වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




විෂුවල් එකේ සිටිය කෙල්ලම මම බිරිය කරගත්තා

විෂුවල් එකේ සිටිය කෙල්ලම මම බිරිය කරගත්තා

ගේට්ටුවෙන් එබිලා බැලුවේ චූටි දුවෙක්. පිපිීගෙන එන රෝස පොහොට්ටුවක් වගේ උන් ඈ දුටු මනතින්ම අපගේ සිතට ඇතිවුණේ සතුටක්. ඈ ළඟම උන්නු චූටි පුතත් ඒ එක්කම එබී බැලුවේ සිනා කටක් පුරවගෙන. අපි එනවා දැක්ක ගමන් දෙන්නත් එකක් සිනහ වී අත්පුඩි ගසමින් නිවෙස ඇතුළට දිව්වා. ඒත් සමඟම නිවෙසේ ඉදිරි දොරෙන් මතු වුණේ අපට දැකලා පුරුදු මුහුණක්.

‘අශිකා මතසිංහ’

හේඩි කියන නමෙන් බොහෝ රසිකයන් අතර ජනප්‍රිය වුණු අශිකා, මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකම දකින්නට ලැබෙන නිළියක්.

‘ඉතිං . . . ඉතිං’

ඈ සමඟ කතාබහ ඇරැඹීමේ අදහසෙන් මා විමසුවත් පිළිතුරු දුන්නේ අශිකාගේ සැමියා සුරේන්ද්‍ර මුණසිංහ.

‘මම රැකියාව කරන්නේ ගුවන් හමුදාවේ. ඒ ඉංජිනේරු අංශයේ නිලධාරි අණදෙන කාර්මික සේවා විදියට. ටික කාලයක ඉඳලා මම සේවය කරන්නේ අනුරාධපුර කඳවුරේ. ඒ නිසා අපි සිව් දෙනාම ඉන්නේ අනුරාධපුරයේ ක්වාටස්වල පදිංචි වෙලා. ඒත් වේ දවස්වල අපි ඉන්නේ කොළඹ අපේ ගෙදර. ඒ මම මේ දවස් කිහිපයේ කොළඹ වැඩ කරන නිසා. අශිකාටත් සමහර දවස්වල ෂූටින්. ඉතිං ඒ සියල්ල අවසාන වුණාට පස්සේ අපි නැවතත් අනුරාධපුරයට යනවා.’

මේ අතර අපි අසලට ආව අශිකාගේ පුතා සෙනුක් සෙමෙන් සෙමෙන් සැටියේ වාඩි වුණේ කිසිම කතාබහක් නැතිවම. කතාබහ අතරතුර ඔහු එක එක දස්කම් පෑවේ අපට පෙනෙන්නට වගේ.

‘ඔය විදියට සැටියේ ඔළුවෙන් ඉඳලා නිතරම වගේ පුතා අපට පෙන්වනවා’

එහෙම කියමින් අශිකාත් ආවේ අපේ කතාබහට හවුල් වෙන්න. මේ අතර චූටි දූ සනුකි එබිලා බලලා අම්මා ළඟට දුවගෙන ආවා. ඇවිල්ලා ඇගේ උකුළට පැන්නා. අම්මාගේ තුරුලේ උණුසුමට මැදිවුණු චූටිදෝණි සමඟත් මා කතා කළා.

‘ඔයාල දන්නවද පත්තරෙන් එනවා කියලා කිව්වට පස්සේ ඉස්සෙල්ලාම සුදානම් වුණේ අපේ සුදු දෝණි තමයි. එයා පින්තූර ගන්නවට බොහොම කැමැතියි.’

අශිකා කිව්වේ දුවගේ උවන සිඹින ගමන්.

‘අශිකාමද ගෙදර සියලු වැඩ කරන්නේ?’

‘ඔව්. එයා කොයි තරම් මහන්සි වුණත් ගෙදර හැම වැඩක්ම කරනවා. ඒ අතර උයනවා. පුතාවත්, දුවත් බලා ගන්නවා. ගෙදරට වැඩට උදව්වට කවුරු හරි ගන්න හැදුවත් එයා ඒකට කැමැති නැහැ’

‘බබාලා දෙන්නගේ වැඩ කරන්නේ මමම කියලා තමයි එයාලා උපදින්නටත් පෙර තීරණය කරලා තිබුණේ. ගෙදර වැඩ වුණත් මගේ අතෙන්ම මට කෙරෙන්න ඕනෑ. වෙන කෙනෙක් කරලා හරි යන්නේ නැහැ. ඒ නිසා ගෙදර සියලු කටයුතු කෙරන්නේ මගේ අතින්ම තමයි. සමහර වෙලාවට මහත්තයත් බබාලා දෙන්න බලා ගන්න අවස්ථා තිබෙනවා’

අශිකාට හොඳට උයන්න පුළුවන්ද?’

ඒ ප්‍රශ්නය සුරේන්ද්‍ර මුණසිංහට.

‘විවාහ වුණු කාලයේ උයනවාට වඩා දැන් නම් ගොඩක් හොඳට ඇයට උයන්න පුළුවන්. එයා දවසෙන් දවස දියුණු වෙනවා.’

සුරේන්ද්‍රගේ ඒ කතාවට නම් අපටත් හිනා.

‘කොයි තරම් මහන්සි තිබුණත් ගෙදර වැඩ වගේම උයන පිහන වැඩත් මම කරනවා. සුරේන්ද්‍ර නිතරම නම් කැමැති ෆුඩ් ජූස් හදන්න. උදේට අනිවාර්යයෙන්ම එයා ෆුඩ් ජූස් බොන්න කැමැතියි. සමහර වෙලාවට දවසට දෙපාරක් වුණත් සුරේන්ද්‍ර ෆුඩ් ජූස් හදනවා. ඒකට මමත් කැමැතියි. අපේ ගෙදර නිතරම වගේ කන්නේ බත් තමයි.’

අශිකා අනුරාධපුරයේ ඉන්නේ බොහොම සතුටෙන්. කොළඹටත් වඩා අනුරාධපුරය හොඳයි කියලා තමයි ඈ කිව්වේ.

‘එහෙම වෙන්න හේතුව මොකක්ද?’

‘ඇත්තටම අනුරාධපුරයේ ඔක්කොම පහසුකම් තියෙනවා. ඒ නිසා මම ඉන්නේ කොළඹ නෙවෙයි කියලා වෙනසක් දැනෙන්නේ නැහැ. හැම තිස්සේම වගේ ශ්‍රී මහා බෝධියටත්, රුවන්වැලි මහා සෑයටත් මම මහත්තයත්, දරුවන් දෙන්නත් එක් කරගෙන යනවා. වඳිනවා. ඒක සිතට බොහොම සැනසීමක්’

අශිකා කියන්නේ ඒ සැදැහැවත් බව සිතේ පුරවගෙන.

‘මේ කටයුතු අතර කොහොමද අශිකා රූගත කිරීම්වලට සහභාගි වෙන්නේ?’

‘මගේ ටෙලි නාට්‍ය රංගන කටයුතු සඳහා සුරේන්ද්‍රගෙන් ලැබෙන උදව්ව නම් කියලා නිම කරන්න බැහැ. මොකද එයා රැකියාව කළත් මට හරියට උදව් කරනවා. මමත් එයාගේ කටයුතුවලට උදව් කරනවා. කොළඹ ආවට පස්සේ දරුවන් දෙන්නා බලාගන්නේ අම්මා. ඒ වගේම අපට ගොඩක් උදව් කරන චිත්‍රාණි අක්කවත් මතක් කරන්න ඕනෑ.’

අශිකාට උදව් කරන හැමෝම ඈ මතකයට නැඟුවා. ඒ වගේම අශිකා - සුරෙන්ද්‍ර විවාහය පිටුපස්සේ තිබෙන්නෙත් අපූරු කතාවක්. ඒ අතීතය අපට ගෙනහැර පාන්න සුරේන්ද්‍ර සූදානම් වුණේ මඳ සිනහවක් මුවඟට නඟමින්.

‘ඇත්තටම මම තනිකඩව ඉන්න කාලයේ හැමෝම මගෙන් ඇහුවේ බඳින්නේ නැද්ද කියන ප්‍රශ්නයයි. ඒ හැමෝටම මම කිව්වේ ඉන්පාස් ගයන ‘මන්දිර සඳළුතල’ ගීතයේ විෂුවල් එකට ඉන්න ගැහැනු ළමයා වගේ කෙනෙක් ලැබුණෙත් බඳිනවා කියලා. හැමෝම මට ඒ කතාවට හිනා වුණේ හා . . හා. . ලැබෙයි බලාගෙන ඉඳපං කියලා. දවසක් නිරංජලාගේ (නිළියගේ) මඟුල් ගෙදරදි ඒ ළමයා දෙවැනි මනමාලියට හිටියා. එදා මම එයාගෙන් ඇහුවා මට කැමැති ද කියලා. එදා නම් එයා මට මුලින්ම කැමැති වුණේ නැහැ. ඒත් මෙන්න මාස දහයකට පස්සේ මට එයාගේ යාළුවකුගෙන් කෝල් එකක් එනවා එයාට කතා කරන්න කියලා. ඉතිං මම කතා කළා. කොහොම හරි ඒ විෂුවල් එකේ හිටිය ඈ මට කැමැති වුණා. වැඩි දවසක් නොගිහින් දෙමව්පියන්ගේ ආශිර්වාදය මැද අපි විවාහ වුණා.’

එදා සුරේන්ද්‍රගේ හිතේ තිබුණු හීනය හැබෑ වුණේ ඒ ආකාරයෙන්. ඔහු ඒ විෂුවල් එකේ සිටිය කෙල්ලම තමන්ගේ බිරිය කර ගත්තා. ඒක අපූරු තේරීමක්. දෛවෝපගත සිදුවීමක්. මේ අපූරු කැදල්ලෙන් සමුගන්නට පෙර අපගේ සිතට නැඟුණේ ඒ වගේ සිතුවිල්ලක්.