වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා චෛත්‍යයක් හදන්න තියාගෙන හිටිය සල්ලි ටිකත් මං චිත්‍රපටයක් හදල නැති කළා

අම්මා චෛත්‍යයක් හදන්න තියාගෙන හිටිය සල්ලි ටිකත් මං චිත්‍රපටයක් හදල නැති කළා

පාලිතගේ ජීවිතය බ්ලැක් ඇන්ඩ් වයිට් කළ ‘කලර්’ ගැන දුක හිතෙන කතාවක්

ඔහු පාලිත සමරසිංහ. තවත් විදිහකින් කිව්වොත් කලර් චිත්‍රපටයේ නිෂ්පාදක. ඔහු මේ කියන්නට හදන කතාව මොහොතක් සන්සුන්ව අපි කියවා බලමු. එක්තරා විදිහකින් මෙය ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවක් වෙන්නට පුළුවනි. ඇතැමෙකුට මෙමඟින් සිත් රිදීමක් ඇති වන්නට ද පුළුවනි. දෙවනුව ඒ ගැන සිතන්නට ඉඩ දී පාලිත මොනවද කියන්නේ කියලා බලමු.

මං මෙහෙ නෙවෙයි ප්‍රංශයෙයි ඉන්නේ. මේ නිවාඩුවට ආපු ගමන්.

පාලිත කතාව පටන් ගත්තේ එලෙසිනි. ඔහුගේ හඬ බැරෑරුම් ස්වරයක් ඉසිලිනි. පාලිතට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ දී මම නිශ්ශබ්ද වීමි.

කලර් චිත්‍රපටයේ රඟපාපු ප්‍රියන්ත මංසිළු මගේ හොඳ මිතුරෙක්. ඔහු මාර්ගයෙනුයි ඉසුරු වීරසිංහ මුදලි කියන පුද්ගලයාව හඳුණා ගත්තේ. අපි අදහස් හුවමාරු කර ගත්තේ ඊමේල් මඟින්. ඔහුව මං ගොඩක් විශ්වාස කළා.

ඒත් . . .

ඉසුරු මාව සෑහෙන්න වාර ගණනකදී රැවට්ටුවා.

ඒ කොහොමද?

ඔහු මට කලර් චිත්‍රපටයේ පිටපත එව්වා. ඒක සුන්දරත්වයෙන් අනූන කතාවක්. මට චිත්‍රපටයට මෙච්චර වියදමක් යනවා කියලා බජට් එකක් එව්වා.

ඉතිං?

මේක හොඳ වැඩක්නෙ. අනික අලුත් කොල්ලෙක් අධ්‍යක්ෂවරයකු වෙලා ෆීල්ඩ් එකට එනවනේ. මට වඩාත් වුවමනා වුණේ දෙවැනි කරුණ කරන්න. ඉසුරු මට දරුවෙක් වගේ. මම හරහා ෆීල්ඩ් එකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් එක්වනවා නේද කියන සතුටින් මං කලර් පිටපත චිත්‍රපටයකට නඟන්න මං එකඟ වුණා.

ඊට පස්සේ?

මං මගේ අක්කා හරහා ඉසුරුට සල්ලි එව්වා. චිත්‍රපටය පටන් ගත්තා. වැඩෙත් ලස්සනට කෙරීගෙන ගියා. ඔන්න එක දවසක් ඔහු කිව්වා තව සල්ලි ටිකක් ඕනෙ කියලා. එතකොට මං හොයලා බලද්දී ෂෙඩුල් කරලා තිබුණු දින ගණනත් අවසන් වේගනයි තිබුණේ. මම ඒ මුදලත් දුන්නා. දැන් මගේ සල්ලි ඉවරවේගන එනවා. බැඳගත්තා නම් බෙරේ ගහන්න එපායැ. මම මිතුරන්ගෙන් ණයට මුදල් ඉල්ලා ගෙන මේ වැඩේට දුන්නා. ඔය එක අවස්ථාවකදී මට ලංකාවට එන්න ලැබුණා. එතකොටයි ඉසුරුව මුණ ගැසුණේ. කොහොම කොහොම හරි රූගත කිරීම් ඉවර වුණා. චිත්‍රපටයට වියදම් වෙච්ච දේවල් හරි විනිවිදභාවයකින් යුක්ත නැහැ. වැඩ කරපු අයටත් හරියට ගෙවලා තිබුණෙත් නැහැ.

ඔබ ඇයි ඔබේ මුදල් ඔහු වියදම් කළ අයුරු හොයලා බැලුවේ නැත්තේ?

නැහැ දරුවෝ, මට එහෙම වුවමනාවක් තිබුණේ නැහැ. මං හරිම උපේක්ෂාවෙන් පාඩුව විඳ දරා ගත්තා. මං ආයෙත් විදෙස් ගත වුණා. හොඳට සිටි මං දැන් මේ චිත්‍රපටයක් නිසා ලක්ෂ ගාණක ණයකාරයෙක් වෙලා. මේ අතරතුරදි ඉසුරු මට ආයෙත් කතා කරලා චිත්‍රපටය බෙදා හරින්නට කොපි ගහන්න ඕනෙයි කියලා තවත් විශාල මුදලක් ඉල්ලුවා. දැන් මට පිස්සු වගේ. ලයිට් එකත් නිවාගෙන කාමරේට වෙලා බලාගත්තු අතේ බලාගෙන හිටියා. ඔහොම ඉන්න කොට මගේ කරට කවුදෝ අතක් තියනවා දැනුණා. ඒ මගේ අම්මා.

‘පුතේ මං දැන් සෑහෙන්න වෙලාවක් බලාගෙන හිටියා. මං දන්නවා පුතා කල්පනා කරන දේ. මේ වෙලාවේ ඔයාට සල්ලි නේද ඕනේ ඉන්නකෝ.’

එහෙම කියලා ඇය මට සුදු රෙදි කැබැල්ලක ඔතපු සල්ලි වගයක් දුන්නා. මං ගැනලා බැලුවා. එතන ලක්ෂ දාහතක් තිබුණා.

මේ නැතිවෙච්ච ඔයාලගේ අප්පච්චිව සිහි කරන්න චෛත්‍යයක් හදන්න මං තියාගෙන හිටපු සල්ලි. චෛත්‍යය හදනවාට වඩා මගේ පුතාගේ හිතේ සැනසීම මට වටිනවා.

අම්මා එහෙම කිව්වාම මට කෑගහලා අඬන්න හිතුණා.

පාලිත මොහොතකට කතාව නැවැත් විය. ඔහුගේ දෙනෙතෙහි දිලිසෙන කදුළු බිඳු යුගලකි.

මං ඒ මුළු මුදලම ඉසුරුට දුන්නා. යාන්තම් චිත්‍රපටයේ වැඩ ටික ඉවර වුණා. ඒ වෙන කොට කලර් නිසා මම බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා ඉවරයි. යාළුවන්ට විතරක් ලක්ෂ හැත්තෑ අටක් ණයයි. දැනට මං රැකියාවක් කරනවා ප්‍රංශයේ. ලැබෙන පඩියෙන් කරන්නේ ණය ගෙවන එක විතරයි.

ඔබේ කතාවෙන් මට නම් හැඟී ගියේ ඔබ ඕනෑවට වඩා අහිංසක වෙලා වගේයි?

මම ගොඩක් අනුන් ගැන හිතනවා. ඒකයි සේරටම මුල. මං ඉස්සර දුප්පත් ළමයි නව දෙනෙකුට ඉගැන්නුවා. දැන් ඒකත් නැහැ. මං කලාවට හුඟක් ආදරෙයි. කලකට ඉහත තිරගත වූ සිරිබෝ අයියා චිත්‍රපටයේ ඩිංගිගේ චරිතය රඟපෑවේ මං. ඒ වගේම චාලිගේ දවස චිත්‍රපටයෙත් රඟපෑවා. ඒ දවස්වලම මට හිතුණා කවදා හරි චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියලා. ඕං බලන්නකෝ ඒ හීනෙ හැබෑ කරගන්න ගිහින් මට වුණ දේ.

පසුගියදා පැවති දෙරණ ලක්ස් සිනමා උළෙලේදි කලර් චිත්‍රපටයේ අධ්‍යක්ෂකට සම්මානයක් ලැබුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

පුදුම කනගාටුවක් දැනුණේ. ඒ උළෙලෙහි සිටි අය චිත්‍රපටයේ ඇත්ත කතාව දන්නේ නැතුව ඇති. කොහොම නමුත් ඉසුරු ගැන මගේ හිතේ කිසිදු වෛරයක් නැහැ. මම මේ ටික ඔයාලත් එක්ක කිව්වෙත් ඉසුරුව වට්ටන්නවත් ඔහුව රැවටිලිකාරයෙක් කියලා හංවඩු ගහන්නවත් නෙවෙයි. ඉසුරු තවත් ඉස්සරහට යන්න ඕනේ. මට වෙච්ච දේ ගැන හරිම පසුතැවීමකින් මං ඉන්නේ.