වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




අනිසි සබඳකම නිසා මට පුදුම සටනක් කරන්න සිදු වුණා

අනිසි සබඳකම නිසා මට පුදුම සටනක් කරන්න සිදු වුණා

බුද්ධදාස විතානආරච්චි

ඔහු අපේ කලා ක්ෂේත්‍රයට දායාද වූ ප්‍රතිභාපූර්ණ රූපණවේදියෙක්. පුංචි තිරයට විශිෂ්ට චරිතාංග නළුවෙකු වූ ඔහු රිදී තිරයේ ද තම ප්‍රතිභාව අපූරුවට ගෙනහැර දැක් වූ රංගධරයෙක්. බුද්ධදාස විතානආරච්චි.

රංගන ශිල්පියෙකුටම සීමා නොවූ ඔහු ක්ෂෙත්‍රයන් කිහිපයකම තම හැකියාවන් මනා ලෙස ප්‍රගුණ කරමින් විචාරකයෙක් ලෙස ද හරවත් දේ සමඟින් ඔබ හමුවට පැමිණියේය.

අද ඔහු වෙනුවෙන් පුදුම හත වෙන් වූයේ රංගන ක්ෂේත්‍රයේ ඔහු සිත සටහන් වූ සොඳුරු සිහිවටන තබන්නටය.

ඒ වෙනුවෙන් මේ අපූරු රංගනවේදියා තෝරා ගත්තේ ඔහුගේ ජීවිතයට වඩාත් සමීප වූ සිනමා නිර්මාණ හතකි.

අම්මා

සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ ‘අම්මා’ චිත්‍රපටය මගේ ජීවිතයට සිනමාවේ ප්‍රථම හමුව සිදු කළ චිත්‍රපටයයි.

සුපැහැදිලි මතකයක් නැතත් මා කුඩා කළ දුටු සිහිනයක් මෙන් එය මගේ හිතේ තැන්පත්ව තියෙනවා. ඒ මතකයට මා අසීමිතව ආදරය කරන්නේ අම්මා චිත්‍රපටය මගේ ජීවිතයේ ප්‍රථම වරට නැරැඹූ සිනමා නිර්මාණය නිසයි.

ඒ දවස්වල දැන් වගේ සුවපහසු ශාලාවක් තුළ චිත්‍රපට නරඹන්න අවස්ථා නම් තිබුණේ නැහැ. ඒ වුණත් සිනමාවට ආදරය කළ විශාල පිරිසක් ඒ වටා රොක් වෙලා හිටියා.

ප්‍රාදේශීය වශයෙන් සිනමා ශාලා නොමැති වීම නිසා කූඩාරම් තුළ තිරයක් මඟිනුයි චිත්‍රපට ප්‍රදර්ශනය කළේ. මට මතකයි පුංචි අත දරුවෙකුව සිටියදී එදා මගේ මාමා තමයි මාව වඩාගෙන ඒ චිත්‍රපටය බලන්න ගියේ.

ඔහු මා ඔසවාගෙන එදා අම්මා චිත්‍රපටය නැරැඹූ අයුරු සිහිනයක් වගේ මතකයි.

දුප්පතාගේ දුක

දුප්පතාගේ දුක මගේ ජීවිතයේ දෙවැනි චිත්‍රපට අත්දැකීම ලෙසින් සුවිශේෂ මතකයක්ව මගේ හිතේ තැම්පත්ව තියෙනවා. 1957 වසරේදී එය නරඹන විට මට වයස අවුරුදු දහයක් විතර ඇති.

දෙවැනි චිත්‍රපට නැරඹුම මගේ හිතේ සොඳුරු මතකයක්ව පවතින්නේ සිනමාව පිළිබඳ ඇති වූ ඇල්ම සමඟින් එය නැරඹූ නිසා වෙන්න ඇති.

මම ගමෙන් පිට වෙලා කෑගල්ලේ නේවාසිකව අධ්‍යාපනය ලැබූ කාලයේදීයි ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටය නැරඹුයේ. ගමේදී පහසුවට චිත්‍රපටයක් නරඹන්න නොලැබුණු මට මේ අවස්ථාව ගැන දැනුණේ පුදුමාකාර සතුටක්.

මිත්‍රදාස් අධ්‍යක්ෂණය කළ එහි ලැඩී රණසිංහ, හියුගෝ ප්‍රනාන්දු, මාක් සමරනායක, ඩොමී ජයවර්ධන, ස්ටැන්ලි පෙරේරා ආදීන් කළ රංගනයන් දෙස මා දෑස් දල්වා බලා සිටියේ පුදුමාකාර ආසාවකින්. අද මේ රංගන ගමනට ආශිර්වාදයක් වූයේත් ඒ සොඳරු අත්දැකීමයි.

වීර පුරන්අප්පු

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ වීර පුරන් අප්පු නම් වූ සිනමා නිර්මාණය මගේ ජීවිතයට සුවිශේෂ වෙන්නේ කැමරාවක් ඉදිරියේ මට මගේ ප්‍රථම රංගන අත්දැකීම ලබා දෙමින්.

රංගනයට පිවිසෙන්නට මේ සුවිශේෂ වරම මට ලැබෙන්නේ එදා මම ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ අධ්‍යාපනය හදාරමින් සිටි අවදියේදීය. එදා අපට කලා ලොවේ දැවැන්තයන්ගේ ඇසුර, දැනුම ලබන්නට එය අගනා අවස්ථාවක් වුණා.

සිනමාවේ දැවැන්තම චරිතය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා යටතේ එදා සිනමා රංගනයේ මුලකුරු කරන්න ලැබීම පිළිබඳ මගේ හිතේ තියෙන්නේ අප්‍රමාණ වූ සතුටක්.

රවීන්ද්‍ර රන්දෙණිය එදා වීරපුරන් අප්පු ලෙසින් රංගනයේ යෙදෙන විටදී මා නිදහස් සටනේ කැරැල්ලට සම්බන්ධ වූ කැරලිකරුවෙකු ලෙසින් සිනමා රංගනයට පිවිසුණා.

චන්න කින්නරී

අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ චන්න කින්නරී මට රිදී තිරයේ සුවිශේෂ රංගන කාර්යයක් ඇතුළත් චරිතයක් තිළිණ කරනවා. එය මගේ රංගන දිවියට සුවිශේෂ වෙන්නක් සේම සදා නොමැකෙන මතක සටහනක් ද වෙනවා.

කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙසින් කළ ඒ චරිතයෙන් මට ප්‍රමාණාත්මක රංගන අවස්ථාවක් උදා කළා.

එහිදී මත්පැන් පානය කරමින් දුම් බොමින් කාන්තාවක සමඟ අනිසි සබඳකමක් ද ඇති කර ගන්නා ඒ චරිතය සමඟ මට පුදුමාකාර සටනක යෙදෙන්න සිදු වුණා.

එහිදී ඇතැම් දර්ශන කිහිපවරක්ම රූගත කරන්නත් සිදු වුණේ ඒ නිසයි. කොහොම වුණත් එදා ඒ රංගනය මගේ ජීවිතයට වටිනා රංගන අවස්ථාවක් කළා.

එහිදී අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය සමඟින් අනෝමා ජනාදරී, ජය ශ්‍රී චන්ද්‍රජිත්, හේමසිරි ලියනගේ ආදී රංග ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයන් මා සිහිපත් කරනවා.

අග්නිදාහය

හේරත් මුදියන්සේ නිසා මට ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ අග්නිදාහය චිත්‍රපටය විශේෂ වෙනවා. ඒ වන විට මම රංගන දායකත්වය ලබා දුන් චරිත තුළින් විවිධත්වයක් දකින්න විඳින්න මට අවස්ථාව ලැබුණා.

රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද වූ මෙම විවිධාකාර චරිත අතරේ අග්නිදාහය චිත්‍රපටයේ හේරත් මුදියන්සේගේ චරිතය මගේ හිතට තදින්ම දැනුණු චරිතයක් බවට පත් වුණා.

17 වැනි ශත වර්ෂය පසුබිම් කරගත් කතා පුවතක් ගෙන ආ එහිදී හේරත් මුදියන්සේගේ බිරිඳ කිරි මැණිකා ලෙසින් යශෝධා විමලධර්ම විසින් කළ රංගනයත් සිහිපත් කළ යුතුයි.

හේරත් මුදියන්සේ බින්න විවාහයකට ඇතුළත්ව ගෙවන ජීවිතයේ ආදරය වගේම ඇනුම් බැනුම්වලින් ද අඩුවක් වුණේ නැහැ. ඒ නිසාම හේරත් මුදියන්සේගේ චරිතයත් මට රංගනයේ අත්දැකීම් රැසක් ගෙන දුන්නා.

ඒ නිසාම අග්නිදාහය සිනමා නිර්මාණය මා සිත් ගත් චිත්‍රපට අතරේ සුවිශේෂ මතකයක් වෙනවා.

ඇහැළේපොළ කුමාරිහාමි

ලාංකේය ඉතිහාසයේ අභීතවත් චරිතයකට පණ පොවන්න අවස්ථාව උදා වුණේ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයෙන්. එහිදී වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබීම ගැන සතුටුයි.

නිදහස් සටනේ වීර චරිතයක් වූ සුමංගල හිමියන්ගේ චරිතය අප හඳුනා ගන්නේ පාසල් අවදියේදීමයි. එවැනි වූ චරිතයකට පණ පෙවීමේදී ඇති වන හැඟීම ගාම්භීරයි.

කුඩා වියේ පටන් අපේ හිත් තුළට වීරත්වය ඇතුල් කළ මෙවැනි වීර චරිත සදාතනික මතකයන්. ඒ නිසාම මේ විර චරිත ගැන විශේෂයෙන් හැදෑරිය යුතු වෙන්නේ නැහැ. ඒ වගේම එවැනි චරිත ඉස්මතු කිරීම වගකීමක් වෙනවා.

මේ සෑම කරුණක්ම සමඟින් නිදහස් සටනට පණ දුන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිගේ චරිතය නිරූපණයට ලද අවස්ථාව නිසා මට ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය මා කැමතිම චිත්‍රපට අතරේ වඩාත්ම සමීප වූ චිත්‍රපටයක් බවට පත් වෙනවා.

මහරජ ගැමුණු

මහරජ ගැමුණු චිත්‍රපටයත් සිංහල දේශයම එක් සේසත් කළ දුටුගැමුණු රජුගේ කතා පුවත ගෙන එන ඓතිහාසික චිත්‍රපටයක්. ගැමුණු රජු අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙක්. එළාර රජු සමඟ ද්වන්ධ සටනට එළැඹෙන්නේ ද රටවැසියාගේ දැඩි ආරක්ෂාව වෙනුවෙන්.

එළාර රජුගේ මරණයෙන් පසු දැක් වූ ගෞරවයෙන්ම ඒ ගතිගුණ මනා ලෙස තේරුම් ගන්න පුළුවන්. මේ නිසා ජයන්ත චන්ද්‍රසිරි නම් අධ්‍යක්ෂවරයා මෙහි දුෂ්ඨ ගාමිණී හෙවත් දුටුගැමුණු වෙනුවට මහරජ ගැමුණු ලෙස නම් කිරීම පැසසුමට ලක් කළ යුතු වෙනවා.

මෙම සිනමා නිර්මාණයේ ගැමුණු කුමාරයාට මෙන්ම පිය රජ කාවන්තිස්ස රජුටත් අනුශාසකත්වය ලබා දුන් කුප්පිකලතිස්ස රහතන් වහන්සේගේ චරිතය නිරූපණය කිරීමත් මගේ රංගන දිවියේ සුවිශේෂීම අවස්ථාවක්. පෘතග්ජන මිනිසෙකු වූ මට රහතන් වහන්සේ නමක ලෙසින් වූ චරිතයකට ප්‍රතික්‍රියා, ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න වගේම එවැනි චරිතයක් නිරූපණය කිරීමත් දැඩි වගකීමෙන් කළ යුතු වුණා.

මගේ රංගන ජීවිතයට මෙවැනි වූ චරිතයක් ලැබීම ගැනත් එය සාර්ථකව ඉටු කරන්න ලැබීම ගැනත් විශාල තෘප්තියක් හිතේ තියෙනවා. රසික ඔබට ඉදිරියේදී මහරජ ගැමුණු සිනමා නිර්මාණය නරඹන්න ලැබේවි.

අපේ සිංහල සිනමාවේ මා වඩාත් ප්‍රිය කරන සිනමා නිර්මාණ රාශියක් තියෙනවා. ඒ වුණත් අද පුදුම හතට මම පැවැසූයේ ඒ අතුරින් මගේ ජීවිතයට සම්බන්ධ වූ නිර්මාණ හතක් පිළිබඳවයි. එම නිර්මාණවලට දායක වෙන්න ලැබීම වගේම ඒවා මගේ ජීවිතයට සම්බන්ධ වූ අයුරුත් මට සදාතනික මතකයන් බවට පත් වෙනවා.