වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




විශ්‍රාම සුවයේ රංගනයට ආ සඳසීලී ප්‍රනාන්දු

විශ්‍රාම සුවයේ රංගනයට ආ සඳසීලී ප්‍රනාන්දු

කලා ලොවේ බොහෝ දෙනෙකු රංගනයට යොමු වනුයේ පාසල් වේදිකාවෙනි. මෙලෙස පාසල් අවධියේ රංගනය මෙන්ම නර්තනය ද හදාරා අද වන විට ආධුනික රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය නමින් සඳසීලි ප්‍රනාන්දුය. දෙමාපිය කැමැත්ත මත පසු කලෙක වානිජ ක්ෂේත්‍රයට යොමු වී මහජන බැංකුවේ වසර 32 ක් සේවය කළ ඇය දැන් විශ්‍රාම සුවය විඳින්නියකි. රැකියාවෙන් සමුගත් පසු පළමුවරට ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ‘තඹපාට හැන්දෑව’ ටෙලි නාට්‍ය හරහා රංගන ශිල්පිනියක ලෙස කලාවට අවතීර්ණ වීමට සඳසීලී අවස්්ථාව උදා කර ගත්තාය. ඇගේ කලා ගමන පිළිබඳ අපි ඇගේ හඬින්ම අසා දැනගමු.

මම කලාවට ආදරය කරන්න පටන් ගත්තේ පුංචි කාලේ ඉඳලා. ඒ මගේ තාත්තා නිසා. තාත්තා කලාවට ලැදි කෙනෙක්. ඔහු වැඩ කලේ ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ. කාර්යාලයේ කලා සංගමයේ සියලු කලා කලා කටයුතු වුණේ තාත්තාගේ දෑතින්. ඉතින් මටත් හැකි වුණා තාත්තාගේ වැඩවලට දායක වෙන්න පුංචි කාලේ පටන්ම. මට මතකයි මට අවුරුදු හයේදී මම තාත්තාගේ වේදිකා නාට්‍යයක රඟපෑවා. ‘ශ්‍රී විකුම රාජසිංහ’ හා ‘වීදිය බණ්ඩාර’ තාත්තා අධ්‍යක්ෂණය කරපු වේදිකා නාට්‍ය. ඒ දෙකේම මම රඟපෑවා. මම ඉගෙන ගත්තේ කොළඹ බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ. පාසල් කාලයේදී මම නර්තනයට ගොඩක් දක්ෂයි. උඩරට නර්තනය මම හැදෑරුවා. පාසලේ වේදිකාව මට හොඳට හුරුයි. පාසලේදී ළමයින් විසින් රඟදක්වපු සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ ‘මනමේ’ කුමරියට හිටියේ මම. එවකට හිටිය අධ්‍යාපන අධ්‍යක්ෂතුමා අතින් මම හොඳම නිළියට හිමි සම්මානයත් ගත්තා මනමේ කුමරිය නිසා.

මම අද මිත්තණියක්. දරු මුනුපුරෝ සමඟ සතුටින් සිටීමට තමයි වැඩි කැමැත්ත. ස්වාමියාගේ වියෝවෙන් පසු දියණියන් දෙදෙනා සමඟ කාලය ගත කරන මම වයසට ගැළපෙන චරිත ඔස්සේ රංගන කුසලතා එළිදැක්වීමට තමයි වඩාත් කැමැති.

මම බැංකුවේ රාජකාරි කරපු දවස්වල ආසාව තිබුණත් විවේකයක් තිබුණේ නෑ. දැන් මට නිදහස තිබෙනවා රඟපාන්න. මම තඹපාට හැන්දෑවේ රඟපෑවේ වලව්වක සිටින සැර හාමිනේ කෙනෙක්ගේ චරිතයක්. ඊට පසුව දයාරත්න රටගෙදරගේ ‘සිත නිවන කතා’ හි රඟපෑවා. මම රඟපාපු ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. රැකියාව කරන කාලෙත් මම රසික සංගම්වල, කලා සංගම්වල කටයුතු කළා. දැනට ‘සිත් සවිය’ කලා සංගමයේ කටයුතු කරනවා. හොඳ අධ්‍යක්ෂවරයෙක් යටතේ මට ගැළපෙන චරිත රඟදක්වන්න මම වඩාත් කැමැතියි. වෘත්තීමය නිළියක් වෙන්න කියලා ඒ ඔස්සේ හඹාගෙනම යන්න මගේ කැමැත්තක් නෑ.

අංක 4/107, රජමහා විහාර පාර, නාවින්න, මහරගම යන ලිපිනයෙහි පදිංචි සඳසීලි ප්‍රනාන්දුගේ දුරකථන අංකය 011-283695.