වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




එදා ජෝකර් - මෙදා බ්‍රෝකර් අන්තිමට මම පොලිසියත් විකුණුවා

එදා ජෝකර් - මෙදා බ්‍රෝකර් අන්තිමට මම පොලිසියත් විකුණුවා

මහේෂ් ජයසිංහ

වසර ගණනකට පෙර මහේෂ් ජයසිංහ රිය අනතුරකට ගොදුරු කළ තැනැත්තා ගැන විස්තර අවශ්‍යව ඇත. ඒ ඔහුට සම්මානයක් දීමටය.

මහේෂ් ජයසිංහ කතාව පටන් ගන්නේ පුවක් ගහෙන්. ඊට පස්සේ දෙල් ගහට නැගලා. කොස් පැහිලද බලලා, තල් ගෙඩි ගැන දන්න දේ කියලා අඹ ගහෙනුයි කතාව ඉවර කරන්නේ. හැබැයි මහේෂ් කියන දේවල් නම් හරිම රසවත්. කලක් සිංහල සිනමාවේ හාස්‍යෝත්පාදක චරිත රංගනයට නැතිවම බැරි නළුවකු වූ ඔහු ගාව අපූරු කතන්දර බැංකුවක්ම තියෙනවා. මම මේ මහේෂ්, මහේෂ් කියලා ඔහුව හඳුන්වා දුන්නට බොහෝ දෙනෙකු මහේෂ්ව දන්නේ කඩියා නම් වූ ඔහුගේ අන්වර්ථ නාමයෙන්. ඔහු හදිසි අනතුරකට මුහුණ පෑවා කියන එක කවුරුත් දන්නවනේ. ඊට පස්සේ මහේෂ් රංගනයෙන් ඈත් වෙලා පුංචියට ඉඩම් ව්‍යාපාරයක් පටන් ගත්තා. අද වන විට එය ඔහු මහා පරිමාණයට කරගෙන යනවා. වෙන්නප්පුව පදිංචි මහේෂ් එම ප්‍රදේශයේ සෑහෙන්න ඉඩම් ප්‍රමාණයක් විකුණුවලු. කෙටියෙන්ම කිව්වොත් වෙන්නප්පුව පොලීසිය තිබූ ඉඩම් කෑල්ලක් (එම ඉඩම පෞද්ගලික ඉඩමක්) මහේෂ් අලෙවි කරලා. කොහොම වෙතත් වෙන්නප්පුවේ පල්ලිය වත්තයි, මිනී කනත්තයි පන්සල්වලට අයත් භූමි ප්‍රදේශ කිහිපයකුයි විතරයි මහේෂ් විකුණලා නැත්තේ. එතන හොඳ ප්‍රවේශයක් වුණා මහේෂ්ට මේ සංවාදය අරඹන්න.

ඇත්තම කිව්වොත් මගේ ව්‍යාපාර කටයුතු අති සාර්ථකව සිදු වෙනවා. කොතරම් සාර්ථක ද කියනවා නම් ඔබ පැවසූ පරිදි වෙන්නප්පුවේ ඉඩම් සෑහෙන්න ප්‍රමාණයක් විකුණුවා මං. මේ වෙලාවේ මට විශේෂ දෙයක් කියන්නම්.

කියන්නකෝ?

මං මේ දවස්වල සම්මානයක් දෙන්න කෙනෙක්ව හොයනවා.

ඒ කාටද?

මාව හප්ප ගෙන ගිය කෙනාට.

හප්ප ගෙන ගිය කෙනාට?

ඔව්. ඒ මනුස්සයා මාව හප්පගෙන ගිය නිසානෙ මට එක්තැන් වෙන්න සිද්ධ වුණේ. ඒ හින්දා මගේ කලා කටයුතු නැවතුණා. නමුත් ක්‍රම ක්‍රමයෙන් මං නැගිට්ටා. එතකොට තමයි ඉඩම් බිස්නස් එකට සුලුවෙන් අත ගැහැව්වේ. අද වන විට මං එය මහා පරිමාණයෙන් කරනවා. සල්ලිත් යහමින් තියෙනවා. මේ සියලු දේ වුණේ ඒ මනුස්සයා මාව එයාගේ වාහනයට මාව වැද්දුව නිසානේ.

මහේෂ් දැන් රඟපාන්නෙම නැති තරම් නේද?

වර්තමානයේ තිබෙන නාට්‍ය කලාවට මං එච්චර ආස නැහැ. මොකද අපි වගේ අයව සමහර අය ලොකේෂන්වලට ගියහම ගණන් ගන්නෙත් නැති තරම්. එහෙම අපි පීචං වෙන්න ඕනෑ නැහැනෙ. දෙන්නෙත් සුළු මුදලකක්. මුදල ප්‍රශ්නයක් නැහැ කියමුකො. නමුත් පිළිගැනීම තමයි ප්‍රශ්නේ.

එතකොට දැන් ඔබ කලාවේ ඇත්තෙම නැද්ද?

ප්‍රසංග වේදිකාවන්වල ගීත ගයනවා. ඒ වගෙ දේවල්වලට සහභාගි වෙනවා. එච්චරයි.

මහේෂ් අපි දැන් කලාව ගැන කතා කළා ඇති. මට කියන්නකෝ ඉඩම් විකුණලා අලකලංචි එහෙම සිද්ධ වෙලා නැද්ද කියලා?

අපොයි මොකෝ නැත්තේ. හැබැයි මේක ටිකක් කනගාටුදායක සිද්ධියක්. මම ඉඩමක් විකුණලා දුන්නා මේ පැත්තේ වයසක මනුස්සයකුගේ. ඔහුට මුදල් ලැබුණම ඔහු අතින්ම ගනින්න පටන් ගත්තා. ටිකක් වෙලා ගියාම ගැන ගැන හිටපු මිනිහා දඩස් ගාල වැටුණනෙ. අපි ටක් ගාලා එයාව ස්පිරිතාලේ ගෙනිච්චා. කියන්න දුකයි මිනිහා මැරිලා. දන්නවද මරණ සහතිකේ මරණයට හේතුව දාලා තියෙන්නේ මොකක්ද කියලා. ‘කෙල සිඳීම’ අන්න එහෙමයි තිබුණේ. හත්ඉලව්වයි. මං දැන් කල්පනා කරනවා කෙල සිඳීම කියන්නේ මොකක්ද කියලා. පසුවයි දැනගත්තේ ඒ මනුස්සයා කටේ කෙල ඇඟිල්ලේ ගගා තමයි සල්ලි ගැනලා තියෙන්නේ. ලක්ෂ ගාණක මුදල් ගනිද්දී කෙල ඉතුරු වෙවියැ. කටේ කෙල හිඳිලා. අන්න ඒකට තමයි කෙල සිඳීම කියන්නේ.

ඔන්න තව මරු වැඩක් වුණා. මං පොල් ඉඩමක් විකුණුවා. දවස් දෙක තුනකින් ගත්තු මිනිහා මට කෝල් කරලා කියනවා වත්තේ පොල් ඔක්කොම පුහු ඒවාලු. මටත් පුදුමයි. මං කලින් ඒ වත්තට ගිහිල්ලා තියෙනවා. හොඳට පොල් ඵලදාව තියෙන වත්තක්. මං ඉතිං ගියා බලන්න මේ මිනිහා කියන එක ඇත්තද කියලා බලන්න. පොල් ගෙඩියක් අතට අරගෙන හෙලෙව්වා. බොලේ වතුර තියෙනවා. තුන හතරක් හොල්ලලා බැලුවා. ඒවත් හොඳයි. බැලින්නම් අර ඉඩම ගත්තු මනුස්සයාගේ දකුණු කන ඇහෙන්නේ නැහැ. ඒ මනුස්සයා ඒ පැත්තෙ කනට තියලා තමයි පොල් හොඳද කියලා බලලා තියෙන්නේ.

ඉඩම් විකුණද්දී මං හරි සීරියස් කතා කරනවා. නමුත් මගේ චිත්‍රපට බලපු ඇතැම් අය මාව තවමත් මනින්නේ ඒ විකට චරිතවලින්. වෙලාවකට ඒ අය මං කතා කරන ඒවා අහලා හිනා වෙනවා. මං හිනහ වෙන්න දෙයක් කියලත් නැහැ. ඒත් හිනාවෙනවා.

එදා සිනමාවේ ජෝකර් හින්දා වෙන්න ඇති?

ඒක තමයි. එදා ජෝකර් වුණාට අද මං බ්‍රෝකර්නේ. බ්‍රෝකර්ලට විහිළු බැහැ. ජෝකර් තමයි විහිළු කරන්නේ. බ්‍රෝකර් විහිළු කළොත් ඉඩම් බිස්නස් එක ඉවර වේවි.

මහේෂ් අන්තිමෙට රඟපෑවේ මොකේද?

අනතුර වුණාට පස්සේ චිත්‍රපට කිහිපයක් කළා. අන්තිමේට රඟපෑවෙ වැඩ බැරි ටාසන් අංක දෙක.

ජෝකර් ද බ්‍රෝකර් ද වඩාත් හොඳ?

කතා දෙකක් නැහැ, බ්‍රෝකර් හොඳයි. මම 1973 දී සිනමාවට ඇවිත් 2001 දක්වා චිත්‍රපට 170 කට අධික ප්‍රමාණයක රඟපෑවා. දොන් සිරිසේන, එඩී ජයමාන්න, බී. එස්. පෙරේරා, විමල් කුමාර ද කොස්තා, නවනන්දන විජේසිංහ, ජෝ අබේවික්‍රම, ජෝශප් සෙනෙවිරත්න, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ ආදී හාස්‍යෝත්පාදක නළුවන් සමග රඟපාන්න අවස්ථාව ලැබුණා. නමුත් කොච්චර චිත්‍රපටවල රඟපෑවත් මට අඩුම ගානෙ බයිසිකලයක්වත් ගන්න ලැබුණේ නැහැ. නමුත් ඉඩම් බිස්නස්වලට යොමු වුණායින් අනතුරුව මට සල්ලි ලැබුණේ. ඒවායින් ලස්සන නිවසක් හැදුවා. වාහනයක් ගත්තා. අද මගේ බිරියයි ළමයි තුන් දෙනා සමඟ සැපවත් ජීවිතයක් ගත කරන්නේ මගේ ව්‍යාපාර කටයුතු නිසා. එහෙම බලන කොට ජෝකර්ට වඩා බ්‍රෝකර් හොඳයි නේද.

ව්‍යාපාර කටයුතු අවදානම් නැතිද?

මේක විතරක් නෙවෙයි, කොයි දේත් අවදානම්. සිනමාව වුණත් එහෙමයි. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග.

කලාව එපාම වෙලා වගෙයි?

නැහැ, එහෙම එපා වෙලා නැහැ. නමුත් ලබන ආත්මේ මම ප්‍රාර්ථනා කරන්නේ කලාකරුවෙක් වෙන්න නෙවෙයි, හොඳ ඉඩම් ව්‍යාපාරිකයෙකු වෙන්නයි.

මහේෂ්ගේ පවුලේ විස්තරත් කියමු?

මගේ ජීවිතයේ සුන්දරම කාලය තමයි මේ ගෙවෙන්නේ. මං ළමයි තුන් දෙනාට හොඳට ඉගැන්නුවා. ලොක්කා ඉරාන් ජයසිංහ, එයා සංගීත අධ්‍යක්ෂණයට සහ ගායනයට යොමු වෙලා ඉන්නවා. මද්දුමයා ඉෂානි ජයසිංහ. එයත් ගායිකාවක් වශයෙන් ගීත කිහිපයක් ගැයුවා. ඉෂානි පෞද්ගලික බැංකුවක සේවය කරනවා. බාලයා ඉරෝමා ජයසිංහ. එයා නිරූපන ක්ෂෙත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතර රූපලාවන්‍ය කටයුතු කරගෙන යනවා. බිරිය ගෘහණියක්.

මහේෂ්ට අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මං මේ කියන්නේ කාත් එක්කවත් තියෙන පෞද්ගලික තරහකට නොවෙයි. සමහර නාලිකාවල සංගීත වැඩටහන්වලට එන නළු නිළියන් හරියට පවුලේ සාමාජිකයින් වගේ. එකම පිරිසක් තමයි එන්නේ. ඒවට එන අය විහිළු කතා කියනවා. අඩුම ගානේ ඒ වැඩසටහන්වල අධ්‍යක්ෂවරුන්ටවත් හිනා යනවද දන්නේ නැහැ. අපරාදේ ඒ ගුවන් කාලය.