වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




රිඩ්ලි ස්කොට්ගේ අලුත් චිත්‍රපටය ‘එක්සෝඩස්’

රිඩ්ලි ස්කොට්ගේ අලුත් චිත්‍රපටය ‘එක්සෝඩස්’

මෝසස්ගේ වෑයම ඊජිප්තුවේ සිටින වහලුන් පිරිසක් වහල් ජීවිතයෙන් මුදවා දෙවියන් වහන්සේගේ පොරොන්දු දේශයට රැගෙන යාමයි. මේ අනුව මෝසස්හට වහලුන් ලක්ෂ හයක පිරිසක් පොරොන්දු දේශයට රැගෙන යා යුතුව තිබේ. ඊජිප්තුවේ පාරාවෝ රාජධානියේ සිට ඔහුට මේ වහලුන් නිරුපද්‍රිතව ගමනාන්තය දක්වා කැඳවා ගෙන යා හැකි වේද ?

මෙම ඓතිහාසික කතා පුවත ගෙන එන්නේ බයිබලයේ නික්ම යාමයි. ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස් සමාගම විසින් මෙය රූ ගන්වා තිබේ. වීර කතාවක් ලෙසින් එය රීදි තිරයට රැගෙන එන්නේ Exodus : Gods and Kings චිත්‍රපටය යි.

ඩොලර් මිලියන 140ක පිරිවැයකින් නිර්මාණය වූ Exodus : Gods and Kings රයිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණයකි. එහි ක්‍රිස්ටියන් බේල්, මෝසස් ලෙසත්, ජොඑල් එඩ්ලර්ටන්, දෙවැනි රැමසෙස් ලෙසත්, ජෝන් ටර්ටුරෝ, පළමු සෙටී ලෙසත්, බෙන් කිංග්ස්ලි, නූන් ලෙසත් මෙහි රංගන දායකත්වය ලබා දෙති. වහලුන් ලක්ෂ හයක් සමගින් මෝසස් ගමන් ගන්නා ත්‍රාසජනක ගමන ගෙන එන Exodus : Gods and Kings හෙට (12) සිට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවල් රැසක තිරගතවීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටය කෙරෙහි යහපත් විචාරක ප්‍රතිචාර නම් මේ දක්වා ලැබී නොමැත. චිත්‍රපටයේ මැද කොටස තරමක් යහපත් වුවත් අරම්භය සහ අවසානය එතරම් සතුටු දායක නොමැති බවත් බයිබලයේ සඳහන් වූ කතා පුවතට වඩා දරුණු ලෙසින් නිර්මාණය වී ඇති බවත් ඔවුහු සඳහන් කරති. එසේම එකළ ඊජිප්තු ජනතාව තරමක දුඹුරු පැහැති සමකින් යුතු වූ බවත් මෙම සිනමා නිර්මාණයේ කොටසක් පමණක් හැර අනෙක් සියලුම දෙනා සුදු පැහැති සමකින් යුතු වූ රංගන ශිල්පීන් යොදා ගැනීම අඩුපාඩුවක් ලෙසින්ද පෙන්වා දෙති. වීර කතා පුවතක් ලෙසින් නිර්භීතභාවය මනාව පෙන්නුම් කිරීම සහ එහි දර්ශන සහ ශබ්ද විශාල තිරයට ගැළපෙන පරිදි යොදා තිබීම විචාරක පැසසුමට ලක් වී ඇත. එහෙත් පැරණි කතා පුවත එළෙසින්ම නිර්මාණය කිරීමක් මිස වර්තමානයේ මිනිසුන්ට ගැළපෙන පරිදි එය නිර්මාණය නොකර ඇති බව විචාරක මතය යි.

මෙම පුවත මෙයට දශක ගණනාවකට පෙර සිසිල් බී. ඩිමෙල් නම් විශිෂ්ට සිනමාකරුවා ‘ටෙන් කමාන්ඩ්මන්ට්ස්’ චිත්‍රපටය සඳහාද පාදක කොට ගත්තේය.