වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




‘තනි අතට යන පාර’ මුහුරත් උළෙල දා

‘තනි අතට යන පාර’ මුහුරත් උළෙල දා

වසර කිහිපයකට ඉහත ‘අරුංගල්’ හා ‘තෙත් සහ වියළි’ යන ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හදවත දිනූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන නවතම ටෙලි නාට්‍ය වන ‘තනි අතට යන පාර’ හි මුහුරත් උළෙල පසුගියදා රාජගිරියේ සවරින් හෝටලයේදී පැවැත්විණ.

පුබුදු චතුරංග, චාන්දනී සෙනෙවිරත්න, උද්දික පේ‍්‍රමරත්න, වසන්ත විට්ටච්චි, අතුල පතිරණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රියන්ත සිරිකුමාර, සංජීව උපේන්ද්‍ර, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි, මාලිංග සෙනෙවිරත්න, නිමල් ජයසිංහ, ධනුෂ්කා ජයරත්න, නිරංජනී ෂන්මුගරාජා, එස්. අයි. සමරක්කොඩි, නදීශා මධුශානි, කලණ ගුණසේකර, ප්‍රේමා පතිරාජ, ජයනාත් බෝධි, තුසිත ලක්නාත් යන රංගන ශිල්පීහු රැසක් මේ ටෙලි නාට්‍යයෙහි රංගනයෙන් දායක වෙති. සජිත වීරප්පෙරුම කැමරා අධ්‍යක්ෂණයෙන් ද, චන්දන ඉරුගල් බණ්ඩාර සහාය අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද, නිෂ්පාදන කළමනාකරණයෙන් සුසන්ත පී. නාරසිංහ හා අශෝක වීරතුංගත් ‘තනි අතට යන පාර’ සඳහා සිය දායකත්වය සපයති. සංගීතයෙන් නාලක අංජන කුමාරත්, පිටපත් රචනයෙන් ලලිත් රත්නායකත් සහභාගි වෙති. නිෂ්පාදනය සෙරනිටි එන්ටර්ටේන්මන්ට් වෙතිනි.

වීදි නාට්‍යයට 40 වසරක් සපිරෙයි

වීදි නාට්‍ය කලාවට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් දීපානි සිල්වා ඇතුළු විවෘත වීදි නාට්‍ය කණ්ඩායම තුන් දින රංග කලා වැඩ මුළුවක් සහ නාට්‍ය සංදර්ශනයක් මෙම මාසයෙහි 25, 26 දිනවලදී මහව හීනුක්වැව අභිමානි ජන සෙවණේදී පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව ඔවුහු මේ සංවත්සරයම නිමිති කරගෙන 2013 ඔක්තෝබර් සිට 2014 ඔක්තෝබර් දක්වා වසර පුරා සෑම මසකම, කොළඹින් පිටත සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි තුන් දින රංග කලා වැඩ මුළුවක් හා නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

වීදි නාට්‍ය කලාවේ පියා ලෙස විරුදාවලිය ලත් ගාමිණී හත්තොටුවේගම නාට්‍යවේදියාගේ ප්‍රමුඛත්වයෙන් ඇරැඹි විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ප්‍රථම රඟදැක්වීම සිදු වන්නේ 1974 වර්ෂයේය. ඒ අනුරාධපුර දුම්රිය පොළ වේදිකාවෙනි. ඔබත් ඉදිරි මාසවලදී වැඩසටහන් හා සංදර්ශන සංවිධානය කිරීමට කැමැති නම් 0718100988, 0777751909 යන දුරකථන අංක ඔස්සේ දීපානි සිල්වා අමතන්න.

රුක්මණී දේවියගේ 35 වැනි ගුණ සැමරුම:

‘මැවිලා පෙනේවි රූපේ’ ගී සැඳෑව 31 දා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ

දශක තුනකට පෙර දැයෙන් සමුගත් හෙළ නිළි රැජන, ගීත කෝකිලාවිය ලෙස ජාතියේ ගෞරවාදරයට පාත්‍ර වූ රුක්මණී දේවියගේ 35 වන ගුණ සැමරුම ඔක්තෝබර් 28 වැනි දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන් ‘අමරණීය රුක්මණී’ නමින් උපහාර උළෙලක් සහ රුක්මණී දේවි ගැයු ගී ඇතුළත් ‘මැවිලා පෙනේවි රූපේ’ නමින් ගී සැඳෑවක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඔක්තෝබර් 31 වැනිදා සවස 6.00 ට පැවැත්වීමට රුක්මණී දේවි සමරු සංසදය කටයුතු යොදා ඇත.

හෙළ කලා කෙත පෝෂණය කිරීමෙහිලා අනුපමේය මෙහෙවරක් ඉටු කළ ජීවිතයේ සැඳෑ සමය ගෙවනා පිළිසරණක් අවැසි කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් අත්වැලක් වීමට මෙම උපහාර උත්සවය සංවිධානය කෙරේ. මෙහිදී වියපත් කලාකරුවන් සිය දෙනෙකුට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමට රුක්මණී දේවි සමරු සංසදය කටයුතු යොදා ඇත.

මහේෂ් උමගිලිය ගේ ‘Eternal Return’ දර්ශනය 19, 20 බ්‍රිතාන්‍ය විද්‍යාල ශ්‍රවනාගාරයේ

මෙරංගා කලායතනයේ අධ්‍යක්ෂ මහේෂ් උමගිලිය තම නවතම සෞන්දර්යාත්මක නිර්මාණය Eternal Return (අවසන් වී නොවී දැල්වී නිවී දැල්වෙන ආලෝකය) නමින් ඔක්තෝබර් 19, 20 දෙදින බ්‍රිතාන්‍ය විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී සිදු කෙරේ. මෙහි පස්වරු 4.30 ට පැවැත්වෙන දර්ශනය පාසැල් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා නොමිලයේ රඟදැක්වේ. පස්වරු 7.00 ට පැවැත්වෙන දර්ශනය මහජනතාවට විවෘත වේ.

චිත්‍රසේන කලායතනයෙන් නර්තන අත්පොත් තබා 2013 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රංග වින්‍යාස ශිල්පියා ලෙස සම්මාන ලැබූ මහේෂ් උමගිලිය තම සෞන්දර්යාත්මක නිර්මාණය තුළින් කතාබහට ලක් කරනුයේ අප රටේ ආබාධ සහිත සහ ආබාධ රහිත ඕනෑම පුද්ගලයෙකු පෙලෙන්නට හැකි පොදු සමාජ ගැටලු ඇතුළත් සදාතනික සංසිද්ධි මාලාවකි.

මෙම සෞන්දර්යාත්මක නිර්මාණයට දායක වූවන් අතර අරලගන්විල ගම්මානයේ දිනුෂි කල්පනී ශාරීරිකව අභියෝගයට ලක් වූ තරුණියකි. නර්තන හැකියාව ස්වභාව ධර්මයෙන් දායාද ලැබුව ද ඇසීම සහ කතා කිරීමේ හැකියාව තිළිණ නොලද ඉන්දික සඳරුවන් සිසුවා ද මෙය තුළින් සිය රංග කුසලතා දක්වන්නේය. දක්ෂ රංග ශිල්පිනියක මෙන්ම කවි නිර්මාණයෙහි ද දස්කම් දක්වන ඩිලුෂා නදීකමාලි, චිත්‍රසේන කලායතනයේ පුහුණු නර්තන ශිල්පිනියක හා ශිල්පියෙකු වන මේනකා දිලානි සහ කුෂාන් මලින්ද මෙම නිර්මාණයේ සෙසු රංග දායකයෝ වෙති.

මහේෂ් මීට පෙර කළ සංවේද (2009), කළු ලේ (2010), සර්පීල පතය (2011, නර්තනාවර්තන (2012) ප්‍රේක්ෂක හද බැඳගත් නිර්මාණ වේ.

‘සුදු ලිහිණියෝ’ 20 දා ලුම්බිණියේ

‘සුදු ලිහිණියෝ’ වේදිකා නාට්‍ය මේ මස 20 වැනිදා ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.

සුනිල් සමරකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘සුදු ලිහිණියෝ’ හි ලක්ෂ්මන් ආරච්චිගේ, අජිත් කොටුවිල, සංජුල දිවාරත්න, තිලකරත්න ලියනගේ, ඩේමියන් ජයලත්, සුරංගි නිරෝෂනි, කුමාරි සේනරත්න යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වේ.