වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




මම තවම කවුරුවත් හොයාගෙන නෑ

මම තවම කවුරුවත් හොයාගෙන නෑ

පූජා කටකතාවලට පිළිතුරු දෙයි

ඒ දරුවන් එක්ක ගත කළ කාලය මට වටිනවා

පූජා උමාශංකර් සිංහල සිනමා පවුලේ ළබැඳි සාමාජිකාවක්. ඇය අපට සමීප වෙන්නේ චන්න පෙරේරාගේ ‘අංජලිකා’ චිත්‍රපටයෙන්. පසුගියදා පැවැති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී පූජා ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ලාංකේය සිනමා නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දී ඇති පූජා සිය අලුත්ම තොරතුරු සරසවිය පාඨක ඔබටත් ලබා දෙන්න අමතක කළේ නැහැ.

පූජා ඔබ ලංකාවේදී ජනප්‍රියම නිළිය ලෙස සම්මානනීය වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මගේ සතුට කියලා නිම කරන්න බැහැ. මගේ අම්මාගේ රට ශ්‍රී ලංකාව. මම ඉපදුණෙත් ලංකාවේදී. මම මේ රටට ගොඩක් ආදරෙයි. ඒ නිසා ලංකාවේදී ලැබුණු මේ සම්මානය මට ගොඩක් වටිනවා. ලංකාවේ ප්‍රේක්ෂකයෝ මට ගොඩක් ආදරේ බව දැනුණා. ඒ ගැන මම ගොඩාක් සතුටුයි. ඒ වගේම ගොඩක් වාසනාවන්තයි.

මේ නිසාම ඉදිරියේදී රංගනයෙන් වැඩි කොටසක් ලාංකේය සිනමාවට හිමි වෙයිද?

එහෙම තීරණයක් අරගෙන නැහැ. ලැබෙන හොඳ චිත්‍රපට සදහා දායක වෙන්න තමයි කැමැති. ඒකේ විශේෂයක් නැහැ. සිංහල, දෙමළ, කණ්නඩ, තෙළිඟු වැනි ඕනෑම චිත්‍රපටයක රඟපාන්න කැමැතියි. හැබැයි ඒ චිත්‍රපටය හොඳ එකක් වෙන්න ඕනෑ.

මේ දවස්වල කලා කටයුතු ගැන සඳහන් කළොත්?

මේ දවස්වල මට ලැබුණු ස්ක්‍රිප්ට් බලමින් තමයි ඉන්නේ. දැනට ස්ක්‍රිප්ට් ගොඩක් ලැබිල තියෙනවා. භාර ගන්නේ මොකක් ද කියලා නම් තවම තීරණය කරලා නැහැ. ඊට අමතරව ඉන්දියාවේ කළ චිත්‍රපටයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වෙනුවෙන් යළිත් මම ඉන්දියාවට යනවා. ඒ චිත්‍රපටයේ නම ‘විඩියුමි මූන්’. ලාංකික ප්‍රේක්ෂකයන්ටත් ඉදිරියේදී එය නරඹන්න අවස්ථාව ලැබේවි කියලා හිතනවා.

පසුගිය දවසක මම ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව ළමා නිවාස වෙනුවෙන් වූ වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදී ඒ පුංචි දරුවන් එක්ක ගත කළ කාලය මට ගොඩාක් වටිනවා. ඒ දරුවන් හරිම සතුටෙන් හිටියේ. පොඩි අය අතේ එල්ලිලා ඉඳලා ගෙදර එනකොට අත් දෙකම හොඳටම රතු වෙලා තිබුණේ. ඇත්තටම ඒ පුංචි දරුවන් සමග ගත කරන්න කාලය ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.

පූජා දැන් විවාහයටත් සූදානම් ඇති නේද?

මම තවම කවුරුවත් හොයා ගෙන නැහැ. මගේ අම්මයි තාත්තයි මට ගැළපෙන කෙනෙක් හොයනවා. දෙවියන්ගේ කැමැත්තට අනුව හැම දෙයක්ම හොඳීන් සිදු වේවි.

ඔබ සහකරු කරගන්න කැමැති මොන වගේ කෙනෙක්ද?

අපි හොඳ නම් අපේ සිතුවිලි හොඳ නම් අපට හොඳ කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. දෙවියෝ තමයි එයා අපට මුණගස්වන්නේ. පූජා හොඳ දුවක් නම් දෙවියෝ එයාට හොඳ සහකරුවෙක් තෝරා දේවි.

ඔහු ලංකාවේ කෙනෙක් වෙනවාට ද ඉන්දියාවේ කෙනෙක් වෙනවාට ද පූජා වැඩියෙන් කැමැති?

එහෙම තීරණයක් නම් නැහැ. ඔහු ලංකාවේ කෙනෙක් විය යුතු ද, ඉන්දියාවේ කෙනෙක් විය යුතු ද කියලා මම තීරණය කරලා නැහැ. කොහොම වුණත් මට සුදුසුම කෙනා දෙවියන් මට සොයලා දෙනවා කියලා මම දන්නවා. එයා මුණ ගැසුණු ගමන් මුලින්ම සරසවිය පාඨක ඔයාලට විස්තර කියන්නම්.

විවාහයෙන් පසු රංගන ජීවිතයෙන් ඉවත් වේවිද?

විවාහයෙන් පසු ඕනෑම කාන්තාවක් පවුල් ජීවිතයට මුල් තැන දිය යුතුයි. දැනට වුණත් මම රංගන ජීවිතයේ අනවශ්‍ය විදියට වැඩ කටයුතු යොදා ගෙන කාර්යබහුල වෙලා නැහැ. මම අවුරුද්දකට භාර ගන්නේ චිත්‍රපට සීමිත ප්‍රමාණයක්. බොහෝ විට එය එකක් නැත්නම් දෙකක්.

සරසවිය පාඨකයන්ට කියන්න විශේෂ යමක් පූජාට ඇති නේද?

ලංකාවට මම ගොඩක් ආදරෙයි. ආදරණීය රසික රසිකාවන් වන ඔයාලා හැමෝටමත් මම ගොඩාක් ආදරෙයි. ඉන්දියාවට ගියත් ඉක්මනින්ම මම ලංකාවට එනවා.