වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ක්ලීටස් ආ ගමන ගැන අපිට සතුටුයි

විජයගේ සමීප මිතුරා වූ ක්ලීටස් මෙන්ඩිස්ට,

එදා දොතුර ඔබ විජයගේ ගීත ගායනා කරමින් ඔහුට දැක් වු සෙනෙහස අපට කිසිදා අමතක නොවේ. යළි පිපුණු මලක් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔබ මෙතෙක් ආ ගමන ගැන ඔබට ළැදි රසිකයින් වශයෙන් අපි උදම් වෙමු. ඇහැළේපොළ කුමාරිහාමි, විජය කුවේණි ආදී චිත්‍රපටයන්හි ඔබේ රංගනය දුටු අපට හැඟී ගියේ ඔබ රජ කතාවලට වඩාත් සුදුසු බවයි.
 

දයානන්ද ද සිල්වා

හික්කඩුව

ප්‍රියන්ත නාට්‍යයට ආලෝකයක්

පොඩි මාමා සහ කපිල මරු
ආදර දෑසක් කපිල සහ පොඩි මාමා හි පොඩි මාමා ලෙස රංගනයේ නියැලෙන ප්‍රියන්ත සෙනෙවිරත්න තමයි ඒ නාට්‍යවලට ආලෝකය.
 

සරත් රණසිංහ

කපුගොඩ

මාළිඳ

සුසිලා කෝට්ටගේට,

ඔබ තමයි රූපවාහිනී නාට්‍යවල සිටින හොඳම විකට නිළිය. සමමාන උළෙලයන්හි හොඳම විකට නිළියට හිමි සම්මානය තිබුණොත් ලැබෙන්නේ ඔබටමයි.
 

සම්පත් රාජපක්ෂ

බණ්ඩාරවෙල

පෙම් චරිතයට වඩා මවගේ චරිතය හොඳයි

නිරෝෂා හේරත් එදා පෙම්වතියගේ චරිතය රඟමින් අද වන විට ඉන් මිදී මවගේ චරිත නිරූපණයේ යෙදීම කදිමය. ඇයට වඩාත් ගැළපෙන්නේ එම මව් චරිතයයි. කාලානුරූපව ඇය චරිතයන් පණ පෙවීමට ගත් තීරණය හොඳය.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

ගුවන් විදුලියට

මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය කණ්ඩායම් ගීතවලට පැය භාගයක් වෙන් කොට තිබිණ. එම වැඩසටහන දැන් ප්‍රචාරය වන්නේ නැත. අපි ඉල්ලා සිටින්නේ නැවත එම වැඩසටහන ගෙන එන ලෙසයි.
 

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

එතෙර ඉසුර රසාලිප්තයි

අඟහරුවාදා රාත්‍රී 10 සිට 12 දක්වා සිටි එෆ්. එම්. මැද පෙරදිග සේවය තුළින් ධම්මික පී. රත්නායක සමඟ කුසුම් පීරිස් ඉදිරිපත් කරන එතෙර ඉසුර රසික සිත් සනසන දැනුම වඩන රසාලිප්ත දෙහෝරාවකි.
 

කිත්සිරි ගුණසේන

කොලොන්නාවේ විජේසිරි

කන්දෙගෙදර

රත්නාවලී ලස්සන කරන්නකෝ

අතීතයේ ලංකාවේ තිබූ මහල් තුනකින් යුතු එකම සිනමා ශාලාව ජාඇල රත්නාවලියයි. එය එදා ලස්සන පිරිසිදු ස්ථානයක් වුවත් අද එය පුංචි සිර මැදිරියක් ලෙසට හැඟේ. විශාල විදුලි පංකා ආසන කිට්ටුවම තබා ඇති අතර එහි ශබ්දය නරඹන්නන්ට විශාල හිරිහැරයකි. අතීතයේ ලස්සන රත්නාවලි, එය පෙර තිබූ තත්ත්වය කිට්ටුවටවත් පාලකයින් ගෙන එනවා නම් නරඹන අපි සතුටු වෙමු.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

මෙලඩි බැංකුව
 

කීර්තිමත් වේවා

කවදත් ආධුනික දක්ෂතාවයන්ට අත හිත දෙන කීර්ති පැස්කුවල් විසින් පවත්වාගෙන යනු ලබන මෙලඩි බැංකුව ආධුනික ගීත නිර්මාණකරුවන්ට ඉදිරියට යාම සඳහා කරන මහඟු සේවාවකි. ඔහුගේ කීර්තිමත් නාමය තවත් කීර්තිමත් වේවා.
 

එච්. ආර්. දමයන්ති

මාරවිල

පැරැණි ගී කොල්ලයට විසඳුමක් නැද්ද?

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින අභාග්‍ය සම්පන්න ඉරණම වනුයේ පැරැණි ගී නිර්මාණ කොල්ලයයි. එදා ශිල්ප ශිල්පිණියන් ගායනා කළ රසාලිප්ත ගීත අද අමු අමුවේ විකෘති කොට ගායනා කරමින් එමඟින් ආදායම් උපයන්නේ බොහෝ වෙති.

එදා නන්දා මාලිනිය ගායනා කළ අම්මාවරුනේ ගීතය අද අමිහිරි හඬකින් තැටිගත කොට ප්‍රචාරය වීම අම්මාවරුන්ටත් නිගා දෙන සේය. නන්දා මාලිනියගේ අගය හොඳින් දන්නා ඇතැම් පෞද්ගලික ගුවන් විදුලි නාලිකා ඒවා ප්‍රචාරය කිරීම පිළිබඳ අප තුළ ඇත්තේ බලවත් කණගාටුවකි. ගීතයක පෞද්ගලික අයිතිය බුද්ධිමය දේපොල පනත තුළින් ගායකයාට පැවරිය යුතු බවයි මාගේ හැඟීම. එසේ නැතිනම් සිදු වනුයේ එය ගැයූ ගායන ශිල්පියාගේ හෝ ශිල්පිණියගේ නාමය සදහටම වැළලීයාමය.
 

රවීන්ද්‍ර ලාල් අතුකෝරල

පිටකෝට්ටේ

කල්පාන්තේ සිහිනයක් ආයෙත් බලන්න හිතෙනවා

චන්න පෙරේරාගේ සහ ඉන්දීය නිළි චයිත්‍රාගේ ලස්සන රංගනයෙන් යුතු කල්පාන්තේ සිහිනයක් තුළින් හොඳ අධ්‍යක්ෂවරයෙක්, හොඳ රංගන ශිල්පියකු මම දුටුවෙමි. ඇත්තෙන්ම එම කතා පුවත සිනමාවට නැවුම් අත්දැකීමක් කියලා කියන්න පුළුවනි. සනත්, අයිරාංගනී, නිහාල්, සඳුන් ඉතා දක්ෂ රංගනයක යෙදේ. කල්පාන්තේ සිහිනයක් නැවත නරඹන්නට හිතෙන චිත්‍රපටයකි.
 

රංජනී අමරසිංහ

මල්වාන

S.M.S.

මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, ග්‍රේෂන් ආනන්ද වගේ අය තමා එදා සිට සුපිරි තරු වගේ තවමත් බැබැළෙන්නේ. යුග ගාණක් පවතින ගී ගැයුණේ ඔවුන්ගේ හඬිනි. ඒ ජනප්‍රිය බව ඔවුන් මෙලොවින් සමුගෙන ගිය පසුවත් අඩු වුණේ නැත. එයයි ගායන ශිල්පියකුගේ නියම දක්ෂකම. අද ඉන්න සුපිරි තරු වසර පහක්වත් බැබළෙන්නේ නැහැ. හැකියාවෙන්වත් ඉදිරියට එන්න අවස්ථාව ලැබුණත් නව පරපුරේ බොහෝ අයට ස්ථිර පැවැත්මක් ඇති කර ගන්න බැරි ඇයි ද යන්න මහත් වූ ගැටලුවකි.
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

හේමාල් රණසිංහ යනු මිනිසුන්ගේ හදවතට කතා කළ හැකි අපූරු කටහඬක් සහ සොඳුරු නිවේදන හැකියාවක් ඇති තැනැත්තෙකි. රඟ පපා ඉන්නේ නැතුව වැඩිපුර නිවේදනයට හිත යොමු කරන්න.
 

නිමන්තිකා

ගම්පොළ

ලොව හොඳම නළුවා වූ ජගත් චමිලව මා උත්සවයකදී දුටුවෙමි. ඔහු හැඳ පැලඳ සිටියේ ඉතා චාම් අන්දමිනි. ජගත්ගේ සරලකම බෙහෙවින් අගයන මා ඔහුගෙන් ආදර්ශ ගන්නා මෙන් නව පරපුරෙන් ඉල්ලා සිටිමි.
 

කාන්ති

නිට්ටඹුව

ඉංග්‍රීසි නම් වෙනුවට අපේ රටේ පාරවල්වලට අපේ රටේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ නම් යොදන්න.
 

කවිෂ්ක

මාවනැල්ල

කළු වුණත් හරි සුන්දරයි. අයෝධ්‍යා, ඔයා මුතු නාට්‍යයේ සහ බ්‍රහ්මමූර්තියේ කරන රංගනය සුදු නිළියන්ට වඩා අගෙයි.
 

දයාරත්න

කිරිල්ලවල

සාලිය සත්‍යජිත් ආගිය අතක් නැහැ. ඉක්මනින් ඔහුව දකින්න ආසයි. අඩුම ගානේ නර්තන ප්‍රසංගයකින්වත් අප හමුවට එන්න.
 

ක්‍රිෂාන්ති

අලව්ව

නව පරපුරේ ගායකයින් මව් ගුණ ගීත ගයන්නේ හරිම අඩුවෙන්. ආදරේ ගැන කිය කිය ඉන්නවාට වඩා මවු ගුණ ගීතයක් දෙකක් ගැයුවොත් නරකද.
 

ලක්මාලි

වරකපොළ

උපේක්ෂා අක්කේ, ඔයා පබා කතාවේ රඟපෑවා තවමත් අපට මතකයි. ආයෙත් ඒ වගේ කතාවකින් දකින්නට ආසයි. ඔබේ රුව තවමත් ලස්සනයි.
 

දිලිනි

මාතර

චන්න පෙරේරා අධ්‍යක්ෂණය කිරීමට සූදානමින් සිටි චමත්කා චිත්‍රපටයට මොකද වුණේ? අප එය ඔහු නිර්මාණය කරන තුරු බලා සිටිමු.
 

පී. ඩී. හර්ෂ

මාකඳුර

පසුගියදා ආලකමන්දාවෙන් විකාශය වූ නූර්ති ශිල්පී ලයනල් ගුණතිලක සූරීන් පිළිබඳ වැඩසටහන ඉතා ගුණාත්මකය. මෙවැනි වැඩ සටහනක් නිර්මාණය කිරීම ගැන ජාතික රූපවාහිනියේ එහි අධ්‍යක්ෂිකා විනීතා කරුණාරත්නට තුති පුදමි.
 

හිරාණි ජයවර්ධන

දැරණියගල

ස්වාධීන රූපවාහිනියේ මේ ළඟදී විකාශය නිමා වූ මුතුකැට සිහිනය හි අලංකාරය කියා නිම කළ නොහැකිය.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

සුදර්ශන බණ්ඩාර තරම් පැවිදි චරිතයකට සමාන ස්වරූපය තියෙන නළුවකු මම දැකලා නැහැ. ඒ බව අභිනික්මන සිනමාපටයෙන් හරි අපූරුවට ඔහු පැහැදිලි කළා.
 

ඉඳුනිල්

පානකඩුව

ඉතාම දක්ෂ ගායිකාවක මෙන්ම රංගන ශිල්පිණියකු වන කුමාරි මුණසිංහ ගායිකාවක වශයෙන් නිහඬ ඇයි. එය ඔබගේ රසිකයින් වන අපට කරන අසාධාරණයකි.
 

නීටා මර්සලින්

වරාගොඩ

කැලණිය

සියල්ලන්ගේ අවධානය සඳහා

අද තිබෙන චැනල් දෙක තුනක් ඇරෙන්න අනිකුත් ඒවා පැරැණි නළු නිළියන්, සංගීතවේදීන් සහ ගායක ගායිකාවන් අමතක කර දමා තිබෙන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි.
 

සංඛ

අහංගම

ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 අංකයට කෙටි පණිවුඩ අයුරින් එවන්න. තැපැල් හෝ සටහන්පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
යන ලිපිනය විවෘතය.
මෙහි සටහන් වන අදහස් සරසවිය පුවත්පතෙහි නොව හුදෙක්ම අප පාඨකයන්ගේ අදහස් බව මෙහිදී සඳහන් කරමු.