වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




දක්ෂයන්ට උදව් කරලා මං සතුටක් ලබනවා

දක්ෂයන්ට උදව් කරලා මං සතුටක් ලබනවා

පැහැසර ගීතය ලියූ

සුන්දර හිත කියවමු

පසුගිය සිරස සුපර් ස්ටාර් තරගාවලියේ කිරුළ හිමිකර ගත් තිසර චානක ගයන මේ ගීතය මේ දිනවල අතිශය ජනප්‍රියයි. මේ ගීතයේ පද රචකයා මීට පෙර ද ගීත කිහිපයක් නිර්මාණය කළ ඩිලක්ෂන් චන්දිරාම්ය. වෙනස්ම පද වැලක් ගත් මෙම ගීතය ගැන ඔහු සමඟ කළ කෙටි කතාබහකි මේ.

ඔබගේ නිර්මාණශීලී ගමන් මග ආරම්භ වුණේ කොහොමද?

පුංචි කාලයේ ඉඳලම ලියන්න, කියවන්න මම කැමැතියි. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ ගීතවලට මම තදින්ම ඇළුම් කළා. එතුමාගේ ගීතවල අදහස් මම අධ්‍යයනය කළා. මේ අතරෙදි ඉඩ ලැබෙන හැම වෙලාවකම ලියන්න මම හුරු වෙලා හිටියා. මගේ අත්දැකීම්, වෙනත් අයගේ අත්දැකීම් වගේම සමාජයේ දකින, ඇසෙන දේවල් මම ගීත බවට පත් කළා. මෙහෙම කලක් ගතවුණා. ඒ අතරතුරදී නිර්මාණශීලී පිරිස් සමඟ ගනුදෙනු කරන්නට මට හැකියාව ලැබුණා. ඒ අයත් සමඟ මම අදහස් හුවමාරු කර ගත්තා.

මේ වචන ටික මට මුලින්ම ලියැවුණේ මගේ කාර්යාලයේදී. කාර්යාලයේ සිටින අයෙකුට මම මේ ගීතයේ පද ටික බලන්න දුන්නා. ඇයත් ගීතය සම්බන්ධව හොඳ අධ්‍යයනයක් තිබෙන කෙනෙක්. ඒ පද හොඳයි කියලා මගේ මිතුරිය කිව්වා. ඉන් පසුව ඒ පද පේළිය ගීතයක් බවට පත් කළේ උදාර සමරවීර විසින්.

සුපිරි තරු මාවතේ දක්ෂයකු ලෙස රටම හඳුනා ගත් තිසර චානක වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්නට මට අවශ්‍ය වුණා. අපි ගීතයේ සියලු වැඩ කටයුතුª නිමා කළා. ඉතාමත් අපූරු ගීතයක් රසිකයන්ට ලබා දෙන්නට හැකි වීම සතුටක්.

මේ ගීතය ඔබේ පෞද්ගලික අත්දැකීමක්ද?

නැහැ. එක දවසක් මගේ වාහනයට ගොඩ වූ මිත්‍රයෙක් හරි අපූරු කතාවක් කිව්වා. ඒක ඇත්තටම සුන්දරත්වය මිශ්‍ර වුණු ආදර කතාවක්. ඒ කතාව තේමා කොට ගනිමින් ගීතයක් නිර්මාණය කළ හැකි බව මගේ මිත්‍රයා කිව්වා. මේ ගීතය බිහි වුණේ එහෙමයි. මේ ගීතය කෙනෙකුගේ පෞද්ගලික අත්දැකීමක්.

ඔබගේ මීට පෙර ජනප්‍රිය වුණු ගීත පිළිබඳව මතකයට නැගුවොත්?

චම්පික පි‍්‍රයශාන්ත ගායනා කරන ‘මගේ හිතේ සොඳුරු තැන’ කියන ගීතයත් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ ගීතයේ සංගීතය නිර්මාණය කළේ රොමේෂ් සුගතපාල.

වර්තමානයේ බිහිවන බොහෝ ගීත ලියැවෙන්නේ රිගිං ටෝන් මූලික කරගෙනයි. ඔබගේ ඉලක්කයත් ඒකද?

නැහැ. සල්ලි හම්බ කරන්න සිංදු ලියන්න මට අවශ්‍යතාවයක් නැහැ. මේක ව්‍යාපාරයක් විදියට කිරීම මගේ අරමුණ නෙවෙයි. නමුත් ගීතයකින් මුදලක් ඉපයිය හැකි නම් මා එය ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. උදාහරණයක් විදියට මගේ පැහැසර ගීතය ගායනා කරන තිසර වෘත්තීය ගායකයෙක්. ඔවුන්ට ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. ඒ නිසා මේ ගීතය රිගින් ටෝන්වලට ඇතුළත් කරන්න අදහසක් තිබෙනවා.

ඔබ නවකයන්ට අතදෙන කෙනෙක් ලෙසයි මට හැඟී ගියේ. ඒක ඇත්තක්ද?

ඔව්. ගීතයක් කර ගන්න බැරිව බලාපොරොත්තු දල්වාගෙන සිටින දක්ෂයන්ට උදව් කරන්න මම කැමැතියි. මම ලියන ගීතයක්ම කරන්න ඕනෑ කියන පටු රාමුවේ නොවෙයි මා ඉන්නේ. ඒ නිසා අලුත් නිර්මාණයක් කරන්නට උනන්දු වන නවකයන්ට අත දෙන්න මා ඕනෑ වෙලාවක සූදානම්. හැබැයි මේක ව්‍යාපාරික අරමුණක් මූලික කරගෙන කරන දෙයක් නෙමෙයි කියලත් අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ.

ඉදිරිය ගැන කතා කරමින් අපි මේ කතාබහ අවසන් කරමු?

ඉදිරියේදී නව අර්ථාන්විත ගීත කිහිපයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. එසේම ගීත රචනා කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. [email protected] ලිපිනයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.