වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




මොන්රෝ හැඩවුණේ මෙහෙමලු

මොන්රෝ හැඩවුණේ මෙහෙමලු

මැරිලින් මොන්රෝ අදටත් සරාගී සුරූපිනියන් අතරේ පෙරමුණේය. අග බිසවක නොවුණත් ඇය රජුන්ගේ ද හදවතෙහි රැජන වූයේ මන මෝහනීය රූසපුව නිසාමයි. එහෙත් මේ රුව පිටුපසත් ප්ලාස්ටික් සැත්කමක රහස සැඟ වී ඇති බව සිතන්නට පුළුවන් ද? ලබන මාසයේදී මැරිලින් ලොවෙන් සැඟ වූ ඒ රහස හෙළි කෙරෙයි. ඇයගේ ඡායාරූප ඇතුළු එක්ස් කිරණ ප්ලාස්ටික් සැත්කමට අදාළ ලියකියවිලි නොවැම්බර් මාසයේදී වෙන්දේසියට ඉදිරිපත් කෙරේ.

හොලිවුඩයේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය මයිකල් ගර්ඩින්ගේ වෛද්‍ය වාර්තා රැසක්ම මීට අඩංගුය. වෙන්දේසියට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නා නම හෙළි කිරීමට අකැමැතිය. වසර 1950 ට පසු මොන්රෝ නිකටට කාට්ලේජ බද්ධයක් කර තිබේ. හව් ටු මැරි අ මිලියනියර් (1953), ද සෙවන් ඉයර් ඉච් (1955), සම් ලයික් ඉට් හොට් (1959) තිරගත කෙරුණේ මේ කාට්ලේජ බද්ධයට පසුවය.

කිසිවකු ඇය ප්ලාස්ටික් සැත්කමක් කළ බව දැන සිටියේ නැත. එක් දහස් නවසිය පනස් ගණන්වල ප්ලාස්ටික් සැත්කම් නැවුම් අත්දැකීමකි. මොන්රෝගේ පපු පෙදෙසේ එක්ස් කිරණ ඡායාරූප 3 ක් 2010 වෙන්දේසියේදී ඩොලර් 45,000 කට අලෙවිකර තිබේ. පසුව මොන්රෝගේ නාසයට ද ප්ලාස්ටික් සැත්කමක් කර ඇත. මොන්රෝ සුදු රුධිර සෛල ඌනතාවෙන් පීඩා වින්දාය. ඇය ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකට ද ලක් වී සිටියාය.

බියොන්සේගේ දින දසුනක්

ජනප්‍රිය පොප් තාරකාව බියොන්සේ පළමු වරට දින දසුනක් සිය රුවින් අලංකාර කරන්නීය. තිස් දෙහැවිරිදි බියොන්සේ මේ දින දසුන පිළිබඳ තොරතුරු ඇයගේ නිල වෙබ් අඩවියක හෙළි කර තිබේ. දින දසුනේ ඇයගේ අලුත්ම ඡායාරූප 14 ක් අඩංගුය. එයින් එක් සේයාරුවක් අමෙරිකානු සඟරාවක පළ කර තිබුණි. ඉදිරියේදී ඇය ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ උතුරු අමෙරිකාවේ සංචාරය කිරීමට ද නියමිතය.

හොලිවුඩ් සිනමාවට බොලිවුඩ් වචන

සිල්වෙස්ටර් ස්ටැලෝන් රඟන ‘එස්කේප් ප්ලෑන්’ ඔක්තෝබර් 18 වැනි දිනට තිරගතවීමට නියමිතය. මෙහි ඔහු රඟන්නේ ගොඩනැගිලි ඉංජිනේරුවරයකුගේ චරිතයයි. මෙහිදී ඔහු අන් අයගේ උගුලකින් සිරගත වෙන අතර සිරෙන් බේරීමට කරන සැලැසුම්වලදී භාවිත කරන්නේ හොලිවුඩයට ආවේනික වචන නම් නොවෙයි.

බොලිවුඩයට අයිති වචනය. ‘කෙයිසේ හෝ’, ‘ප්‍යාර්’, ‘සිද්දි’ යන වචන ඔහු කතා කරයි. මේ සිනමාපටය ඉන්දියාවේ ද තිරගත කිරීමට නියමිතයි. ස්ටැලෝන් මීට පෙර වර්ෂ 2009 දී අක්ෂේ කුමාර් සමඟ ‘කම්බක්ත් ඉෂ්ක්’ සිනමාපටයේ කෙටි ජවනිකාවකට රංගනයෙන් දායක විය.

‘එස්කේප් ප්ලෑන්’ සිනමාපටයේ සිල්වෙස්ටර් ස්ටැලෝන් සමඟ ආමෝල්ඩ් ස්වාසනගර් ද රඟපාති. දෙදෙනාගේ ලොමු ඩැහැ ගන්වන ද්වන්ද සටනක් ද ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබෙනු ඇත. මේ සටන දෙදෙනාටම ගෞරවනීය මතක සටහනක් වී තිබේ. ‘ස්ලයිත් (සිල්වෙස්ටර්ත්) මාත් අතර මුල දී විශාල තරඟයක් තිබුණා. හැමවිටම කාට ද වැඩිම කැපුම් තුවාල, මාංසපේශී, සිරුරේ තෙල්, තියෙන්නේ කියලා ප්‍රේක්ෂකයන් උනන්දු වුණා. රසිකයන් කොහොම හිතුවත් අපි එකිනෙකාගේ දක්ෂකම් සැමවිටම අගය කරනවා’ අනෝල්ඩ් මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

මීළඟ ඉලක්කය

ස්කාලට් ජොහැන්සන්ගේ සරාගී රුව අන්තර්ජාතික පිරිමි සඟරාව මඟින් දෙවරක්ම අගය කර තිබෙන්නේ ලොවේම අංක එක බවට පත් කරමිනි. විසි අට හැවිරිදි ස්කාලට් 2006 වසරේදීත් සරාගීම සුරූපිනිය වූවාය. සිය රුව ඔස්කාර් සම්මානයට ආයුධයක් කර ගැනීමට ස්කාලට් අකැමැතිය. සම්මාන ගණනක්ම දිනා සිටින, සම්මාන ගණනකටම නිර්දේශ වී සිටින ඇයගේ ඊළඟ ඉලක්කය ඔස්කාර් සම්මානයකි.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ගණනකටම නිර්දේශ වී සිටිය ද ඇය කිසි දිනක ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වී නැත. ‘හර්’ සිනමාපටයේ හඬ කැවීම ඇයට ඒ සඳහා අවස්ථාවක් උදාකර දේවිද? අන්ඩර් ද ස්කින්, අයන් මෑන් 2, දි ඇවෙන්ජර්ස්, හිච්කොක්, දොන් ජොන්, ද ස්පිරිට් වැනි සිනමාපට ගණනකම ඇය ප්‍රධාන තාරකාවයි.

කිහිප දෙනකුටම පෙම්කර ඇති ස්කාලට් දෙවැනි සහකරු වශයෙන් තෝරාගෙන ඇත්තේ රොමේන් ඩෝරියැක් නම් ස්වාධීන දැන්වීම් ඒජන්තවරයකි.

කට ද, දිව ද

මයිකල් ඩග්ලස්ගේ කට වාගේම දිව ද පවසන්නේ බොරුය. 2010 වසරේදී ඔහු පැවසුවේ තමන්ට උගුරේ පිළිකාවක් ඇති බවයි. දැන් ඔහු දිවේ පිළිකාවක් ඇති බව කියයි. තම රංගන වෘත්තිය රැක ගැනීම සඳහා ඔහු රෝගය ලොවෙන් සැඟවූවේය. එහෙත් පිරිමින් පිළිකා ගැන දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනියට ඔහු සත්‍ය ප්‍රකාශ කළේය.

‘වෝල් ස්ට්‍රීට් මනි නෙවර් ස්ලීප්ස්’ සිනමාපටය ලොව වටා ප්‍රවර්ධනය කරමින් සිටියදී ඩග්ලස්ට පිළිකාවක් පිළිබඳ අසුබ ආරංචිය වෛද්‍යවරයා පැවසුවේය. ඔහුගේ හක්ක සහ දිව සැත්කමකින් ඉවත් කළ යුතුව තිබුණත් වෛද්‍යවරුන් එසේ නොකර විකිරණ ප්‍රතිකාර සහ කීමෝ තෙරපි ප්‍රතිකාර වඩාත් දරුණු ලෙසින් ලබා දෙන ලදී.

හැට නව හැවිරිදි මයිකල් ඔස්කාර් සම්මාන දෙකකටම හිමිකම් කියන්නෙකි. වන් ෆ්ලූ ඕවර් ද කුකූස් නෙස්ට් (1975) සහ වෝල් ස්ට්‍රීට් (1987) ඔහුට සම්මාන රැගෙන ආ සිනමාපටයි.

ඔහු මෑතකදී විවාහ වී සිටියේ කැතරින් සීටා ජෝන්ස් සමඟයි. ඒ විවාහය වසර 13 ක්ම පැවතී මෑතකදී බිඳ වැටුණි.