වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




මහාචාර්ය සුනිල් ගී මාගල දිග හරී

මහාචාර්ය සුනිල් ගී මාගල දිග හරී

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ ගී පද මාලා ගැයෙන ‘ගී මාගල’ ගී ප්‍රසංගය මෙම 18 වැනිදා පස්වරු 7.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුමංගල ශාලා එළිමහන් පරිශ්‍රයේදී පැවැත් වෙයි.

සුනිල් ආරියරත්නයන්ගේ පන්හිඳෙන් ලියැවුණු ගී පමණක් ගයන මේ ගී මාගල සඳහා ප්‍රවීණ හා නව පරපුරේ ගායන ශිල්පීහු හා ශිල්පිනියෝ ගී ගයන්නට සූදානම්ව සිටිති. ඒ අය අතර ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, සෝමතිලක ජයමහ, රෝහණ වීරසිංහ, පි‍්‍රයා සූරියසේන, ඉන්ද්‍රාණි පෙරේරා, ඇනස්ලි මාලේවන, මල්කාන්ති නන්දසිරි, නිර්මලා රණතුංග, ලක්‍ෂමන් විජේසේකර, බන්දුල විජේවීර, දිපීකා පි‍්‍රයදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, නිරෝෂා විරාජීනී, සමිතා මුදුන්කොටුව, ජානක වික්‍රමසිංහ, නෙලූ අධිකාරී, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, දයාන් විතාරණ සිටිති.

මේ ‘ගී මාගල’ ප්‍රසංගයේ විශේෂත්වයක් ද වෙයි. ඒ මේ ගී ප්‍රසංගය සඳහා කථනයෙන් දායක වන්නේ ජපුර ආදි විද්‍යාර්ථීන් වන වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ, හරේන්ද්‍ර ජයලාල්, කමල් කාරියවසම් සහ නිලාර් එන්. කාසිම් යන සහෘදයන්ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ෂදය සංවිධානය කරන ගී මාගල ප්‍රසංගය රසික සහෘදයන් සඳහා විවෘත බව ඔවුහු පවසති.