වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඔහොම අමාරුවේ වැටෙන්නෙත් හිත හොඳ ගෑනු

ඔහොම අමාරුවේ වැටෙන්නෙත් හිත හොඳ ගෑනු

ශාන්ති දිසානායකගේ සම්මානනීය නවකතාව පාදක කර ගනිමින් සරත් ධර්මසිරි අතින් තිර රචනය කරන ලදුව ෆාහිම් මවුජිඩ් ගේ අර්ථපතිත්වයෙන් සුදත් රෝහණ අතින් ටෙලිවිෂන රූප කාව්‍යයක් වන ගිරිකුළ ඇසුරෙන් සරසවිය වෙත විශේෂයෙන් ලියැවෙන වෘතාන්තයකි.

සෙදෝ නෝනා ගේ කෝපය ඉකමනින් පහව ගියේය.මෙයට මොහොතකට පෙර තමා කෙස් වැටිය අල්ලා තර්ජනය කළ ගැහැනිය ඇයට තේ කෝප්පයක් වත්කර දෙන්නීය. මුතු මැණිකා ගේ කුස යන්තම් ඉදිරියට නෙරා ඇති වග සෙදෝ නෝනාට පෙනිණ.සෙදෝ නෝනා ගෙට ගොඩ වැද රණ්ඩු කරන විට ගෙයි හරියක සීනි ඇටයක් වත් නොතිබිණ.ඒ අතර වාරයේ පොල් ගෙඩි දෙකක් ගෙන ගොස් සීනි ගෙනෙන්නට හීන් බණ්ඩා යැවීමට තරම් මුතු මැණිකා සමත් වන අයුරු සෙදෝ නෝනා දැක ගත්තාය. ඇයගේ අණ ඉදිරියේ පසු බසින්නට කිසිවකුට නොහැකියැයි ඇයට වැටහිණ.මේ නාඳුනන තරුණිය ඉදිරියේ අනුකම්පාවක් පළ කළ යුතුයැයි ඇයට හැඟිණ.

"මේකි කියන එව්වා අහන්ඩ එපා. යන්ඩෙපා කඩේට"යැයි සෙදෝ නෝනා ගේ තර්ජනාංගුලිය ගණන් නොගැනීමට තරම් මුතු මැණිකා ගේ හඬ හීන් බණ්ඩා ට බලවත් විය.හීන් බණ්ඩා අහිංසක බැල්මක් නැන්දනියට හෙලුවේය.

'කිරි අම්මාට පිපාසේත් ඇති.තවම තේ දීලා නෑ"

ඔහු පොල් ගෙඩි දෙක රැගෙන යන ගමන් නිදහසට කරුණු ලෙස නැන්දනියට කියා පෑවේය.

"හරි නම් පොල් මුරේ කැඩුවමහරි හරියට බෙදන්න ඕනෑ.අම්මා ඉන්න හින්දා අපි එව්වාට අත ගහන්නේ නැත්තේ.නැත්තම් තවම මේ ගෙවල් ඉඩ කඩං හරියට කාටවත් බෙදල නෑ"

මුතු මැණිකා කිසිත් කියන්නට ගියේ නැත.ඇය ඒ වෙනුවට කතා බහකින් තොරව වතුර කේතලයක් ලිපේ තැබුවාය.එහි දුමාරය කුස්සිය පුරා පැතිර ගියේය.සෙදෝ නෝනා කිරි එතනා සමග ගෙයි ඉදිරිපිට ආලින්දයේ වාඩිවූවාය.වතුර නටා අවසන් වන විටත් සෙදෝ නෝනා හා මුතු මැණිකා සමග කතාවක් නොතිබිණ. ඒ කාලයේ කිරි එතනා සහ සෙදෝ නෝනා දිගු කතාවක් කළහ. එය හීන් සීරුවේ කෙරුණ සතර කන් මන්ත්‍රණයක් විය. එයට කන් දෙන්නට මුතු මැණිකාට වුවමනා වුවත් ඉඩක් නොවුණි.එහෙත් එහි මාතෘකාව තමා බව ඇය ට වැටහිණ.ඒ අතරවාරයේ හීන් බණ්ඩා සීනි රැගෙන ගෙට ගොඩ විණ. ඇය තේ වත් කර කිරි එතනා ට මෙන්ම සෙදෝ නෝනා ට ද පිළි ගැන්වූවාය.

එය සෙදෝ නෝනා බලාපොරොත්තුවූවක් නොවීය. ගනිම්දෝ නොගනිම් දෝ යැයි ඇය ඇගේ සිතිවිලි අතර සටන් කළාය. එහෙත් මේ ලොවට තේ කෝප්පයක් කදිමය.කොහොමටත් ඇය ගෙයින් පිට වන විට එහි ද තේ බොන්නට සීනි තිබුනේ නැත.සෙදෝ නෝනා තේ කෝප්ප්ය අතට ගෙන එය තොල ගෑවාය. මේ ගැහැනිය සීනි ද කහටද නිසි ලෙස එක් කොට තිබිණ.සෙදෝ නෝනා තම තේ කෝප්පය විසි කරනු ඇතැයි මුතු මැණිකා මුලින් අනුමාන කළාය.එහෙත් ඇය තම තේ කෝප්පය තොල ගානු දුටු ඇය කාටත් නොපෙනෙන්නට සිනහවක් පා ගත්තාය.එතැනින් නික්ම ගිය මුතුමැණිකා සහල් ගරන්නට පටන් ගත්තාය.තේ කෝප්පය හිස් කළ සෙදෝ නෝනා අම්මා ගේ තේ කෝප්පය ද ගෙන කුස්සියට පැමිණුනාය.මුතු මැණිකාගේ හැඩ රුව දෙස මොහොතක් බලා උන් සෙදෝ නෝනා ඇය ළඟ ඇණ බිම තබා වාඩි වුනාය.හිස ඔසවා යන්තම් සෙදෝ නෝනා දෙස බැලූ මුතු මැණිකා යළිත් හාල් නෑඹිළියට හිස යොමු කළාය.

"උඹ හිත හොඳ එකියක් කියලා මට තේරෙනවා.නැත්තම මෙයාකාර උඹට බැණ අඬ ගහපු මට තේ වත් කරල දෙයි ද?"

සෙදෝ නෝනා කතා කළේ පෙර ස්වරයෙන් නොවේ.මේ ගැහැනිය මෙයාකාරයෙන් හා මේ ඉක්මනට තමන් ඉදිරියේ දැපනය වනු ඇතැයි මුතු මැණිකා සිතුවේ නැත. එහෙත් මුතු මැණිකා කිසිත් කියන්නට ගියේ නැත.

"අනිත් කාරණේ ඕං ඔහොම අමාරුවේ වැටෙන්නෙත් හිත හොඳ ගැහැණුම තමා.මටත් උඹ ගැන දුක නැතිවම නොවේ. ළමයෝ"

මුතු මැණිකා තවමත් නෑඹිලියට හිත යොමු කර ගෙනය.සෙදෝ නෝනා වටපිට බැලුවාය. ඇය මුතු මැණිකාට තවත් සමීප වූයේ රහසක් කියන්නට මෙනි.

"ඒත් ළමයෝ උඹ මෙහෙ නැවතිලා පලක් වෙන්නේ නෑ,මහ උන්දා මැරිච්ච කාලෙක මයෙ පුතෙක් ගෙනල්ලා මෙහේ පදිංචි කරනවා.උන්ටත් මහ ගෙදර අයිතියක් තියෙනවනේ."

ඇය කතා කළේ හෙමිහිටය.මුතු මැණිකා හිතන විධිය අවබෝධ කර ගන්නට ඇයට වුවමනාය.

"කොළනි ඉඩං හරි විසාලයි.අක්කර අටක් කිව්වම ස්වල්පයක් ද "

සෙදෝ නෝනා යළිත් වට පිට බැලුවාය. කිසිවක් හෝ ඇයගේ කතාවට කන් දෙනවා දැයි සැක හැර දැන ගැනීමට ඇයට අවශ්‍යය.හීන් බණ්ඩා වත්ත පහලට යනු මොහොතකට පෙර ඇය දුටුවාය.

"වස්තුහාමි අය්යා බොරු කියන්නේ.සුදු බණ්ඩා කසාද බැඳල නැහැ,"

මුතු මැණිකා හාල් ගැරීම නැවැත්වූවාය.අනතුරුව ඇය සෙදෝ නෝනා ගේ දෙවුරෙන් අල්ලා ගත්තාය.

"මට හත් අට වතාවේ හිතුණා.සුදු බණ්ඩය්යා කසාද බැඳලා නෑ කියලා.මට කොළනියට යන්න හිතයි.ඒත් මං දන්නේ නෑනේ"

ඇය සෙදෝ නෝනා දෙස බැලුවේ පිහිටක් පතන්නියක ලෙසය.මුතු මැණිකා ගේ ඇස් වල කඳුළු පිරෙමින් තිබිණ.

"අනුරාධපුරේ පාරේ පළයං. එතකොට තඹුත්තේගම හම්බුවෙයි.ඒ හන්දියෙන් අහපං ඇඳගලට යන පාර.හොයා ගන්න බැරි වෙන එකක් නෑ."

සෙදෝ නෝනා මුතු මැණිකාගේ හිස අත ගෑවාය.මුතු මැණිකාගේ මුවගට මද සිනහවක් නැගිණ.ඇය කල්පනා වට වැටුණාය.උන් තැනින් නැගිට ගෙට ගිය සෙදෝ නෝනා ආපසු පැමිණියේ ටික වේලාවකිනි.ඒ වන විටත් මුතු මැණිකා සිටියේ කල්පනා කරමිනි.ඇය ගේ කල්පනා ලෝකය බිඳ වැටුණේ සෙදෝ නෝනා ඇයගේ උරහිසට අත තැබූ හෙයිනි.ඇය කාසි කිහිපයක් ගෙන මුතු මැණිකාගේ අත මිට මෙලෙව්වාය.අනතුරුව සෙදෝ නෝනා ගෙයින් එලියට බැස පිටත්ව ගියාය. ඒ වන විට පොල් රුප්පාවට ඉර වසන් වෙමින් තිබිණ.

පසුවදා කිරි එතනාට දහවල් වන තුරු නින්ද ගියේය.ඇය අවදිව වට පිට බැලුවාය.වසන ලද ජනේල පියන් අතරින් ඉර වැලිය වැටෙන අයුරු ඇයට පෙනිණ.පසුගිය දවස් ටිකේම ඇය පිබිදෙන විට ඇය ඇඳ අසල තේ කෝප්පයක් විය.එහෙත් අද ඒ තේ කෝප්පය නොවීය.ඇඳෙන් බැස ගත් කිරි එතනා මිදුලට බැස්සේ හැරමිටියට වාරුවෙමිනි.පොල් ගෙඩි දෙකක් මිදුලේ වැටී තිබෙනු දුටු ඇය අසීරුවෙන් එය ඇහිඳ ගත්තාය.අනතුරුව එය ගෙතුළට ගෙන විත් දැමූ කිරි එතනා ගේ ඇතුළේ ඇවිද ගියාය.හීන් බණ්ඩා තවමත් නිදිය.

‘හීං එකෝ.“

ඇය හීන් බණ්ඩා කූද්දන්ට උත්සාහ කළාය.එක්වරම පිබිදුන හීන් බණ්ඩා පැදුර මත වාඩී වී ටික වේලාවක් කල්පනා කළේය.

“මයෙ පැටියා.වතුර මුට්ටයට ලිපට කොරපං කෝ.“

එහෙත් එක්වරම හීන් බණ්ඩා නැගිට්ටේ නැත.

"ඉතිං වරෙං කියන එක අහලා"

ඇය යළිත් පැවසුවාය.හීන් බණ්ඩා එවර නැගිට ගෙයින් එලියට බැස්සේය.නිදිබර ඇස් වලට එළිය වැටුනෙන් එක්වරම කිසිවක් පෙනෙන්නේ නැති ගානය.ඔහු ඇස් පිසදා වට පිට බැලුවේය.

"වතුර ලිපේ තියපං"

කිරි එතනා කියනු ඔහුට ඇසිණ.

ඔහු හාත් පස සිසාරා බැලුවේය. පසුගිය දවස් ගණනාවේම තමන්ට කලින් පිබිදෙන මුතු මැනිකා මේ වනවිට උදෑසන කළ යුතු සියල්ල සිදු කර අවසන්ය.

"අර අක්කා කෝ"

ඔහු සිය මිත්තනියගෙන් විමසුවේය.

"කවුදෑ දන්නේ?"

ඇය පැවසුවෙන් ඔහු කරබා ගත්තේය. ඔහු මුළුතැන් ගෙයට ගියේ ඇය එහි සිටිනුදැයි බලන්නටය.එහෙත් ඇය එහි ද නැත. ඔහු ලිපට පිම්බේය.ඒ ගිනි අවුලන්නටය.එහෙත් එහි අළු වලින් ඔහු නැහැව ගියෙන් ඔහුට කැස්සක් ආවේය.ඔහු ආපසු හැරී බලද්දී කිරි එතනා දොරකඩ උන්නාය.

"මේකි කොහෙද ගියේ ?".

ඇය ඇසුවාය.

සීනි ගේන්ඩ ගියාද ?"

එහෙත් කලින් දවසේ තමා සීනි ගෙන ආ වග සිහිපත් වූ හීන් බණ්ඩා බෝතලය දැක්කේය.

"මේ සීනි තියෙන්නේ"

හීන් බණ්ඩා පැවසුවේය.

"මේකි ළිඳකට වත් පැන්නාද ?එහෙම නං විසුමක් වෙන්නේ නෑ'

කිරි එතනා හිසෙහි අත ගසා ගත්තාය.
 

මතු සම්බන්ධයි

ඡායාරූප - ධම්මික පතිරත්න