වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඇදුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී

ඇදුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී

මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ අභාවය වෙනුවෙනි

මහාචාර්ය තිස්ස කාරියවසම් සියල්ල අත්හැර, සියලු දෙනාව අත්හැර යන්නට ගොසිනි. විශ්වවිද්‍යාලය, ශාස්ත්‍ර ගවේෂණ හා පර්යේෂණ, කලා මණ්ඩල, අනු මණ්ඩල, ජාතික අධ්‍යාපන ආයතනීය රාජකාරි, ජනමාධ්‍ය ආයතන කි‍්‍රයාකාරකම්, සාහිත්‍යය, කලාව, විචාරය, ග්‍රන්ථකරණය හා තවත් බොහෝ දේ එතුමන් විසින් අත්හැර ගොස් ඇති සියල්ල අතර වේ. අත්හැර ගොස් සිටින සියලු දෙනා කවරහුද? බිරිඳ, දුවණිය, සමීප ඥාතීන් , හිත මිත්‍රාදීන් පමණක්ද? දහස් සංඛ්‍යාත ශිෂ්‍ය පරම්පරාවක් ද එතුමන් විසින් අත්හැර යන්නට ගොසිනි. එහෙත් ඔහු විසින් අත්හැර ගොස් ඇති සියල්ල තුළ දැන් ඔහුගේ රූප සෝබාව, නාමය, වර්ණවත්ව, දීප්තිමත්ව පෙනේ. අත්හැර ගොස් සිටින සියලු දෙනාම ඔහු කිසිම දිනක අත්හැර දමන්නට නොහැකි අපූරු ළෙන්ගතුකමකින් එකට බැඳී සිටින’යුරු පෙනේ. ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ නික්ම යාම එලෙසය. ඔහු තනිව සමුගත්ත ද ඉතිරි කොට ඇත්තා වූ සම්පත් මෙන්ම හදාවඩා, තනා ඇති පරපුරු ද ශ්‍රේෂ්ඨ මිනිසුන් සමඟ ජීවත් වෙති. එවන් වාසනාව ලබන්නෝ දුලබය. මහැදුරු තිස්ස කාරියවසම් යනු එබඳු දුලබ ශ්‍රේෂ්ඨයන් අතර ද දුලබම සම්පතකි.

මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ නික්ම යාම ද නාටකීය ජවනිකාවක් බඳුය. දෙසැම්බර් 02 දා අඟහරුවාදා පෙරවරුවේ ශ්‍රී ලංකා කලා මණ්ඩල විධායක කමිටු රැස්වීම පැවැතියේ බොරැල්ල ගෝතමී පාරේ වූ නව කාර්යාලයේදීය. අනු මණ්ඩල සභාපතිවරුන් සමඟ කලා මණ්ඩලයේ රැස්වීම් කටයුතු ඇරැඹිණ. මා වම් පස අසුන හිස්ව තිබුණේ මහාචාර්ය තිස්ස කාරියවසම් වෙනුවෙනි. නවයයි තිහ පමණ වන මොහොතෙහි එහි අසුන් ගත් ඔහු රැස්වීම් වාරය අවසන් වන තෙක් සුපුරදු කතාබහ සමඟ රැස්වීමේ කටයුතුවලට ද සක්‍රීයව සහභාගී වෙමින් සිටියේය. ජනාධිපති අරමුදලේ අතිරේක ලේකම්වරියට ලිපියක් යැවිය යුතු නේදැයි ඔහු මගෙන් විමසයි. එවිට මා ඔහුට පැවසූයේ ‘සර් ජනාධිපතිතුමාට ස්තුති කරලා ලියුමක් ලියන්න, ඒකේ පිටපත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගටත්, අරමුදලේ චිත්‍රා අතුරුගිරිය නෝනටත් යවන්න ලෑස්ති කරන්න. ලියුම සූදානම් කරලා මට කියන්න.

 මම ඒවා අවශ්‍ය ඔෆිස්වලට යවන්නම්’ කියායි. ඒ කිසිදු ලිපියක් හෝ ලියා නිම කරන්නට එතුමන්ට හැකි වුයේ නැත. දෙසැම්බර් තුන්වන බදාදා රාත්‍රියේ හදිසියේ ඔහු ගිලන් වූ බව මා දැන ගත්තේ එතුමාගේ බිරිඳ සීතා හා දියණිය චාමලී බ්‍රහස්පතින්දා පෙරවරුවේ හතත් අටත් අතර දුන් දුරකථන ඇමතුමකිනි. දෙසැම්බර් දෙවනදා අප සමඟ පෙර ලෙස සිනාමුසු මුහුණින් කතාබහ කරමින් හුන් ඇදුරුතුමා තුන්වනදා රාත්‍රියේ දැඩි සත්කාර ඒකකයක සිටිනවාය යන්න අදහාගත නොහැකි පුවතක් විය. එපුවත කිසියම් ශෝකජනක පුවතක ඇරඹුමදෝයි යටි සිත කීව ද එය පිළිගන්නට මගේ උඩු සිත ඉඩ දුන්නේ නැත. එහෙත් සියල්ල නිමා වී රඟහල අඳුරු වූ පුවත මා වෙත පැමිණියේ පෙරවරු එකොළහේ හෝරාවටත් පෙරාතුවය.

අරුණ ගුණරත්න මිතුරාගේ ඉල්ලීම වූයේ ඊළඟ බ්‍රහස්පතින්දා සරසවිය සඳහා (දෙසැම්බර් 10) මහාචාර්ය කාරියවසම් පිළිබඳ කෙටි සටහනක් ලියා දෙන ලෙසයි. ‘අනේ අරුණ ඕක වෙන කාට හරි කියල ලියව ගන්න. මං දැන් සර් ගැන එහෙම සටහනක් ලියන්න තරම් හිතේ එකලසක් නෑ. ඊටත් අනිත් වැඩ කටයුතුවලට හිරවුණාම වෙලාවකුත් ලැබෙන්නේ නෑ’ අරුණ මගේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවේ. ‘නෑ ඕක බුද්ධි අයියම ලියන්න. ඔයා සර් එක්ක හුඟක් ළගින් හිටපු, ආශ්‍රය කරපු ගෝලයෙක් නිසයි මම මේ ඉල්ලන්නේ’ මහාචාර්ය තිස්ස කාරියවසම් ඇදුරුතුමා මට හමු වන්නේ හැටේ දශකය අග, විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම අවසන් කළ සමයෙහිය. ඔහු විසින් අරඹන ලද නිර්මාණ පංතියෙහි, ඉඳහිට මා ලියූ කවියක්, කෙටි කතාවක් පිළිබඳ රසවිඳීම් කළ බව සිහියට නැඟේ. එතුමන් ආචාර්ය උපාධිය සඳහා හැත්තෑ එකේදී පමණ එංගලන්තයට ගොස් සිටි අවධියේ එතුමන් හා මා අතර බැඳීම දැඩි වී යයි මට සිතේ. ඒ සමයේ එතුමන් හා මා අතර හුවමාරු වුණු ගුවන් ලියුම් පත් සියල්ල මා ළඟ අදත් සුරැකිව තිබේ.

හැත්තෑ එකේ අප්‍රේල් තරුණ පිබිදීම හා මෙරට දේශපාලන, කලා, සාහිත්‍ය, සංස්කෘතික කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ බොහෝ තොරතුරු එතුමන්ට සපයන්නට සිදු වූයේ මා හටය. ආචාර්ය උපාධිය හදාරා දිවයිනට පැමිණ යළි විද්‍යෝදයේ ඉගැන්වීම ඇරඹූ පසු අපගේ හිතවත්කම් තවත් සමීප මිත්‍රත්වයක් ලෙසින් ගොඩ නැඟුණු අයුරු මට සිහිපත් කළ හැකිය. ‘බුද්ධි මම නුගේගොඩින් පුංචි ඉඩම් කෑල්ලක් ගත්තා, පොඩි ගේ කෑල්ලක් හදාගන්න, නැද්ද කවුරු හරි දන්න කියන ආර්කිටෙක්ට් කෙනෙක්? ගෙවල් තැනීම පිළිබඳ කිසිදු අත්දැකීමක් මා හට නොවූවත් මා රාජකාරි කළ කාර්යාලයේ කළමනාකරුවකු ඒ දිනවල අලුතින් නිවසක් තනන බව මා දැන සිටි බැවින්, ඔහු ඔස්සේ එම ගෘහ නිර්මාණ ශිල්පියා තිස්ස සර්ට සම්බන්ධ කරදීමට මට හැකි විය. මහාචාර්ය කාරියවසම් හා ගෘහ නිර්මාණ ශිල්පියා අතර මනා සම්බන්ධයක් ගොඩ නැඟී ඔහුගේ නව නිවසෙහි සැලැස්මෙහි සිහිනය සැබෑ කරගත් අයුරු මට සිහිපත් කළ හැකිය.

තිස්ස කාරියවසම් මහැදුරුවරයෙකු වුව ද, නිහතමානී එමෙන්ම පොළොවෙහි දෙපා තබා ජීවත් වූ මිත්‍රශීලී ගුරුතුමෙක්ම වූ බව සිහි කළ හැකි අවස්ථා අපමණය. 1994 දී රැය පහන් වේ නමින් මා විසින් ලියන ලද කෙටිකතා සංග්‍රහයේ පිටපතක් තිස්ස සර්ට තුටුපඬුරු සේ පුදන ලද්දේ සැමදා මා විසින් කරනු ලබන පුරුද්දක් ලෙසය. මාසයකට හෝ දෙකකට පසු මගේ නිවසෙහි ලියුම් පෙට්ටියෙහි දිගු ලියුම් කවරයක් තිබෙනු දුටුවෙමු. විවෘත කොට බැලූ පසු වූයේ රැය පහන් වේ පිළිබඳ තිස්ස සර් විසින් ලියන ලද විචාරයකි. මම පුදුමයට පත්වී ඔහුට ඇමතුමක් ගත්තෙමි. ‘කොයි වෙලාවෙද සර් ලියුම අපේ ගෙදර ගෙනාවේ? ඇයි මට කතා කළේ නැත්තේ?’

‘නෑ බං මම ඕක ලියල දවස් තුන හතරක් වෙනවා. උදේ ඇවිදින්න යන ගමන් ලියුම් පෙට්ටියට දාලා යන්න හිතුවා, උඹ නිදි ඇති කියලා මම බෙල් එක ගැහුවෙ නෑ’. මගේ සිතෙහි දුකක් මෙන්ම සතුටක් ද විය. මේ නම් කුමන වර්ගයේ ගුරුතුමෙක්දැයි සිතා ගන්නට නොහැකි විය. ඔහු වෙත බැඳුණු ගුරු බැතිය, මිතුරු ගුණය ජීවිතයේ මා විසින් අත් විඳින ලද අසිරිමත් මිනිස් ගුණ සේ මට හැඟේ. ගුරු බැතිය මා සිත තුළ වුව ද ඔහුගේ ජීවිතයේ අවසන් දින කිහිපයේදී මා වෙත දැක් වූ දයාව පිළිබඳ එක් නිදසුනක් පමණක් දක්වමි. සැප්්තැම්බර් මාසයේ (2014. 09. 03) අප නිවසට තම දුවණිය සමඟ මා හට තිළිණ කළ ඔහුගේ අලුත් පොතක (ටවර් රඟහලේ සිට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප්‍රාසංගික මධ්‍යස්ථානය දක්වා වසර සියයක ශ්‍රී ලාංකේය නාට්‍ය කලා) මෙලෙස ලියා තිබේ. ‘ජීවදායකයාට පින්. තිස්සගෙන් බුද්ධිට’ මා ඔහුගේ ජීවදායකයා වීද?