වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඩේව්යන් ජොන්සන් අර්ධ දෙවියෙකු වෙයි

ඩේව්යන් ජොන්සන් අර්ධ දෙවියෙකු වෙයි

රිදී තිරයේ දිගහැරෙන්න නියමිත වෝල්ට් ඩිස්නි සමාගමේ නවතම පරිගණක සජීවකරණය Moana. පරිගණක සිනමා ලොව වීර චරිත අතරට එක් වෙන්නට නියමිත අලුත්ම කාන්තා චරිතය ‘මොආනා’ යි. නව යොවුන් මොආනා දකුණු පැසිෆික් සාගරයේ දූපතක් සොයා යන වීර චාරිකාව ගෙන එන්නට නියමිත Moana සිනමා නිර්මාණයේ මූලික සැළසුම් දැන් ක්‍රියාත්මක කරන්නට ඩිස්නි සමාගම පියවර තබා අවසන්.

ඩිස්නි සමාගමේ 56 වැනි චිත්‍රපටය ලෙසින් නිර්මාණය කෙරෙන මෙහි හඬ දායකත්වය සඳහා නළු නිළියන් තොරා ගැනීමේ කටයුතු දැන් සිදු කෙරෙමින් පවති. මෝයි නම් වූ අර්ධ දෙවියාගේ චරිතයට නම් වූයේ හොලිවුඩයේ රොක් නම් වූ ඩේව්යන් ඩග්ලස් ජොන්සන්ය. ඔහු ඒ සඳහා සිය එකඟතාවය ලබා දී ඇත. ලබන වසරේදී Fast & Furious  සහ San Andreas චිත්‍රපට සමගින් ඔබ හමුවට එන ඩේව්යන් එයින් පසු ඔබට තිළිණ කරනුයේ අර්ධ දෙවියෙකු ලෙසිනි.

එහෙත් ඩිස්නි සමාගම තවමත් මේ වීර තරුණියගේ චරිතයට හඬ වෙනුවෙන් කාන්තා හඬක් සොයමින් සිටී. ජෝන් මස්කර් සහ රොන් ක්ලෙමන්ට් විසින් අධ්‍යක්ෂණය කෙරෙන්නට නියමිත Moana ලබන 2016 වසරේදී තිරගත කිරීමටයි ඩිස්නි සමාගම බලාපොරොත්තු වෙන්නේ.