවත් ලස්සන තාරකාවක් පැමිණෙන්නේ මේ ස්වර්ණමය යුගයේදීය.
‘ආ . . . එන්න එන්න මල්ලි, මම මේ ඔයාලා එනකම්මයි මඟ බලාගෙන උන්නේ’ මේ ඇගේ දයාබරත්වයයි. කවදත් කාටත් ළෙන්ගතු විශාකා පෙරටත් වඩා ලස්සන වෙලා දෝ කියලා මට සිතිණි.
ඉතිං . . . ඉතිං . . . විශාකා අක්කේ . . . බොහෝ කාලයකට පසුවයි ඔබ සරසවිය පුවත්පත හා කතා බහකට මේ එකතු වෙන්නේ . . .? ඇත්තටම ඔව්. මල්ලි දැන් ගොඩාක් මාධ්‍ය අපිව අමතක කරලා. සරසවිය පුවත්පත ගැන හදවතින්ම මම සතුටු වෙනවා. එදත් සරසවිය අපි ළඟින්ම උන්නා. අදත් අපි ගැන සොයා බලනවා. මගේ ජීවිතේ තරුණ කලේ නිළියක ලෙස පිබිදුනු කාලේ සරසවිය පිටු අතර කොතෙක් නම් ඡායාරූප – ලිපි පළ වුණාද? ඒ හැම එකක්ම අදටත් බොහෝම පරිස්සමට මා ළඟ තිබෙනවා. ඒ දේවල් මේ ජීවිතේ සොඳුරු මතකයන්.
අක්කේ පහුගිය කාලය පුරාම ඔබ පුංචි තිරයේ උන්නා. මෑතකදී ඉඳන් දකිනවා අඩුයි? මම කලාවෙන් ඈත් වෙලා නෑ. කලාව මගේ ජීවිතය හා සමානයි. රූගත කරන ටෙලි නාට්‍ය එක දිගටම විකාශනය වෙන කාල තිබෙනවා. පහුගිය කාලේ චැනල් කිහිපයක මා රඟපෑ නාට්‍ය රැසක් විකාශනය වුණා. මේ දිනවලත් නාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. මේකනේ මල්ලි අපි හැමදාමත් රඟපානවා. ඒත් අපි ගැන කතා කරන්නේ අඩුවෙන්. එතකොට මිනිස්සු හිතන්නේ අපි නෑ කියලා.
ඔබ හිතන්නේ වරද තිබෙන්නේ කොතනද? අද කලාව එදා වගේ නෙමේ . . . එදා නළු නිළියන්ට රසික රසිකාවන් පුදුමාකාර ආදරයක් දැක් වූයේ. ගරුත්වයත්, ඒ විදිහමයි. සිහින ලෝකවලින් ආ අය හැටියට අපිව සැලකුවේ. අපිව දැක බලාගන්න නම් සිනමා ශාලාවලටම එන්න ඕනේ. චිත්‍රපටය ඉවර වුණහම අත් පොඩි ගහලා කෑ ගහලා සතුට ප්‍රකාශ කරන්නේ. අද නළු නිළියන්ට ඇති ගෞරවය ඒ අය විසින්ම බිඳගෙන. එතකොට රසික සිත් තුළ පරණ අයට ඇති ගරුත්වයත් නැතුව යනවා. ජනප්‍රිය වෙන්න කැපී පේන්න අනවශ්‍ය දේවල් කරමින් දඟලන අය නිසා මේ උතුම් වෘත්තිය නාස්ති වෙලා. ඇතැම් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු මේ දඟලන අයගේ දැඟිලිලිවලට හසු වෙලා ඒ අයව නාට්‍යවලට අරගන්නවා. එතකොට ක්ෂේත්‍රයේ නමක් හදාගෙන හිටපු ප්‍රවීණ අය යටපත් වෙනවා. කලාවේ අනාගත ඉරණම ගැන නම් හරිම කනගාටුයි. මේ එදා අපි පූජනීයත්වයෙන් සලකපු කලා ලොව ද කියලා හිතෙනවා.
විශාකා අක්කේ මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්න එකම නිළිය ඔබ විතරක්ම නෙමේ? මගේ සමකාලීන හැමෝම වාගේම අද ගෙවල්වලට වෙලා පාඩුවේ ඉන්නවා. මේ අය කලාව වෙනුවෙන් ලොකු සේවයක් කරපු අය. ගොඩාක් අය වෘත්තීය මට්ටමෙන් හිටපු අය. ජීවිතේ ලස්සනම කාලය සිනමාවට දන් දීලා අද ගේ ඇතුළට වෙලා හූල්ලන්නයි වෙලා තිබෙන්නේ. බලන්න . . . අද අපේ කාලේ කෙනෙක් නිර්මාණයක දකින්නේ ඉඳ හිටලා. යහමින් මුදල් ඇති අයට ගැටලුවක් නැහැ. ඒත් කලාවෙන් ජීවත් වූ අය, හරිම පව්.
කෙනෙක් කියන්න බැරි ද විශාකලගේ කාලය ඉවර වෙන කොට අලුත් අය මෙතන ඉන්න ඕනේ කියලා? ඒක මමත් කියනවා. කලාව අපේ තනි බූදලයක් නෙමේ. අපි මෙතනින් ඉවත් වෙනකොට හැකියාවෙන් පිරිපුන් අය මෙතන ඉන්න ඕනේ. නව පරපුරේ දක්ෂතා ඇති හුඟාක් හොඳ ළමයි මෙතන ඉන්නවා. මම අලුත් අය එක්ක නිතරම වැඩ කරනවා. මම කියන්නේ මේකයි, තරුණම කාලේ කලාව වෙනුවෙන් කැප වූ ප්‍රවීණයින් මිරිකලා ඉවතට දාපු පොල් කුඩු ගානට නොදා, ඒ ඒ වයස්වලට ගැළපෙන චරිත ලබා දීලා ඒ අයගෙත් ප්‍රතිරූපවලට ගරුත්වයක් ලබා දෙන්න ඕනේ කියලා.
විශාකා අක්කේ අද ඉඳහිටවත් සමකාලීන හිතවතුන් හමුවෙන්නේ නැද්ද? යම් යම් අවස්ථාවලදී හමුවෙනවා. මොරින්, සනෝජා, රෙබෙකා, වීණා, සබීතා, නදීකා, මැණික් අපි එදත් අදත් හොඳ යහළුවෝ. මම අදටත් මාලිනී අක්කාගේ, ශ්‍රියාණි අක්කාගේ නිර්මාණවල පවා රඟපානවා. කලාවේ කා සමඟවත් අමනාපකම් මගේ නෑ. එකම දුක මේ ප්‍රවීණ – දක්ෂ ශිල්පිනියන් හා එදා වගේ එකට වැඩ කරන්න නොලැබීමයි.
ඔබ ආවේ සිනමාවෙන්. ඒත් අද දකින්නේ පුංචි තිරයෙන් . . . ඇයි ඒ? සිනමාවේ දැන් අපිට චරිත නැතුව ඇති. (සිනාසෙයි) සුර දූතියෝ, සසර චේතනා හරහා සිනමාවට මා පිවිසි යුගය ඇත්තටම සුන්දරයි. මෑතකදීත් චිත්‍රපට කිහිපයකටම දායක වුණා. ඒත් ඒවා ප්‍රබල චරිත නෙමේ. මට දෙයක් කරන්න ලැබුණේ පුංචි තිරයේදී. මගේ හැකියාවන් හොඳීන් ඔප මට්ටම් වුණේ පුංචි තිරයේදී.
සිනමාවේ ප්‍රබල චරිත ඔබට නොලැබුණේ ඇයි? නොලැබුණාමත් නෙමේ. කිහිපයක්ම කළා. ‘භීෂණයේ අතුරු කතාවක්’ චිත්‍රපටය මට ලැබුණු හොඳ ප්‍රබල චරිතයක්. ඒත් මෙන්න මේකයි ඇත්තම කතාව. අපේ රංගන ශිල්පිනියන්ව ලේබල් ගැහුවා. මෙයා මේ චරිතවලට . . . එයා මේ චරිතවලට කියලා. ඉතින් ඔය ප්‍රබල කියන චරිත හැමදාමත් ලැබුණේ ඔවුන්ට. මම ලද දෙයින් සතුටට පත්වුණා.
විශාකා අක්කේ සිනමාවේ යම් යම් චරිත නොලැබී යන්න ඔබේ උසත් බලපෑවාද? වෙන්නත් ඇති නේද? මොකද පෙම්වතියගේ චරිත මට ලැබුණේම අඩුවෙන්. මගේ උසට හරි යන නළුවෙක් හිටියේ නෑ. ඒත් මේ උසට මම කැමැතියි. තාමත් මගේ උසට ගහන්න නිළියක් ක්ෂේත්‍රයේ නැහැ. සිනමාවේ උසම නිළිය වීම මට ගෞරවයක්.
විශාකා අක්කේ ඔබ තුළ හිටි ගායිකාවත් මතකයට නඟමු? ඇරැයුම් ලැබෙන ප්‍රසංග සඳහා දුර බලන්නේ නැතුව මම යනවා. මම ගීත ගයන්නේ විනෝදයට.
කොහොමද ඔබේ පවුල් ජීවිතය? ගලාගෙන යනවා. මම සරල ගැහැනියක්. ගමේකම අදටත් මා සතුව තියෙනවා. මගේ අම්මා මැරෙනකම් මා එක්ක උන්නේ. ඇය මිය ගිය පසු ජීවිතේ පාළුවක් දැනුණා. සැමියා ළඟ ඉන්න නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ.
ඉදිරියට ඔබව දකින්න පුළුවන් නිර්මාණ ගැනත් දැන් කතා කරමුද? ‘තුලා දහර’ කියලා මම රඟපාපු හොඳ නාට්‍යයක් එන්න තියෙනවා. ‘සරල සමනලි’ කියලා මෙගා නාට්‍යකුත් තියෙනවා. ළඟදී කතා කළා තවත් අලුත් නාට්‍ය තුනකටම. ‘කිත්සිරිගේ ඉරණම’, ‘දෙවෙනි වේදිකාව’, ‘සැවිල් පාලික්’ යන නාට්‍ය තුළින් ඔබට මාව දැක බලාගත හැකියි.
විශාකා අක්කේ අවසානේ මොනවද ඔබට කියන්න තියෙන්නේ? මගේ ජීවිතය ගැන පසුතැවීමක් මට ඇත්තේ නැහැ. කවදාවත් මහා දේවල් පස්සේ මම දිව ගියේ නැහැ. ලද දෙයින් මම හැමදාමත් සතුටට පත් වුණා. අදටත් රසික ආදරය උපරිමව මම ලබනවා. ‘වසූදා’ නාට්‍යයේ මම කරපු සැර චරිතය හින්දා අදටත් මා සමඟ කතා කරන්න සමහරු බයයි. ඉදිරියේදී වේදිකා නාට්‍යයක් කිරීමේ ආශාව මා තුළ තිබෙනවා. නිළියක ලෙස ආ දුර ගැන තෘප්තිමත් වාගේම ලද සම්මාන ගැනත් මම සතුටට පත්වෙනවා.
|



ඇය ද කාලයාගේ ඇවෑමෙන් සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය නිළි තාරකාවක් බවට
පත්වේ. තිරයේ ඇය කැපී පෙනෙන්නේ ඈ සතු උස නිසාය. ඉතිං . . . ඈ උසම නිළිය යන අර්ථ
කථනයෙන් පිදුම් ලබන්නීය. අදට හැට වසරක් සපිරෙන මේ සිංහල සිනමාවේ ඇගේ වාර්තාව බිඳ
දමන්නට උසින් වැඩි නිළියක් බිහි වී නම් නැත. ආදරණිය විශාකා සිරිවර්ධන . . .
රංගනයෙන් විශිෂ්ටත්වයට පත් මේ ජනකාන්ත නිළිය සොයා කලගෙඩිහේනේ පිහිටි අගේ නිසංසල
නිවහන වෙත මා පා තැබුවේ බොහෝ කාලයකින් ඈ ගැන අලුත් තොරතුරක් නොමැති නිසාය.