|
|
ඕන දෙයක් ගැන අහන්න හැබැයි විවාහය ගැන අහන්න එපා
පුංචි තිරයේ පෙම්වතා මේනක රාජපක්‍ෂ ගෙන් ඉල්ලීමක්
මේනක රාජපක්‍ෂ තරම් පුංචි තිරයේ පෙම්වතකු වූ නළුවකු මෑත කාලයේ බිහිවූයේ නැත. එමෙන්ම ඔහු ආදරවන්තයකු වූ පළමු ටෙලි සිතුවම ‘මුතුකිරිල්ලී’ හි ආදරයෙන් ළං කරගත් නෙහාරා සැබෑ ජීවිතයේ ද මේනකගේ ආදරවන්තිය බවට පත්විය. මේනකට අප කතා කළේ ඒ ආදර කැදැල්ලෙත් කලා දිවියේ තොරතුරුත් සොයා බලන්නටය. ඒත් මේ සංවාදය ඇරැඹීමට මත්තෙන් ඔහු කියා සිටියේ විවාහය ගැන කිසිවක් ප්‍රකාශ නොකරන බව පවසමිනි.
මේනක මොනවද ඔබගේ කලා දිවියේ අලුත් තොරතුරු...? මේ දවස්වල ‘මුතු සහ මහින්සා’ කියලා නාට්‍ය දෙකක වැඩ. ඊට අමතරව ‘අම්මාවරුනේ’ විකාශය වෙනවා.
මං කොච්චර පෙම් චරිත රඟපෑවත් රසිකයා මාව ප්‍රතික්ෂේප කරලා නැහැ. මට ළැදි පිරිස් මාව මුණගැසුනම කවදාවත් ප්‍රකාශ කරලා නැහැ ‘මේනක දැන් ඇති පෙම්වතා වුණා’ කියලා. එහෙම කිව්වොත් ඒ මොහොතෙ ඉඳලා මං පෙම්වතාගේ චරිතය නවත්වනවා. මේ දවස්වල ආයෙත් ඉගෙනුම් කටයුතුවල නියැළෙනවා කියලා ආරංචියි? ඔව්. ඒ ගැනත් කියමු? මං ව්‍යාපාර කළමනාකරණය හා සබැඳි උපාධියක් හදාරනවා පෞද්ගලික ආයතනයක. ඇයි හදිසියෙම මෙවන් වූ උපධියක් හදාරන්න හිතුවේ? මං පොඩිකාලේ ඉඳලා කොහොමත් පි‍්‍රයයි ව්‍යාපාරික කටයුතුවලට. ඒත් පහුකාලීනව එම විෂය ඉගෙන ගන්න බැරි වුණා. මං හිතනවා මේ තමයි ඊට හොඳම කාලේ. අනික ඉගෙන ගත්දෙයක් අපතේ යන්නෙ නැහැනේ. රංගනය කරන ගමන් ඉගෙන ගන්න වෙලාවක් තියෙනවද? ඒකට තමයි කාල කළමනාකරණය කියලා දෙයක් තියෙන්තේ. ඉතින් මට පුළුවන් කාලය හොඳින් හැම කටයුත්තටම බෙදා වෙන් කරගන්න. මේනක මේ සරසෙන්නේ හෙමින් හෙමින් ව්‍යාපාරයකට අත ගසන්නද? ඒක කියන්න බැහැ. මුලින්ම ඩිග්රිය අරගෙන ඉමුකෝ. ඊට පස්සේ කරන දෙයක් කරන්න බැරියැ. මෙවර ජනපි‍්‍රය නළුවා ගේ ලැයිස්තුවේ ඔබ ඉන්නේ පහළම අඩියක. ඇයි එහෙම වුණේ? ජනතාවගේ කැමැත්ත ඒක නම් හිස නමා ඒ මතය පිළිගත යුතුයි. ඒ කියන්නේ මේනකව රසික රසිකාවන්ට එපා වෙලාද? නැහැ. ඒක එපාවිල්ලක් නෙවෙයි. නළුවන්නට ලැබෙන චරිත අනුව ජනපි‍්‍රයත්වය වෙනස් වන්නට පුළුවන්. රසිකයන්ට එපා වෙලානම් මාව දැක්කම අහක බලන්න එපායැ. කටකතා මේනකට හැමදාමත් හුරු පුරුදුයි. එහෙම නේද? අනේ ඔව්, ඒත් දැන් ඒවා මං ගණන් ගන්නේ නැහැ. කටකතා හදන්නේ කවුද කියලා හොය හොයා ඉන්නවට වඩා මට වැඩ තියෙනවා. අනික ඕවා සේරම මට මඩ ගහන්න හදන කතා. කිසිම පදනමක් නොමැතිව කොහොම මිනිස්සු මේවා හදනවද මන්දා. ඔබ ගැන දූෂමාන ආරංචි පැතිර ගියාම කේන්ති යන්නෙ නැතිද? නිෂ්පල දෙයකට කේන්ති අරගෙන වැඩක් නැහැ. ඇයි අපි අදාළ නැති දෙයකට ලේ පුච්ච ගන්නේ. ඔබ ගැන සෑහෙන්න කටකතා හැදෙන්නෙ ඇයි මේ වෙබ් සයිට්වල? වෙබ් සයිට් අපෙන් අහන්නෙවත් නැතුවයි මේවා දාන්නේ. ඒ වගේම කතන්දර ගොතන්නත් ඔවුන් හරි දක්‍ෂයි. නොවෙච්ච දෙයක් ඇත්ත වගේ ඒවයේ තියෙනවා. ඒත් දැන් දැන් මිනිසුන්ට තේරිලා තියෙන්නේ ඒවායේ කරන බොරුව. අපේ කලා ක්‍ෂේත්‍රයේ ඇතුළෙම ඉන්න අය මේවා හදනවා කියලයි ඇතැම් අය කියන්නේ? වෙන්නත් පුළුවන්. මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙකුව මං විශ්වාස කරන්නේ නැහැ. මට යාළුවොත් අඩු ඒකයි. වැඩියෙන් ළං වෙන්න හදන අය ගැන බොහොම ප්‍රවේශමෙන් ඉන්නේ. හෙට මේනකව අධ්‍යක්‍ෂවරයකු නාට්‍යවලට ගත්තේ නැතිනම් මොකද කරන්නේ? මේ හැම දෙයක්ම තාවකාලිකයි එවැනි දෙයක් වුණොත් මට කරන්න බොහෝ දේ තියනවා. මගෙ හිත හයියයි. කෝ නෙහාරා? එයා හොඳින් ඉන්නවා.
කවදද ඔබ දෙපොළගෙ විවාහය සිද්ධ වෙන්නේ? මං කලිනුත් කිව්වනේ අපි ඒ ගැන කතා නොකර ඉමු. එතකොට ඔබලා මේ නොවැම්බරයේ විවාහ වන්නට සිටිනවා කියලා පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත? ................... ඔබත් නෙහාරත් කිසියම් ගැටලුවකට මැදිවෙලාද ඉන්නේ? ................... ඇයි මාධ්‍යයට ඒ ගැන මුකුත් කියන්නේ නැත්තේ? ...................
මේනක පිළිතුරු නොදුන් ප්‍රශ්නවලට ඔහු කියනදේ ළඟදීම සරසවියෙන් බලාපෙරොත්තු වන්න.
|



දැන්වත් පෙම්වතාගෙන් මිදෙන්න ආසවක් නැද්ද?