|
|
හිරේ නොදා කැලේට දැමූ ජග්තියානි
නමින් ඔහු කේවල්රාම් කිශන්චංද් හෙවත් කේ. කේ. ජග්තියානිය. 1928 නොවැම්බර් 02 දා
දැනට පාකිස්ථානයට අයිති පළාතක උපත ලද හෙතෙම පසුගිය ඔක්තෝබර් 04 දා මූම්බායි හිදී
අභාවප්‍රාප්ත විය. භාරතය මවුබිම කොට ගත් කේ. කේ. 1945 සිට 1971 දක්වා වැඩිපුර කාලය
ගත කළේ තමා දෙවන මවුබිම ලෙස සැලකූ ලංකාවේය. ඉන් පසුව ද ඔහු නිතර මෙහි ආවේය. ගියේය.
හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය මෙන්ම කැසිනෝ ක්‍රීඩාවට දැක් වූ අසීමිත ඇල්මද ඊට හේතු
වූවාට සැක නැත. මීට වසර හතකට පමණ පෙර හරියටම දිනය කීවොත් 2006 ජනවාරි 12 දා
චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී ඔහු හමු වූ අවස්ථාවේදී මා හා සම්මුඛ
සාකච්ඡාවකට එකඟ වූ ඔහු මේ ලිපිය ඔහු ජීවතුන් අතර නැති දිනෙක පමණක් ප්‍රසිද්ධියට පත්
කරන ලෙස උදක්ම ඉල්ලා සිටියේය. “මං උපන්නේ දැනට පාකිස්ථානයට අයිති පළාතක. අපේ පවුලේ සහෝදරයෝ හතරයි. සහෝදරියෝ හතරයි. මං දෙවෙනියා. එයින් දැනට ජීවත් වෙන්නේ මායි නංගි කෙනෙකුයි විතරයි. මගේ පියා ගුරුවරයෙක්. ගාන්ධිතුමාගේ නිදහස් සටනට තාත්තයි, අයියයි දෙන්නම ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. හිරේ විලංගුවේ වැටුණා. 1947 රට නිදහස් වුණාට පස්සේ ඒ වෙනුවෙන් අයියාට විශ්‍රාම වැටුපක් පවා ලැබුණා. ඒක තවම එයාගේ බිරිඳට ලැබෙනවා. මාත් පාසැල් වියේම නිදහස් සටනට එකතු වුණා. මං ලාබාල නිසා මාව හිරේ දැම්මෙ නෑ. මාව ගිහිං දැම්මා ගෙදරින් හැතැප්ම හතළිහක් විතර දුර කැලේකට. මං පයින්ම ආපහු ගෙදර ආවා. ඉන්දියාව බෙදෙන කොට අපි හිටියේ පාකිස්ථානයට අයිති කොටසේ. තාත්තා අපිව හංගගෙන කරච්චියට යනවා. එතනින් නැවෙන් ආවා බොම්බායට. මං මුලින්ම ලංකාවට ආවේ 1945 තලෙයිමන්නාර් හරහා. ඒ නිර්මල සිල්ක් ස්ටෝරස් හි සෙල්ස්මන් හැටියට. එතකොට මගේ වයස 17 යි. මං නිතර ජින්තුපිටියේ මයිලන් තියටර් එකේ හින්දි චිත්‍රපට බලන්න යනවා. එහි අයිතිකරු මට යෝජනා කළා හින්දි චිත්‍රපට ගෙන්වලා කොමිෂන් අනුව පෙන්වීමට. 1948 මම කේ. කේ. ෆිල්ම්ස් නමින් චිත්‍රපට බෙදා හැරීමේ ආයතනයක් පටන් ගත්තා. මුලින්ම පෙන්නුවේ ‘ලේඛ්’ චිත්‍රපටය. ඉන් පස්සේ ‘බාබුල්’ ‘අනෝඛා ජ්යාර්. ඒ තමයි ආරම්භය. ඒක හුඟාක් සාර්ථක වුණා. ‘දුලාරි’ එහෙ හරිම අසාර්ථකයි. ලංකාවේ එක දිගට මාස හයකට වැඩි කාලයක් පෙන්නුවා. ඒකේ රඟපාපු ගීතා බාලිත් ලංකාවේ හිටපු කෙනෙක්. මගෙ දෙවන මවුබිම තමා ලංකාව. 1958 දී මං විවාහ වුනා. මගේ බිරිඳ උපන්නේ මෙහේ. මගේ ළමයි තුන්දෙනාම උපන්නේ මෙහේ. මං ලංකාවටත් ලංකාවේ මිනිස්සුන්ටත් හරිම ආදරෙයි. දැන් වුණත් වැඩි කාලයක් මං ජීවත් වෙන්නේ මෙහේ. විලියම් ගොපල්ලව හිටපු ජනාධිපතිතුමා මං කළ සමාජ සේවය ගැන මට සහතිකයකුත් දීලා තියෙනවා. 1957 දී මම ක්‍රවුන් සිනමාහල සිලෝන් තියටර්ස්ලගෙන් බදු ගත්තා. 1971 වනතුරු ඒක කරගෙන ගියා. මං සිංහල චිත්‍රපට 3 ක් හැදුවා. මුලින්ම ‘කළ කළ දේ පල පල දේ’. මට ඕනෑ වෙලා තිබුණා ගාමිණී ෆොන්සේකාව ප්‍රධාන චරිතෙට ගන්න. නමුත් අධ්‍යක්ෂ ශාන්ති කුමාර්ට ඕනෑ වුණා ආනන්ද ජයරත්නව. මං ඒ දවස්වල ගාමිණීව ඒ තරම් දන්නේ නෑ. පස්සේ ගාමිණී මගේ හොඳ මිතුරෙක් වුණා. සමහර වෙලාවට මං ලංකාවේ ඉඳලා බොම්බායට යනදාට ඔහුගේ ජාඇල ගෙදර ගිහිං කෑම කාලයි යන්නේ. මං ඔහුගේ අවම¼ගුලට පවා සහභාගි වුණා. ඊට පස්සේ මං ‘සිඟිති සුරතල්’ හා ‘කලණ මිතුරෝ’ නිෂ්පාදනය කළා. තවත් හින්දි / සිංහල චිත්‍රපටයක් කිරීමට අදහස තවම මගේ හිතේ තියෙනවා. මං ඒ ගැන අපර්නා සෙන් එක්ක කතා කරලා තියෙනවා. හින්දි චිත්‍රපට නළු නිළියෝ හුඟ දෙනෙක් මගේ පුද්ගලික යාළුවෝ. 1961 දිලිප් කුමාර්ව ‘කොහිනූර්’ චිත්‍රපටය වෙනුවෙන් මං ලංකාවට ගෙනාවා. ළඟදී ලංකාවට ආපු සල්මන් ඛාන්, කරිශ්මා කපූර්, ජුහි චව්ලා, උදිත් නාරායන් වැනි අයව ලංකාවට ගෙන්වා ගැනීමට සම්බන්ධීකරණය කළේ මමයි. අපේ තාත්තා චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරලා තිබෙනවා. ‘භාරත් කී බේටි’ (භාරත දියණිය) ඉන් එකක්. මගේ දෙවැනි පුතා මමෝජ් ‘සිඟිති සුරතල්’වල රඟපෑවා. බාල පුතා දැනට ඉන්දුනීසියාවේ හින්දි චිත්‍රපට බෙදා හැරීමේ නිරතව සිටිනවා. ජීවරාණිව මට නිතර මුණ ගැහෙනවා. ඇගේ දුව බඳීන වෙලාවේ මං ඕස්ට්‍රේලියාවටත් ගියා. කොටි සංවිධානයේ රට බෙදීමට මං තදින්ම විරුද්ධයි. ඉන්දියාව බෙදිච්ච එක ගැන මං තවම කම්පා වෙනවා. ඉන්දියාවයි, පාකිස්ථානෙයි, බංග්ලා දේශයයි එක රටක්ව තිබුණා නම් කොයි තරම් විශාල බලවේගයක් වෙන්න තිබුණාද? මං නිදහස් ජීවිතයකට කැමැතියි. ඒ දවස්වල ශාන්ති කුමාර් යෝජනා කළා මට චිත්‍රපටයක රඟපාන්න. මං කැමැති වුනේ නෑ. මං ප්‍රචාරයට කැමැති නෑ. මට ඕනෑ නිහඬව ජීවත් වෙන්න. |



