කලාපුරේ ඉන්න ලැබුණේ පෙර පිනකින්
කලාපුරේ
ඉන්න ලැබුණේ
පෙර පිනකින්
නෙළුම් පෙරේරා
කලාපුරේ මතක අතර
අද කලාපුර සවාරියෙන් අපි පැමිණියේ තවත් සුවිශේෂ කලාකාරිනියකගේ නිවහනකට. ඇය වසර
ගණනාවක් මෙරට චිත්‍රපට, ටෙලි නාට්‍ය සේම වේදිකාව ද එක සේ ඒකාලෝක කළ ප්‍රවීණ රංගන
ශිල්පිනියක්.
කලාවට සේම කලාපුර නිවැසි පදනමේ සභාපතිත්වය ද හොබවමින් මේ සොඳුරු
එකමුතුවට අනුපමේය මෙහෙයක් ඉටු කරන ඇය රංගන ශිල්පිනී නෙළුම් පෙරේරා. ඇය ප්‍රවීණ
සංගීතඥයකු වූ කේ. ලයනල් පෙරේරාගේ දියණියක්. අද කලාපුර සවාරියේ නවාතැන ඇයගේ ආදරණීය
කැදැල්ලයි. කලාපුරට පැමිණි ගමනේ අතීත මතකය ඇය සිහිපත් කළේ මේ අයුරින්.
‘අපි කලාපුර පදිංචියට ආවේ අසූව දශකයේ මුල් භාගයේදීයි. අපේ තාත්තාගේ සංගීත පංතිය
මාළිගාකන්ද සංගීතෝදයට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් තමයි මේ ඉඩම එදා අපේ තාත්තාට
ලැබුණේ. ඊට කලින් අපි පංචිකාවත්ත ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා හිටියේ. මුලින්ම අපි
මෙහෙට එනකොට දැන් වගේ ගෙවල් තිබුණේ නැහැ. මේ හරියටම තිබුණේ අපේ ගෙදර විතරයි. හරිම
පාළුවක් දැනුණේ.
මට මතකයි අපේ ගෙදර ආරිය සිංහල නාට්‍ය සභාව එහෙම තිබුණා. ලක්ෂ්මී භායි එහෙමත් ඒ
දවස්වලට අපේ ගෙදර ආවා. මම ඒ දේවල් දිහා ආසාවෙන් බලාගෙන හිටියේ. අරිසෙන් අහුබුදු
සූරීන්, ධර්මදාස වල්පොල, හියුගෝ ප්‍රනාන්දු එහෙමත් ඒ දවස්වල අපේ ගෙදර නිතරම ආවා.
ධර්මදාස වල්පොල, හියුගෝ ප්‍රනාන්දු, අපේ තාත්තාගේ හොඳ ගෝලයෝ. එහෙම පැමිණි දවස්වලට
ධර්මදාස වල්පොල මහත්තයා මට සිංදු කියන්න කියනවා. මම හැමදාම කියන්නේ ‘ගීත දේවි ශ්‍රී
සරස්වතී’ කියන ගීතය. හැබැයි ඒ ගීතය අවසාන කරන්නේ ‘නීල අහසේ මිහිරියාව’ නම් ගීතයෙන්.
හැමෝම හිනා වෙනවා. ධර්මදාස මහත්තයා මට කියනවා මේ ළමයා අනාගතයේදී හොඳ සංගීතඥයෙක්
වේවි කියලා. එත් ඉතිං මම වැඩිපුරම ආසා කළේ රංගනයටනේ. පසුකාලීනව මගේ කලා ගමන ආරම්භ
වුණේ ටවර් හෝල් නාට්‍යවලින්.
අපේ ගෙදර කෙල්ලොම හයක්. හැමෝම සංගීතයට ළැදියි. ඒ වුණාට අක්කලා දෙන්නෙක් විතරයි
තාත්තාගේ සංගීත ක්ෂේත්‍රයට ගොඩක්ම සමීප වුණේ.
දැන් මේ ගෙදර පදිංචි වෙලා ඉන්නේ මමයි මගේ මහත්තයා ප්‍රදීප් විතරයි. අපේ දුවයි පුතයි
විවාහ වෙලා වෙනමම ජීවත් වෙන්නේ. දුව දිලූෂා රූපලාවණ්‍ය ශිල්පිනියක්. දුවට හොඳට
වයලින් වාදනය පුළුවන්. පුතා පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නිරත වෙලා සිටිනවා. එයත්
හොඳ ගිටාර් වාදකයෙක්. කලාපුර උත්සව අවස්ථාවලදී මේ අයගේ සහයෝගය නොඅඩුව ලැබෙනවා. අපේ
විතරක් නෙවෙයි හැමෝගෙම දූවරු පුතුන් එකට එකතු වෙලා සංගීතය ලබා දෙනවා. හැමෝම හරිම
එකමුතුයි.
ඒ වගේම මට කලාපුර නිවැසි පදනමේ සභාපති ධූරය ලැබිමත් මට පුදුමයි. කලාපුර හැමෝගෙම
සහාය මට මේ සඳහා ලැබෙනවා. ඉදිරියටත් කලාපුරට යහපතක් වෙන විදියට කටයුතු කරන්න මම හැම
වෙලාවෙම සූදානම්. ඒ වගේම මේ හැම කටයුත්තටම මට මගේ සැමියා ප්‍රදීප්ගෙන් ලැබෙන සහාය
කියලා නිම කරන්න බැහැ. ඔහු නැත්නම් මට අද මේ තැනට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම
කලාකාරිනියක් විදියට කලාපුරයේ ජීවත් වෙන්න ලැබීම ලොකු පිනක් කියලා මම විශ්වාස
කරනවා.’
ඇය කලාකාරියක් ලෙස රංගනයට සේම කලාපුරයට ද විශේෂ වූ මෙහෙවරක් කරන්නට කැප වී
සිටින්නීය. ඒ වගේම ආදරණීය බිරිඳක, මවක ලෙස ද ඇය මේ සුන්දර නිවස ආලෝකවත් කරන්නීය. අද
කලාපුර සවාරිය අවසන් කරන්නට වේලාව පැමිණ ඇත්තේය. යළිත් දිනයක හමුවීමේ බලාපොරොත්තුව
පෙරදැරිව මම ඇයට සමු දුනිමි. ‘බුදුසරණයි’ ඇය ද මට හදවතින්ම සුබපැතුවාය.
යතේජා ඥානරත්න
ඡායාරූපය -
මාලන් කරුණාරත්න
|