වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




චීනයත් එහෙමයි කියුබාවත් එහෙමයි

චීනයත් එහෙමයි කියුබාවත් එහෙමයි

ෂැංයි මෝගේ වයස වැඩි නිසා ඔහුගේ ඉල්ලුම් පත බීජිං සිනමා පාසල මගින් ප්‍රතික්ෂේප කළ මුත් ඒ වන විට නිසල ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔහු විසින් ගන්නා ලද රූප පෙළක් එවකට චීන සංස්කෘතික ඇමැති වෙත අභියාචනයක් ලෙස යොමු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහු පාසලට තෝරා ගැනිණ.පසුව ඔහු එම පරම්පරාවේ මුල්ම සිනමා කරු වන චෙන් කයිගිගේ මුල් චිත්‍රපටය වන රෙඩ් සෝගම් චිත්‍රපටයේ කැමරා ශිල්පියා ලෙස දොරට වැඩියේය.ෂැං යිමෝ ගේ පළමු අධ්‍යක්ෂණය වනුයේ රේස් ද රෙඩ් ලැන්ටර්න්ය.ඔහු ගේ නවතම චිත්‍රපටය වන කමිං හෝම් චිත්‍රපටයට පාදක වනුයේ චීන සංස්කෘතික විප්ලවය සමය පසුබිම් කරමින් ලූ යන් ලි නම් චීන නවකතාකරුවා රචනා කරන ලද ක්‍රිමිනල් නම් නවකතාවයි.

සංස්කෘතික විප්ලවය නිසා සිපිරි ගෙට නියම කරන ලද මහාචාර්යවරයෙක් එයින් පැන එන්නේ තම බිරිය දකින්නටය.එය චීන තරුණ පරම්පරාව අතර විප්ලවය යනු මව්පියන් පවා අමතක කළ දැමිය යුත්තක්යැයි ඉගැන්වූ සමයයි.

බැලේ නර්තන ශිල්පිනියක් ලෙස ඉදිරියට යාමට සිතන දියනිය ඒ වන විට චීන විප්ලවීය නාට්‍යයක් වන රෙඩ් ඩෙචමන්ට් ඔෆ් වුමන් නර්තනයේ ප්‍රධාන චරිතය දිනා ගැනීමේ අදහසින් සිටිය ද කොමියුනිස්ට් පක්ෂය මගින් පියා ද්‍රෝහියකු ලෙස සළකන බැවින් ඇයට චරිතය අහිමි වෙයි.පියා සහ මව අතර රහසිගත හමුව ආරක්ෂක අංශ වලට පාවා දෙන දියනිය එමගින් බලාපොරොත්තු වනුයේ නාට්‍යයේ චරිතයයි.එහෙත් ඇගේ අපේක්ෂාව බිඳ වැටෙයි.සංස්කෘතික විප්ලවය නිමා වී ආපසු පියා ගෙදර එයි.ඒ වන විට මව අමතක වීමේ රෝගයෙන් පෙළෙයි.එහෙත් ඇය ගේ එකම අපේක්ෂාව සැමියා යළි ගෙදර පැමිණිමය.සැමියා පැමිණිය ද ඔහු සැබෑ තැනැත්තා ලෙස ඇය පිලි නොගනී.දියනිය කලකට ඉහත පියාගේ සියළු ඡායාරූප විනාශ කරන ලද්දේ පක්ෂයට ඇති ආදරයෙනි.මෙවර දියනිය මෙන්ම රජයේ නිළධාරින් ද මේ ඇගේ සැමියායැයි හදුන්වාදීමට උනන්දුව වුව ද ඉන් පළක් නොවෙයි.මව සිතන්නේ තමා අතවරයට පත් කළ පක්ෂයේ ප්‍රාදේශිය නායකයා ඔහු හැටියටය.දියනිය සහ පියා එක්ව ඉතා උපායන් රැසක් ක්‍රියාත්මක කළ ද අම්මා හැමදාම දුම්රිය පළට යන්නේ විප්ලවය නිමා වී සිර ගෙදර මිට සැමියා එතැයි බලාපොරොත්තුවෙනි .

ෂැං යිමෝ චීනයේ සිදුවූ ඊනියා සංස්කෘතික විප්ලවය මත්තෙහි ඇති වුණ මානව ඛේදවාචකයන් මෙලෙසෙ ගෙන හැර පාද්දි මෙවර විශේෂ අවධානය දිනූ රට වන චීනයේ අප නොදන්නා බොහෝ දෑ අනාවරණය කළාක් මෙන්ම එරට පිළිබඳ අපේ සිතුවිලි වෙනස් කරළන්නට ද සමත් විය.ජෙනුවින් ලව් නමින් සිල්සාටි යාකොව් සහ ක්ෂින් ෂෑන්ග් සම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය දරුවන් 17 දෙනකු හදා ගත් මවක් පිළිබඳ සත්‍ය සිදුවීමක් පාදක කර ගත් චිත්‍රපටයකි.

එය ගිය සියවසේ මැද භාගයේ පමණ මොංගෝලියාවට නුදුරු චීනයේ සිදුවන්නකි.එහෙත් බ්ලැක් කෝල් තින් අයිස් ,ෆැන්ටාසියා, මෙන්ම බීජිං බ්ලූස් ද සමකාලින චීන සමාජය විවිධාකාරයෙන් විමසා බලන ලද චිත්‍රපට විය.පසුගිය වකවානුවේ ලොව විශාලතම ධනවත් රාජ්‍යයන් අතර පෙරමුණට පිවිසීමට ගත් චීනයේ එම උත්සාහය සඑල වුව ද ඒ සමග එහි මුදල කේන්ද්‍ර කොට ගත් සමාජයක් බිහි වීම වලක්වා ගත නොහැකි විය.බ්ලැක් කෝල් තින් අයිස් (අධ්‍යක්ෂණය ඩියො යිනාන්) සහ බීජීං බ්ලූස් (අධ්‍යක්ෂණය ගෙයා කොන්ෂියා) චිත්‍රපට යුගලම සමාජ ඛේදවාචකය නිරාවරණය කරනුයේ ත්‍රාසය පිරි තේමාවන් සහිතවය.එහෙත් එය සුලබ කුංෆූ තේමාවන් ආකාරයෙන් නොවේ.එයට වඩා වෙනස් අන්දමේ චරිත හැසිරවීම් සහිත මෙම චිත්‍රපට සමකාලින චීනය පිළිබඳ විදාරණය කරයි.මේ අතරින් වැං චඕ අධ්‍යක්ෂණය කරන ලද ෆැන්ටාසියා සමකාලින චීන සමාජය විවිරණය කරනුයේ එයට වඩා වෙනස් මානයකිනි.ඔහු කේන්ද්‍ර කොට ගනුයේ පවුලක් අන්තර් ගත කොට ගෙනය. කලකට ඉහත බැලේ නර්තන ශිල්පිනියක් ව සිට දැන් පුවත්පත් වීදි අලෙවිකරණයේ නියැලන මවක් කම්හලක අංශ ප්‍රධානියකු වන පියෙකු සහ දියනියක සහ පාසල් යන පුතෙකු මේ පවුලේ සාමාජිකයන්ය.එම සුන්දර පවුලට අයහපත් කාලයක් උදා වනුයේ හදිසියේම පියා රෝගාතුර වීමත් සමගය.

ඔහුට ලියුකේමියාවෙන් පෙළෙන වග දැන ගත් පසු රෝහල් ගාස්තු ගෙවීම් සඳහා විශාල මුදලක් වැය වන්නට පටන් ගනී. පුත්‍රයා නන්නත්තාර ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා අතර දියනිය ජීවත්වීම සදහා ගණිකාවක් බවට පත් වෙයි.රෝහල් ගාස්තු සඳහා සැමියා ගේ සේවා ආයතනය මුලින් යම් සම්මාදමක් වුව ද නමුත් මසකට පසු ඔවුන් දන්වා සිටිනුයේ සමාගම බංකොලොත් වන බැවින් ඉක්මනින් රැකියා කප්පාදුවක් කළ යුතුව ඇති බවය.එබැවින් තව දුරටත් ඔවුන්ට සිය සේවක සහෝදරයා වෙනුවෙන් කැපවීමට නොහැකිය.මෙම සමාජ ව්‍යසනයන් චීනය වැනි රටවල්වලට පවා පොදු කාරණා බව බොහෝ දෙනා දැන ගන්නේ සිනමා කෘතින් හරහාය.මෙබඳුම තවත් චිත්‍රපටයක් වනුයේ කියුබාව නියෝජනය කරන ලද බිහවියර් චිත්‍රපටය සමගය.එහි අධ්‍යයක්ෂණය අර්නස්ටෝ දරනාස් ගෙනි.මේ චිත්‍රපටයේ රඟපෑ ඇලිනා කෘස් එහිවියපත් ගුරුවරියක ලෙස විශිෂ්ට රංගනයක යෙදුණාය.මෙවර හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය ඊශ්‍රාලය හා සමග සමව බෙදීමට විනිශ්චය මණ්ඩලය තීරණය කොට තිබිණ.පෞද්ගලිකව මගේ මතය නම් එම සම්මානය ඊශ්‍රායල චිත්‍රපටය වන ද කින්ඩර්ගාට්න් ටීචර් චිත්‍රපටය් රඟපෑ සරිත් ලැරී සමග සමව බෙදීම ජූරිය ගත් වැරදි තීරණයක් බවය.ඇලීනා ගේ රංගනය මෙවර තරගකාරි අංශයේ පැවැති මට නරඹන්නට ලැබුණු චිත්‍රපට අතර හොඳම රංගනය බව මගේ හැඟිමයි.එයට හේතුව කින්ඩර්ගාට්න් ටීචර් චිත්‍රපටයේ රංගනය අති සුලබ රංගනයක් වීමයි.ඇලීනා කෘස් රඟපානුයේ කාමෙලා නම් ගුරුවරියක ගේ චරිතයයි.චිත්‍රපටය විකාශය වනුයේ ගුරුවරියක විසින් සිය අත්දැකීම් විස්තර කරමින් ලියන ලිපියක සමගය.මේ ලිපිය ලියනුයේ කාමෙලා නම් ගුරුවරියයි.ඇයගේ පංතියේ සිටින දරුවන් සියල්ලන්ම ඇයට ඉතා ඇළුම් කරන්නීය.කාමෙලා ගේ දරුවන් ජීවත් වනුයේ අමෙරිකාවේ වුවත් ඇය සිය මව්රට හැරදා නොයයි.ඇය හදිසියේ රෝගාතුර වෙයි.වෛද්‍ය නිර්දේශය නම් ඇය විශ්‍රාම ගත යුතු බවය.

එහෙත් ගුරුවරියක වන ඇය ගේ සිත එයට ඉඩ නොදෙයි.ඇය ගේ පංතියේ ඉගැනුම ලබන දරුවන් වෙනුවෙන් යුතුකම ඉටු කිරිමට පාලකයන් ඉඩ නොදෙයි.ඇයගේ පංතියේ සිසුවකු වන චාලා ඉතාම දඩබ්බරයෙකි.රජයේ නිර්දේශය නම් මේ දරුවා පුනරුත්ථාපන පාසලකට යැවිය යුතු බවය.එහෙත් දක්ෂ ගුරුවරියක වන කාමෙලා එයට ඉඩ නොදෙයි.මේ අතර තවත් දැරියක විසින් පන්තියේ සවි කරන ලබන දේව ප්‍රතිමාව ද බලධාරින්ගෙන් උදහසට ලක් වෙයි.මෙහි අපූර්වත්වය නම් එම බලධාරින් ද ඇයගේ පැරණි සිසුන් වීමය.එහෙත් නිලධාරින් සහ නීතිය විසින් තවදුරටත් ඇයට යුතුකම් ඉටු කරන්නට ඉඩ ලබා නොදෙයි.එහෙත් චිත්‍රපටය නොකියා කියන්නේ මේ වර්තමාන දඟකාර චාලා ද අතීතයේ කාමලා සමීපෙය් දී වත්මන් බලධාරින්ගේ ම චරිතයනගේ පැතිකඩකි.ඉතාම හැඟිම් බර චිත්‍රපටයක් වන එය එක් අතකින් ළමයින් ඇපයට තබා ඉල්ලීම් ඉල්ලන කාලකණ්නි ගුරු වෘත්තිය සමිති කරුවන්ට පමණක් නොව ගුරුවරයෙක් සිසුවකුට පහර දුන්නේ යැයි ඔහු උසාවි ගෙන යන අවළං මාපියන්ටත් එමගින් බඩ වියත ගැට ගසාගන්නා වෘෂභ නීතිඥවරුන්ටත් පෙන්විය යුතු වර්ගයේ චිත්‍රපටයකි.එපමණක් නොව මේ චිත්‍රපට සියල්ලම කියුබාව හෝ චීනය වැනි දේශයන් සිතූ පැතූ සම්පත් ලබා දෙන පතිරූප දේශයන් යැයි විශ්වාස කරන බොහොමයක්ට යළි ඒ පිළිබඳ සිතා බලන්නට ඉඩ සපයා දෙයි.මේ විශිෂ්ට නිළිය පැවසුවේ එය කියුබාව වර්තමාන සමාජය නිරූපණය කළ චිත්‍රපටයක් වගය.විරැකියාව අඩු පහසු කම්,ඉච්ඡා බංගත්වය අඩු වැටුප් මුළු මහත් රට පුරාම වෙලා ගෙන ඇති වග ඇය චිත්‍රපටය තිර ගත වන්නට මත්තෙන් පවසා සිටියාය.පසුගිය වසරේ කියුබාව නියෝජනය කරන ලද උනා නිචෝ නම් චිත්‍රපටය ද තිරයට ගෙනා වේ කියුබාවේ තවත් පැති කඩකි.

චොතෝදර් චෝටෝ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් දුලාල් සර්කාර් රඟපෑවේ සර්කස් කණ්ඩායමක විකටයෙකු ගේ චරිතයයි.බොහෝ විට ඔහුට එම සම්මානය පිදෙන්නට ඇත්තේ ඔහුගේ ශාරිරික ස්වරූපය නිසා ඇති වන අනුකම්පාව නිසාවෙන් ද යන්න වෙනම විමසා බැලිය යුතුය.පසුගිය සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත් කෞශික් ගංගුලි නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය ඔහුගේ පසුගිය වසරේ නිර්මාණය කරන ලද ඕපු පංචාලි හා සැසඳද්දී ආයාසයෙන් නිර්මාණය කරන ලද්දක් වග නොකියාම නොහැක.

තවත් විශිෂ්ට චිත්‍රපට ගැන ලබන සතියේ