|
|
‘සීතා මං ආවා’ චිත්‍රපට මාෆියාවට අහු වුණාද?
මගේ ’සීතා’ චිත්‍රපටය මාෆියාවට අහු වුණා.
- අපොන්සු මෙහෙම කියන්නේ සීතා මං ආවා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජයසේකර අපොන්සු. ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සමඟ ඇරැඹි සීතා මං ආවා චිත්‍රපටය ඉතා සාර්ථක ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිතව තිරගත වන අවස්ථාවක චිත්‍රපට ශාලා හිමියන් බලෙන් චිත්‍රපටය ගලවා ඉවත් කළ බව ඔහු වැඩිදුරටත් පවසනවා. තමන්ගේ චිත්‍රපටය අසාධාරණ ක්‍රියාවලියකට ලක්කළ පිරිස ගැනත් අපොන්සු කතා කරන්නේ කනගාටුවෙන්. මෙන්න ඒ කතාව. ‘සිතා ආවා චිත්‍රපටය ආරම්භයේ ඉඳළම මට කෙනෙහිලිකං. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ චමින්ද රණසිංහ. චිත්‍රපටය හදන්න තීරණය කළාම සිනමා ලෝකේ ප්‍රබල නිෂ්පාදකවරයෙක් ඔහුගෙන් අහල තිබුණා අපොන්සු තෝර ගත්තේ වෙන කවුරුවත් නැතුව ද කියලා. ඒත් චමින්ද මාව විශ්වාස කළා. අපි ඉතාමත් එකමුතුකමින් මේ චිත්‍රපටය හදලා ඉවර කළා. ඊට පස්සේ චිත්‍රපටයට දිනයක් ලබා ගන්න අපි බලං හිටියා. සංස්ථාවෙන් කිව්වා ටිකක් ඉවසල ඉන්න හොඳ මණ්ඩලයක් දෙන්නං කියලා. ඒත් නිෂ්පාදකතුමා තීරණය කළා මේ චිත්‍රපටය ඉතාම ඉක්මනින් . . . . මණ්ඩලයේ සිනමා ශාලා වෙත නිදහස් කරන්න. ඔන්න ඉතිං පළමුවෙනි දවසෙම කචල්. රාවණා බලකාය කොහොම හරි අපට හොඳ පබ්ලිසිටි එකක් හදල දුන්නා. මං හිතුවා ඒ පබ්ලිසිටිය එක්ක කට කපල සෙනඟ පිරෙයි කියලා. ඒත් ඒ වෙච්ච සිද්ධියෙන් බොහෝ දෙනෙක් හිතුවේ චිත්‍රපටය පෙන්වන්නේ නෑ කියලා. චිත්‍රපටය තිරගත වුණා. අනෙක් මණ්ඩල දෙකේ තිරගත වුණේ සිරි පැරකුම් සහ රන්කෙවිට. ක්‍රමයෙන් සෙනඟ වැඩිවෙමින් සීතා මං ආවා සාර්ථකව තිරගත වෙමින් තිබුණා. ඒත් මේකට සෙනඟ කඩාගෙන ආවේ නැහැ. එක දවසක් ගයාන් මාපලගම කියලා මගේ මිත්‍රයෙක් දුරකථනයෙන් කතා කළා. බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ චිත්‍රපටය තිරගත වෙන්නේ දර්ශන වාර දෙකයි කියලා ඔහු කිව්වා. චිත්‍රපටය බලන්න විසිපස් දෙනෙක් විතර ඉන්නව කියලත් ඔහු කිව්වා. මට දැනුණේ වාවගන්න බැරි දුකක්. මේ අතර කාලයේදී රිට්ස් සිනමා ශාලවේ කළමනාකරු මට කිව්වා චිත්‍රපටය ගලවන්න වේවි කියලා. එ අවස්ථාවේ අපේ නිෂ්පාදකතුමා ලයිට් වතුර බිල් ගෙවන්න ශාලාවට ලක්ෂ තුනක් ලබා දුන්නා. මගේ චිත්‍රපටය සුනිල්ලගෙ, සෝමරත්නලගෙ මාෆියාවට අහු වුණා. මහරගම අනූෂා හෝල් එකේ දුවපු සිරි පැරකුම් මගේ චිත්‍රපටය ගලවල නැෂනල් එකටත් ආවා. සුනිල් ටී රිට්ස් එකේ මගේ චිත්‍රපටය දර්ශන වාර දෙකකට සීමා කරලා හින්දි චිත්‍රපටයක් දැම්මා. ඊට පස්සේ එතනටත් සිරි පැරකුම් ආවා. මේක චිත්‍රපට මාෆියාවක්. මේ මාෆියාව මගේ සුන්දර සිහිනය බොඳ කළා. මං ඉන්නේ හරිම කනගාටුවෙන්. සෝමෙලට, සුනිල්ලට වටිනවා සුන්දර කලාකරුවන්ට සාධාරණයක් ඉටු කරන්න.
ඔබ චිත්‍රපට සංස්ථාවට මේ ගැන ලිඛිතව දැනුම් දීලා තියෙනවාද? නැහැ.
ඇයි ඒ? වාචිකව කරුණු ඉදිරිපත් කළා.
මොකද වුණේ? සභාපතිතුමා කිව්වා එයාලගේ හෝල්වල දිගටම චිත්‍රපටය පෙන්නන්න ද කියලා. ඒත් සභාපතිතුමාගේ අණ නොතකා ඊට පහුවෙනිදා ඒ අයගේ හෝල්වලිනුත් සීතා මං ආවා ගැලවුණා.
ඔබ කියනවා මේක මාෆියාවක් කියලා. විසඳුම මොකක්ද? එක්කෝ චිත්‍රපට සංස්ථාවක් තියෙන්න ඕනේ. නැතිනං නැත්තටම නැති වෙලා යන්න ඕනෑ. ඒ වගේම මේ දේවල් හසුරුවන්න කොන්ද තියෙන පිරිසක් එන්න ඕනේ.
උද්ඝෝෂණයකට සූදානම් වුණා නේද? ඔව්. මාත් එක්ක චිත්‍රපට සංස්ථාව වටලන්න 300 ක් විතර එකතු වෙලා හිටියා. එත් ඒ උද්ඝෝෂණයට නිෂ්පාදකතුමා කැමැති වුණේ නැහැ.
ඔබ කියන්නේ සීතා මං ආවා චිත්‍රපටය හොඳ ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තිරගත වෙද්දී ගලවල දැම්ම කියලා? ඔව්. දර්ශන වාරයකට සරිලන පිරිසක් හිටියා. ඒත් කට කපල සෙනඟ හිටියේ නැහැ. තව ටික දවසක් තියා ගත්තනං මේක අනිවාර්යයෙන්ම දුවනවා. මේ මාෆියා කරුවන්ට ඉවසන්න බැරිවීම දුකක්.
ඔබ සෝමරත්න දිසානායකටත් චෝදනා කරනවා? ඔව්, එයාට තිබුණේ එච්චර දුවන චිත්‍රපටය ටික දවසක් යනකංවත් නොදී ඉන්න. එයාලා සහෘද කලාකරුවෝ ගැන හිතන අය නෙවෙයිනේ.
ඔබ ඉන්නේ කලකිරීමකින්?
නෑ. මං ලබන සතියේ තරු සොබා කියලා චිත්‍රපටයක වැඩ අරඹනවා. ඒකෙ නිෂ්පාදකයා මං. අර
විදියට ඒක ගලවන්න මම ඉඩ දෙන්නේ නැහැ. අපි කලාව කළේ ගෙවල් දොරවල් විකුණගෙන. අන්තිමට
අපට ලැබෙන තෑගි තමයි මේ. දෙතුන් දෙනෙකුට චිත්‍රපට පෙන්නලා පාඩු ලබන්න මට බැහැ
- සුනිල්
අපි ඊළඟට මේ චෝදනාව රැගෙන සුනිල් ටී. ප්‍රනාන්දු හමුවුණා.
ඔබ චිත්‍රපට මාෆියාකරුවෙක් කියලා අපොන්සු චෝදනා කරනවා? මං මේ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ලබා දෙන්නම්. චිත්‍රපට කරමාන්තය කියන්නේ ව්‍යාපාරයක්. දෛනිකව සිනමා ශාලාවක් පවත්වාගෙන යාමට විශාල පිරිවැයක් දරන්නට සිදුවෙනවා. සාමාන්‍ය නිවෙසක විදුලි බිල වගේ මුදලක් වැය වෙනවා නම් එය දරන්නට මට පුළුවන්. බොරැල්ල වගේ කේන්ද්‍රීය නගරයක සිනමා ශාලාවක් පවත්වාගෙන යාමට ඉතා විශාල මුදලක් වැය වෙනවා. ඉතිං ඒ මුදල සොයා ගන්න ප්‍රේක්කෂකයන් පැමිණීම අනිවාර්යයයි. ඒත් සීතා මං ආවා චිත්‍රපටයේ දර්ශන වාර බොහොමයකට හිටියේ ඉතා අඩු ප්‍රෙක්ෂක පිරිසක්. උදාහරණයක් විදියට දැන් මේ මොහොතේ (2013. 10. 11 පෙ. ව. 11.50) ඉන්නේ චිත්‍රපටය බලන්න දෙන්නයි. මං දෙන්නෙකුට ඒ කියන්නේ රුපියල් 600 කට මේ චිත්‍රපටය තිරගත කරනවා. ඒකෙන් මට ලැබෙන්නේ 300 යි. ඉතිං මං අතින් පාඩු විඳලා චිත්‍රපටය පෙන්නන්නද? ඉස්සෙල්ලම තමන් හොඳ චිත්‍රපටයක් හදන්න ඕනේ. එතකොට සෙනග ඒවි. කොයි චිත්‍රපටය දිව්වත් මට කමක් නැහැ. හැබැයි ශාලාව පවත්වාගෙන යන්න මුදල් ලැබිය යුතුයි. සිරි පැරකුම් හොඳට මිනිස්සු බලන නිසා තමයි මමත් ඒ චිත්‍රපටය දාන්න තීරණය කළේ. දැනටත් සීතා මං ආවා ෂෝ දෙකක් දුවනවා. ඒකේ පාඩුව කැපෙන්නේ සිරි පැරකුම් කලෙක්ෂන් එකෙන්. මේක මාෆියාවත් නොවෙයි. සාමාන්‍ය ක්‍රමවේදය. සෙනඟ එන්නැති චිත්‍රපට දාගෙන ඉඳළා මොනව කරන්නද?
|





මේ මට
අදාළම නැති
ප්‍රශ්නයක්