වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




පළමුව මඟුල් කපුකම දෙවනුව වැඩකාරකම

පළමුව මඟුල් කපුකම දෙවනුව වැඩකාරකම

එදා 1972 ජනවාරි මස 2 දාය. මම මගේ හිතවතෙක් සමඟ යතුරු පැදියකින් නුවර බලා යමින් සිටියෙමි. කිරිබත්ගොඩ නිවෙසක ලොකු සෙනඟක් දක්නට ලැබිණ. අපි හැරී බැලීමු.

එහි කේසර සිංහයෝ චිත්‍රපටය රූගත කරමින් තිබිණ. අප ඊට පෙර චිත්‍රපටයක් රූගත කිරීම් දැක නොතිබිණ. දැක නොසිටි, දැක සිටි නළු නිළියන් එහෙ මෙහෙ යනු දක්නට ලැබිණ.

එහි කලා අධ්‍යක්ෂ වූයේ අනුරාධපුරයේදී මගේ නාට්‍යවල කලා අධ්‍යක්ෂවරයෙකි.

චිත්‍රපට රූගත කරමින් සිටියදී කලා අධ්‍යක්ෂවරයා මා දැක එතැනට පැමිණියේය.

‘වේහැල්ලේ මහත්තයා පුංචි උදව්වක් කරන්න බැරිදැ’යි ඔහු මගෙන් ඇසීය.

‘මොකක්ද?’ මම ඇසීමි.

‘හරි වැඩේනේ. චිත්‍රපටයේ මඟුල් කපුවට හිටිය නළුවා ඇක්සිඩන්ට් වෙලා රෝහලේ. මඟුල් කපුවගේ චරිතය කරන්න බැරිද. ඇඳුම් බැඳුම් ලෑස්තියි’ හේ පැවසීය.

චිත්‍රපටයක රඟපෑමට මට ආශාවක් ද තිබිණ. මම කැමැති වීමි.

යාළුවාට සයිකලය භාර දී මම රඟපෑමට ගියෙමි. මඟුල් කපුවෙකුගේ ඇඳුම් ලැබිණි.

සිංහල සිනමාවේ සිහින කුමාරයා මට හාපුරා කියා මුණ ගැසුණේ එම චිත්‍රපටයේදීය.

මනමාලයා වූයේ විජය කුමාරතුංග මහතාය. ඔහු ගැන පුරාජේරුවක් ඔහුගේ මවට කීම මට පැවරුණි.

ඊළඟ දර්ශනය රූගත වූයේ මනමාලයාගේ ගෙදරය. එහි වූයේ ඔහුගේ මව සහ මාමා කෙනෙකි. අධ්‍යක්ෂවරයා උපදෙස් දුන්නා වූ ආකාරයට මම රඟපෑම් කළෙමි.

මේ අතරතුර විජය මහත්තයා මා සමග හිතවත් විය. මේ අතර විජේ මහත්තයා ඔහුගේ කමිස සාක්කුවේ වූ පොලිස් දෙපාර්තමේන්තුවේ ලිපියක් මට දුන්නේය.

විජේ මහත්තයා උප පොලිස් පරීක්ෂණයකින් සමත් වී වැඩ බාර ගැනීමට ඔහුට ආරාධනා කර තිබිණ.

‘යන්නෙ නැද්දැයි’ මම ඇසීමි.

‘උණු වෙන හිත් ඇති අයට ඔය රස්සාව අරහං’ යයි හේ පැවසීය.

එහෙත් විජේ මහතා සිය දහස් වතාවක් පොලිස් චරිත රඟපෑ අවස්ථා අප දැක ඇත.

මා යාමට සැරසෙන විට මගේ යාළු කලා අධ්‍යක්ෂවරයා පැමිණ මට ලියුම් කවරයක් දුන්නේය. එහි රුපියල් සීයක් තිබිණි.

‘මචං සේකර අපි අද ලොකු හෝටලේකින් ඩයට් එකක් දාමු’ යයි මගේ යාළුවාට කීමි.

අප දෙදෙනා යෑමට සැරසෙන විට කලා අධ්‍යක්ෂවරයා යළිත් දුවගෙන ආවේය.

වේහැල්ලේ මහත්තයා තවත් පුංචි ගැටලුවක්. මේකේ දෙමළ වැඩකාරයෙක් ඉන්නවා. අපටත් නොකියා මිනිහා රට ගිහිල්ලා. ඒකත් රඟපාලා යමු’ හේ පැවසීය.

ඒ ඇඳුම අමුතු විදියේ ඇඳුමකි. කොට කලිසමේ කකුලක් රතු පාටය. අනික් කකුල නිල්පාටය. නැමි පිහියක් ලැබිණි. කිරීමට සිදු වූයේ තණ කොළ කැපීමය. ගෙදර අයිතිකරුගේ පුතා පිස්සෙකි. හිටි අඩියේ පොල්ලක් ගෙන මා පසු පස එලවන්නට විය. මට තිබුණේ දුවගෙන ගොස් මිදුලේ වූ දිය මලක් ඇති පොකුණට පැනීමය. මම එසේ කළෙමි.

දියෙන් ගොඩට එනතුරු කැමරා ශිල්පී ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා බලා සිට ඇත. මට පොකුණෙන් ගොඩට ඒමට නොහැකි විය. සිහි කල්පනාව ද නැති විය. දිය මතුපිටට ලේ පාරක් එමින් තිබී ඇත. පොකුණේ දිය ඉවත් කළ පසු පොකුණේ කැඩී තිබුණ පයිප්පයක මා හිර වී තිබී ඇත.

මා වහාම ගම්පහ රෝහලට ගෙන ගොස් ඇත. තුවාලවලට දිනක් මට රෝහලේ සිටීමට සිදු විය.

රෝහලෙන් යෑමට සැරසුණ විට අධ්‍යක්ෂවරයා ලියුම් කවරයක් මා අත තැබීය. එහි රුපියල් පන්දහසක් සහ රඟපෑ දෙවන චරිතයට රුපියල් 1000 ක් එහි තිබිණ.

විජය කුමාරතුංග මහතා රෝහලට මා බැලීමට ආවා මට මතකය.