වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු සිනමා කතාව 35

ඉන්දියානු සිනමා කතාව 35

සුද්දන්ට බැට දුන් රැජනගේ කතාව තිරයට

ඉන්දියානු සිනමා කතාවේ තවත් පියවරකට අපි පිවිසෙමු.අද අප අවධානය යොමු කරනුයේ සොරාබි මෝඩි ගේ සිනමාව පිළිබඳවය.සිවිල් සේවකයෙකු ගේ පුතෙකු වන සොරාබ් මර්වන්ජි මෝඩි සිනමාව නම් අලුත් කලාව සොයා එනුයේ සිය සොහොයුරු කේකි මෝඩි සමගය. එවිට සොරාබිගේ වයස අවුරුදු දහසයකි.සොරාබි සිය සොහොයුරා අරඹන සංචාරක සිනමා ව්‍යාපාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරු විය.

ඔවුහු ඉන්දියාවේ ග්වාලිකර් නගර ශාලාව කුළියට ගෙන චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹූහ.එමෙන්ම චිත්‍රපට ප්‍රදර්ශන අතරතුර ශාලාවේ තිරය ඉදිරිපිට සජීවි රංගනයන් සහ ගායනයන් පැවැත්වීම එකල සිරිතක් විය.සොරාබ් නළුවකු වනුයේ එම විවේක කාලයේ දී ප්‍රේක්ෂකයන් අතර රංගනයට පිවිසෙමිනි.චිත්‍රපට රීල් කිහිපයක් අතර මග ලැබෙන කාලයේ වේදිකාවට පිවිසෙන සොරාබ් මෝඩි ප්‍රේක්ෂකයන්ගේ නොමද අත් පොලසන් නාදයට බඳුන් වූයේය.වයස අවුරුදු විසිහය ලබත්ම සොරාබ් ආර්ය සුබෝධි තියටර්ස් නමින් තමන්ගේම චිත්‍රපට ප්‍රදර්ශක සමාගමක් ආරම්භ කළේය.

කතානාද සිනමාව ඇරඹීම යනු තම වේදිකා රංගනයේ කෙළවර බැව් වටහා ගත් සොරාබ් 1935 වසරේ දී ස්ටේජ් ෆිල්ම් කම්පැනි නමින් නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ අතර එහි මුල්ම නිෂ්පාදනය ලෙස කූන් කා කූන් නමින් චිත්‍රපටයක් තිරයට ගෙනාවේය.එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ එවකට රාජ නාටකාංගනාවක් ලෙස පතළ ව සිටි චාමියන් බායි ගේ දියණිය වූ නසීම් බානුය.එයට පාදක වනුයේ ශේක්ෂ්පියර් ගේ හැම්ලට් නාට්‍යයයි.එයින් පසු ශේක්ෂ්පියර්ගේම කින්ග් ජෝන් ඇසුරෙන් සයිද් ඊ හවාන් නිර්මාණය විය.මේ චිත්‍රපට යුගලම ආදායම් අතින් සාර්ථක වූයේ නැත.සොරාබ් මෝඩි එයින් පසු සිය තවත් සහෝදරයෙකු වූ රස්ටම් මෝඩි සමඟ එක්ව 1936 වසරේදී මිනර්වා මුවිටෝන් නමින් නව සමාගමක් ආරම්භ කළේය.එහි මුල්ම චිත්‍රපටය වූයේ මිතා සහේර් (1938) නම් චිත්‍රපටයයි.එය ඒ වනවිට ඉන්දියාව වෙළා ගත් මත්පැන් පිළිබඳ සමාජ විවරණයක් විය. දික්කසාදය ඉල්ලන හින්දු කාන්තාවක් පාදක කර ගත් තලක් (1938) ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය විය.

මේ චිත්‍රපට යුගලම නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.මේ සාර්ථකත්වය සමඟ තමාගේ මුද්‍රාව සළකුණු කළ ඵෙතිහාසික වෘත්තාන්ත රැසක් සිනමාවට ගෙන ඒමට සොරාබ් වග බලා ගත්තේය.මේ දැවැන්ත චිත්‍රපට පසුතල, විචිත්‍රවත් නාටකීය අවස්ථාවන් ගහන නළු නිළි රංගනය, ආදී රූපය සම්පූර්ණ කර ගැන්ම සඳහා භාවිත කරන ලද සියලු අංගවලින් සමන්විත විය.චිත්‍රපටයේ පසුතල සහ ඇඳුම් නිර්මාණයෙන් එහි කාලය නීර්ණය කර ගත හැකි වුව ද සොරාබ් කිසි විටෙකත් සිය වෘත්තාන්තය එහි ඵෙතිහාසික පුවතට පමණක් සීමා කළේ නැත.ඔහු 1939 වසරේ දී නිර්මාණය කරන ලද පුකාර් චිත්‍රපටයට පාදක වනුයේ අවසාන මෝගල් අධිරාජ්‍යයා වන ජිහන්ගීර් රජ සමයයි.ඔහු ජිහන්ගීර් ගොඩ නඟනුයේ කළු සුදු මිශ්‍ර චරිතයක් හැටියටය.

එක් අතකින් කලා රසිකයෙක් වූ රාජකීය චරිතයෙහි අනිත් පසවූයේ කෲර පාලකයෙකි.සොරාබ් ගොඩනගන ජිහන්ගීර් බිසව වන නූර් ජෙහාන් රූමත් මෙන්ම සාමාන්‍ය ගැහැනු ගති ගුණ ඉස්මතු කරලූයේය.නසීම් බානු සහ චන්ද්‍ර මොහන් මෙහි රාජකීය යුවළ ලෙස චරිත නිරූපණය කළ අතර බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ තවත් වැදගත් අංගයක් වනුයේ එහි දෙබස් රචනයයි. කමල් අම්රොහි එහි දෙබස් රචකයා විය.පසු කලෙක මීනා කුමාරිගේ සැමියා වන ඔහු නිර්මාණය කරන ලද පාකීෂා ඉන්දියානු සිනමාවේ තවත් සදානුස්මරණීය සිනමා කෘතියක් විය.

එමෙන්ම බොහෝ විචාරකයන් විසින් සොරාබ් මෝඩි ගේ හොඳම චිත්‍රපටය ලෙස සලකනු ලබන සිකන්දර් (1941) සඳහා පාදක වනුයේ මහා ඇලෙක්සැන්ඩර් සහ ඉන්දියාවේ පන්ජාබය පාලනය කළ පෞරව රජු අතර ඵෙතිහාසික සංග්‍රාමයයි.ඇලෙක්සැන්ඩර් ගේ අධිරාජ්‍යය බිඳ වැටෙනුයේ මේ සංග්‍රාමයේ දී වන අතර සිනමාකරු එය පාදක කරගනුයේ අලුත් ඉන්දියාවක් පිළිබඳ මහත්මා ගාන්ධි තුමන් එවකට දකිමින් සිටි සිහිනය සාක්ෂාත් කර ගැන්මේ අරමුණත් පෙරදැරිවය.ශිකන්දර් වචනයේ පරිසමාප්ත අන්දමටම දැවැන්ත නිර්මාණයක් විය.එහි එන සංග්‍රාම දර්ශන පෙළ බ්‍රිතාන්‍ය සිනමා කරුවන් පවා මවිත කරවන සුළු බැව් ලන්ඩන් ටයිම්ස් පුවත්පත කියා සිටියේය.

මේ චිත්‍රපටය තිරගත වන විට දෙවන ලෝක මහා සංග්‍රාමය ලොව පුරා පැතිරෙමින් තිබිණ. එමෙන්ම හිට්ලර් ගේ යුද ජයග්‍රහණයන් ගෙන් බ්‍රිතාන්‍යයන් ඇතුළු සෙසු යුරෝපියන් වේවලමින් සිටි සමයයි.එබැවින් සිකන්දර් පවසන දේශපාලන අර්ථය බ්‍රිතාන්‍යයන්ට පහසුවෙන් දිරවා ගත නොහැකි විය.එහෙයින් චිත්‍රපටය බොහෝ ප්‍රාන්තයන්හි තහනම් කරන්නට ද ඉන්දියාවේ එවකට පාලකයන් වන බ්‍රිතාන්‍යයෝ් කටයුතු කළහ.

1943 වසරේ දී සොරාබ් මෝඩි නිර්මාණය කරන ලද ප්‍රිත්වි වල්ලබ් තවත් දැවන්ත චිත්‍රපටයක් විය. ඔහු 1953 වසරේ දී නිර්මාණය කරන ලද ජාන්සි කී රාණි චිත්‍රපටයට පාදක වනුයේ බ්‍රිතාන්‍යයන් හා 1857 දී සටන් වැදුණ මහාරාශ්ට්‍රයේ කුමරියක වන ලක්ෂ්මිබායි රැජින ගේ වෘත්තාන්තයයි.ජන්සී ප්‍රාන්තයේ රැජන වූ ඇය බ්‍රිතාන්‍යය සමග සටන් වැදුණ මුල්ම ඉන්දියානු නිදහස් අරගලය ට නායකත්වය දුන්නාය.සොරාබ් ඇය ගේ ජීවිතය සහ සංග්‍රාම පසුබ්ම් කරමින් තැනූ ජාන්සි කී රානි ඉන්දියාවේ මුල්ම ටෙක්නි කලර් චිත්‍රපටය විය.

1954 වසරේ දී ඔහු විසින් නිර්මාණය කරන ලද මිර්සා ගාලිබ් චිත්‍රපටයට පාදක වනුයේ අවසන් මෝගල් අධිරාජ්‍යයාගේ රාජකීය කවියා පිළිබඳ වය.මෙම චිත්‍රපටය එම වසරේ හොඳම ඉන්දියානු චිත්‍රපටයට හිමි ජනාධිපති සම්මානය දිනා ගැන්මට සමත් විය.එහි ප්‍රධාන චරිතය රඟපෑ සුරයියා ගේ ගායනය සහ රංගනය එවකට ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරු තුමන්ගේ සිත කෙතරම් දිනා ගත්තේද යත් සුරයියා මීර්සා ගාලිබ් ට ජීවය පමණක් නොව ආදරය ද දුන්නේයැයි හෙතෙම ප්‍රසිද්ධියේ කියා සිටියේය.

පසු කලෙක සොරාබ් තැනූ චිත්‍රපට ඔහුගේ මුල් චිත්‍රපට හා සැසඳීය නොහැකි ය. ඔහු ගේ අවසන් චිත්‍රපටය වනුයේ 1969 වසරේ දි නිර්මාණය කරන සාමේ බදා බත්වාන් ය.1960 වසරේ සොරාබ් බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරි සාමාජිකයකු වශයෙන් ද කටයුතු කළේය.

සොරාබ් මෝඩි සහ නසීර් බානු දිගු කලක් ප්‍රෙමයෙන් වෙළුනද කිසි කලෙක විවාහ නොවූහ. පසු කලෙක සොරාබ් තමා නිර්මාණය කළ පරාක් චිත්‍රපටයේ රඟපෑ මේතාබි සමග විවාහ විය.නසීම් පසුකලෙක පාකිස්තාන සිනමාකරු මිලාන් උල්සන් අල් හක් සමග විවාහ වුවද එයින් පසුව පවා සොරාබ්ගේ චිත්‍රපට කිහිපයක රඟපෑවාය.නසීම් සහ මිලාන් ගේ දියණිය වනුයේ හැටේ දශකයේ ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළියක් මෙන්ම වර්තමානයේ මහා නළු දිලිප් කුමාර්ගේ භාර්යාව වූ සයිරා බානුය.

1980 වසරේ දී දාදා සහාබ් පාල්කේ සම්මානයෙන් ද පිදුම් ලද සොරාබි මෝඩි බිමල් රෝයි ගේ යහුදි චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයක් රඟපෑවේය. එමෙන්ම පසු කලෙක ඉන්දියානු සිනමාවේ වැදගත් සිනමාකරුවන් දෙදෙනෙක් වශයෙන් සලකනු ලබන කේ.අසිෆ් මෙන්ම කමල් අම්රෝහි සිනමාවට හදුන්වා දීමේ ගෞරවය ද සොරාබ් අත්පත් කර ගනියි. ඔහු 1984 වසරේ ජනවාරි 08 වැනි දින මිය යන විට 84 හැවිරිදි වියේ පසුවිය.