වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සංධ්වනි, ඔපෙරා අපේ රටට ගැළපෙන්නේ නෑ
වික්ටර් අඩ සියවස - දශක පහක මියැසි පහස 13 වැනිදා

සංධ්වනි, ඔපෙරා අපේ රටට ගැළපෙන්නේ නෑ

- ආචාර්ය වික්ටර් රත්නායක

කිසියම් කලා ශිල්පියකු හට තම කලා දිවියේ අඩ සියවසක් සපුරාලන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ආචාර්ය වික්ටර් රත්නායකයන් එකී සුවිශේෂී මං සලකුණු අබියසට සම්ප්‍රාප්තව සිටින්නේය. ඒ ගමන් මඟ දෙස නැවත හැරී බලන කළ ඔහුට ලාංකේය සංගීත ක්ෂේත්‍රය අරභයා වූ තම දායකත්වය පිළිබඳ ඕනෑවටත් වඩා උද්දාමයට පත්වීමට හේතු කාරණා තිබේ.

සැබැවින්ම ඒ අඩ සියවස වූ කලී වික්ටර් සිය සෞන්දර්ය චාරිකාවේ ලත් පෞද්ගලික විජයග්‍රහණයකට වඩා පොදුවේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා වූ අප්‍රමාණ, උත්කෘෂ්ට මෙහෙවරක අග්‍ර ඵලය සේ සැලකීම යුක්ති යුක්ත වේයැයි මට සිතේ.

එකී පනස් වසරක අභිමානවත් සංගීත දිවියේ මිහිරිතම සැමරුම් රැගෙන විකටර් යළිත් සිය රසික සමූහයා බැහැ දකින්නට සූදානම්ය. ඒ ‘වික්ටර් අඩ සියවස - දසක පහක මියැසි පහස’ ගී ප්‍රසංගය සමඟිනි. එම ආදරණීය ප්‍රසංගය ගීතවත් වන්නේ මෙම 13 වැනි දින සවස 7.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදීය. මේ සුවිශේෂී මොහොතේ වික්ටර් අප හා මෙසේ සංලාපයට එක්වන්නේ අතිශය තෘප්තිමත් හැඟීමෙනි.

* අතීතය සැකෙවින් සිහිපත් කළොත් කොහොමද ඔබට සංගීත ශිල්පියකු වීමට මුල් අඩිතාලම, පදනම වැටෙන්නේ....?

මට හිතෙන්නේ මෙහෙමයි අසංක, බොහෝ දෙනකුට තමා උපතින් ගෙනා හැකියාව, වැඩි දියුණු කරගන්නට කිසියම් තල්ලුවක් කොහෙන් හරි ලැබෙන්න ඕනෑ. මවුපියන්, වැඩිහිටියන් නැතිනම් හිතවතුන් වෙන්න පුළුවන්. මෙහෙම කොහෙන් හෝ මේකට පිටුබලයක්, අනුබලයක් ලැබෙන්න ඕනෑ. මම හිතනවා මගේ අම්මයි, තාත්තයි තමා ඒ අනුබලය මට දුන්නේ කියලා. රෑ නිදියන්න ගියාම මට මතකයි. මම පැදුරේ උඩුබැලි අතට වැතිරිලා සිංදු කියනවා. කවදාවත් ඔවුන් මට ඒකට හරස් කැපුවේ නැහැ. හැබැයි මෙහෙම පුරුද්දක් තාත්තට තිබුණා.

* ඒ මොකක්ද...?

රෑට මට සුභාෂිතයේ, ලෝවැඩ සඟරාවේ කවියක් දීලා පහුවදා පාන්දර 4.30 ට විතර කතා කරලා ඒ කවිය පාඩම් ගන්නවා. නමුත් අර ගීත ගායනයේදී ඒක නවත්වන්න කියලා තරවටු කරපු අවස්ථාවක් මගේ මතකයේ නෑ. ස්කෝලේ සාහිත්‍ය සංගමේ, වාර්ෂික විවිධ ප්‍රසංගවල මම ගීත ගයනවා දැකලා ටී. බී. කරුණාතිලක කියන ගුරුවරයා තමයි තාත්තාට මගේ දක්ෂතා ගැන වැඩිදුරටත් පහදාදී තිබුණේ. “රත්නායක අයියා, පොඩි පුතා සංගීතයට ගොඩාක් දක්ෂයි වගේ. මිනිහව ඒ පැත්තට යොමු කළොත් හොඳයි” කියලා ඔහු කියන්නට ඇත්තේ මං සර්පිනාව වයමින් ගී ගයන ආකාරය ඔහු අපේ නිවසේදී දැක තිබුණ නිසා වෙන්නට ඇති.

* ඔබේ සංගීත දිවියට ශාස්ත්‍රීය පදනම වැටෙන්නේ ඒ රෙකමදාරුවත් එක්ක...?

මා පිළිබඳ හා මගේ කුසලතා පිළිබඳ කරුණාතිලක ගුරුතුමා තාත්තාට කිව්වට පස්සේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් ලබා දුන්නොත් එයින් අනාගතයට ප්‍රයෝජනවත් වෙයි කියා තාත්තා හිතන්නට ඇති. එහි ප්‍රතිඵලය වුණේ මහනුවර එම්.ජී.පී. කලායතනාධිපති සිරිල් පෙරේරා ගුරුතුමා වෙත මා කැඳවාගෙන යාමයි. සර්පිනාව වාදනයට මම දක්ෂතාවක් දැක්වුවත් එය විභාගයක් සඳහා ප්‍රගුණ කළ නොහැකි සංගීත භාණ්ඩයක් බව සිරිල් පෙරේරා මහතා පැවසූ නිසා තාත්තා මට වයලීනයක් අරන් දුන්නා. ජර්මනියේ සාදන ලද ඒ වයලීනයේ මිල රුපියල් 112.00 ක් වූ බව මට තාම මතකයි.

* ඔය කොයි කාලෙද...?

එම්.ජී.පී. කලායතනයට මම සම්බන්ධ වුණේ 1957 වසරේදී. ඉතා පැහැදිලි මාර්ගෝපදේශකත්වයක් යටතේ ගායනයත්, තබ්ලා වාදනයත් හදාරන්න මට අවස්ථාව උදාවුණා. උත්තර භාරතීය රාගධාරී සංගීත මූලධර්ම අනුසාරික ක්‍රමවත් පාඨමාලවක් ඔස්සේ හදාරන්නට ලැබුණ ඒ කාලය තුළ තමයි මගේ සංගීත දිවියට මුල් ශාස්ත්‍රීය පදනම වැටුණේ.

* ඔබේ වෘත්තීය සංගීත දිවිය ඇරැඹෙන්නේ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ හමුවීම හරහා. එය අහඹු සිදුවීමක්....?

මහනුවර ලේක් සමාජ ශාලාවේ ආධුනික ගායකයන් බඳවා ගැනීමේ පරීක්ෂණයක් තිබුණා. මමත් ගියා. ආර්. ඒ. චන්ද්‍රසේන සර්පිනාවත්, එම්. කේ. රොක්සාමි වයලීනයත්, ඒ. ජේ. කරීම් ක්ලැරිනටයත්, විමල් ජේ. ශි‍්‍රයාරත්න ඩොල්කියත් වාදනය කරමින් එදා මේ පරීක්ෂණය අධීක්ෂණය කළා. එහිදී මම ගීත දෙකක්ම ගායනා කළා.

* මම හිතන්නේ එකල ඉතා ජනපි‍්‍රය හින්දි ගී දෙකක් ඔබ ඒ ගායනා කළේ....

ඇත්තෙන්ම ඒ මතකය ආවර්ජනය කරද්දී “ඔබ ගයන ගීතය මොකක්ද” කියා චන්ද්‍රසේනයන් විමසූ විට “මේරි කහානී” කියන පිළිතුර දුන් අයුරු මට සිහිපත් වෙනවා. එදා ඔවුන් මගේ ගායනයට කෙතරම් චමත්කාරජනක වාදනයක් ඉදිරිපත් කළාද කියනවා නම් මා මේ ගයන්නේ “ඩිඩාර්” චිත්‍රපටයේ නෞෂාඩ් අලීගේ වාදන මණ්ඩලය සමඟම යැයි කියා හිතුණා. ඊළඟට මම ගායනය කළේ ‘කොහිනුර්’ චිත්‍රපටයේ ‘ඩල් ශුකි ෆාමෙගම්’ ගීතයයි. ඒ ගායනා ගැන පැහැදුණු චන්ද්‍රසේනයන් මගේ වයලීන වාදන හැකියාවත් විමසා බැලුවා. ඊට පහුවදා ලේක් ක්ලබ් එකේ තිබුණු සංගීත ප්‍රසංගයට වයලීනයත් රැගෙන එන්න කියා ඔහු මට කිව්වා. එහිදී මම ගීතයක් ගායනා කළා වගේම වාදනයෙන් ද ඔවුන්ට සහාය වුණා.

* ඉන්පසු චන්ද්‍රසේනයනගේ වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයකු ලෙස කටයුතු කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා....

ඔව්. එදා ඉඳන් සෑම සති අන්තයකම ලේක් සමාජ ශාලාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගවලට මම වාදකයකු ලෙස සහභාගි වුණා. ඒ වගේම අගනුවර පැවැත්වෙන සංගීත ප්‍රසංගවලටත්, චන්ද්‍රසේනයන්ගේ ගුවන්විදුලි චිත්‍රපට පසුබිම් සංගීත පටිගතකිරීම් වලටත් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. චන්ද්‍රසේනයන් මගේ ගුරුවරයකු නොවුණාට එම තත්ත්වයේ ලා සලකන්නට මං කැමැතියි. මොකද එතුමාගේ සංගීත ඥානය පිළිබඳ විමසිලිමත් වෙනකොට මට හිතෙන්නේ අදටත් ඒ හා සමාන කළ හැකි සංගීතවේදියෙක් අපට දකින්නට නැහැ කියන කාරණයයි.

* එවැනි සුවිශේෂ තලයක ලා එතුමාගේ හැකියාව අගය කරන්නට ඔබ පෙළඹුන සාධකය....?

සංගීත භාණ්ඩ රාශියක් වැයීමේ කුසලතාවය, නිපුණතාවය එතුමාට තිබුණා. වාදනයට පමණක් සීමා නොවී එය තනු නිර්මාණයට හා ගායනයටත් අදාළ වුණා. එතුමා යටතේ වාදකයකු හා ගායකයකු විදිහට මට කරන්න තිබුණ දේවල් බලනකොට එය විශාල හැදෑරීමක්. විශේෂයෙන් වාදක මණ්ඩලයට කොහොමද ස්වර ලිපි සපයන්න ඕනෑ කියන කාරණය. වයලීනයට ස්වර ලිපි ලියන විදිහට නෙමෙයි සිතාරයට ලියන්නේ. ඊටත් වෙනස් බටනලාව එහෙම නැතිනම් මැන්ඩලීනය වගේ වාද්‍ය භාණ්ඩයකට. මේ ස්වර ලිපි එකිනෙකට වෙනස්. ඒ සියලු දේ මම දැනගත්තේ ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගෙන්. ගුරු ගෝල සබඳතාවක් නොවුණත් භාවිත සංගීතය කුමක්ද කියා මම දැනගත්තේ එතුමාගෙන්.

* ඒ ලත් ගුරුහරුකම්, ආභාසය වෙනත් සංගීතවේදීන් සමඟ කටයුතු කරද්දී ඔබට මනා පිටිවහලක් වෙන්නට ඇති....

ඇත්තටම ඒක හරි. මගේ නිර්මාණ ශාක්‍යතා වැඩි දියුණු කරන්නට එය ඉවහල් වෙන්නට ඇති. සෝමදාස ඇල්විටිගල, ලයනල් අල්ගම, පණ්ඩිත් අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, පසුකාලීනව අපිත් එක්ක එකටම ශිල්ප හදාරපු සරත් දසනායක. ඉතින් ඔය වගේ සංගීතවේදීන් යටතේ ඔවුන්ගේ නිර්මාණවලට අනුගත වෙලා වයලීන වාදකයකු හැටියට මට කටයුතු කරන්නට ලැබුණා. ඒ අත්දැකීම්, අත්විඳීම් නිසා මට ඉතාම සාර්ථක සංගීත අධ්‍යක්ෂණයක් කරන්නට හැකි වුණා මගේ මුල්ම පසුබිම් සංගීතය ඇතුළත් වූ ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන්.

* රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වූ පසු මං හිතන්නේ ඔබේ සංගීත ඥානය තවත් පරිපාකයට පත් වෙනවා?

1963 දී මම නවක සිසුවකු වශයෙන් රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී මගේ ගුරුවරුන් වූයේ විශාරද කේ. ඒ. දයාරත්න සිල්වා, විශාරද එස්. ඩී. එස්. ඒ. ජයසේකර, විශාරද ගුණසේන ද සිල්වා, විශාරද ගුණපාල පෙරේරා, විශාරද ධර්මසිරි පෙරේරා, විශාරද ප්‍රේමවංශ හපුවලාන යන ගුරු භවතුන්. සංගීත විද්‍යාලයේ මගේ සමකාලීන සිසුන් වුණේ මර්වින් පෙරේරා, අමරසිරි පීරිස්, පුණ්‍යසිරි මහවත්ත, වයි. එම්. සුමනසිරි, සේන වීරසේකර, වින්සන්ට් ප්‍රේමසිරි, බර්ටි රණසිංහ, අමිතා වැදිසිංහ වගේ අය.

* ගුවන් විදුලියේ පටිගත කළ ඔබේ මුල්ම ගීතය?

ඇත්තෙන්ම ගුවන් විදුලි ශිල්පියකු වෙන්නටත් කලින් ඒ් අවස්ථාව මට උදා කර දුන්නේ ඩී. ආර්. පීරිස් සංගීිතවේදියා විසින්. ‘හදේ සුසුමන් පතිත වීමෙන් බකිනි මල් පෙති පර නොවේවා’ කියන ඒ ගීතයේ පදමාලාව ඩෝල්ටන් අල්විස් සූරීන්ගේ. සංගීතවත් කළේ ඩී. ආර්. පීරිස්. එය මා ගුවන් විදුලියට ගැයූ ප්‍රථම ඒකල ගීතයයි. ඊට පෙර මම ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතවත් කළ ‘මනිචෝර’ ගුවන් විදුලි ගීත නාටකයෙහි අත්වැල් ගායනාවලට සම්බන්ධ වුණා. 1964 දී තමයි මම ගුවන් විදුලි සරල ගී ගායකයකු ලෙස ප්‍රවිෂ්ටය ලබන්නේ. අරිසෙන් අහුබුදු රචිත “සිඳ බිඳ මොහඳුරු පාප”, “ගොළුමුහුදේ මුතු ඇටේ” කියන ගීත දෙක තමයි ගුවන් විදුලි සරල ගීත වැඩ සටහනකට මුලින්ම ගැයුවේ. 1964 වසරේ ගුවන් විදුලි සරල ගී ගායකයකු ලෙස ඇරඹූ සංගීත දිවියේ පනස් වසර සපිරුනේ මේ 2014 වසරට.

* මම හිතන්නේ පසුකලක වික්ටර් රත්නායක නමැති වාදකයා වසාගෙන ගායන ශිල්පියා ඉස්මතු වෙනවා. ‘ස’ ප්‍රසංගය හරහා ඔබ ඒ ගායන ලොව දිග්විජය කරනවා...?

“ස” මෙරට බිහිවූ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය. එහි මංගල දර්ශනය පැවැත්වුණේ 1973 ජූලි 20 ලුම්බිණි රඟහලේ. ලංකාවේ හතරදිග් භාගෙ විතරක් නෙවෙයි එතෙර රටවල පවා එය ගීතවත් වුණා. ‘ස’ සමාප්තිය සිදුවුණේ ප්‍රසංග ත්‍රිත්වයක් එක දිගට පවත්වලා. 2012 ජූලි 18 නෙළුම් පොකුණෙ, ජූලි 19 මහරගම යොවුන් රඟහල, ජූලි 20 ලුම්බිණි රඟහල ඒ ප්‍රසංගය පැවැත්වුණේ දහස් සංඛ්‍යාත රසික සහෘදයන්ගේ සහභාගීත්වයෙන්. වසර තිස් නවයක් පුරා ප්‍රසංග වාර 1450 ක් ඒ වෙනකොට ‘ස’ ප්‍රසංගය පවත්වා තිබුණා.

* මගේ පෞද්ගලික මතය වික්ටර් රත්නායක නමැති සංගීතවේදියා, තනු රචකයා පිළිබඳ හරවත් විචාරයක්, ඇගයීමක් අපේ රටේ සිදූ වුණේ නැහැ. ඒ කොහොම වුණත් විශාල ගායක ගායිකාවන් පිරිසකට ඔබ ගීත නිර්මාණය කර තිබෙනවා...

ඔව්...ඔව්....

* ඒවා එකිනෙකට වෙනස් ඉතා මධුර තනු නිර්මාණ?

ඇත්තෙන්ම ඒ නිර්මාණ ගැන අද හිතනකොට මටත් නිකං අරුමයක් වගේම සතුටකුත් දැනෙනවා. මේ දේවල් මම කළා ද කියන හැඟීමත් සිතට නොනැඟෙනවා නෙවෙයි. බොහෝ කාලයක් ගිහින් තමයි මට අමරදේවයන්ට ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් වුණේ. “කුමරියක පා සලඹ සැළුණා’ ගීතය. දැන් එහෙම නිර්මාණය කරලා මම පසුකාලීනව එම්. එස්. ප්‍රනාන්දුට “උපන් හදවියේ” වගේ ගීතයක් හදනවා. ඔහු නම් දරා සිටියේ “බයිලා චක්‍රවර්ති” හැටියටනේ. ඒ වගේම ඩෙස්මන්ඩ් ද සිල්වාට මම ගීතයක් නිර්මාණ කළා. අපි වගේ අයට එහෙම අවස්ථා ලැබෙන්නේ හරි අඩුවෙන්නේ.

* ඔබේ තනු නිර්මාණ අතරින් වඩා සුවිශේෂී ගීත කිහිපයක් සිහිපත් කළොත්...?

එහෙම බලනකොට දැන් ෆෙ‍්‍රඩී සිල්වාට නිර්මාණය කළ “කුංඩුමනී”, “පාංකිරිත්තා” වගේ ගීත. එක් එක් ශිල්පීන්ට ආවේණික ශෛලීන් තියෙනවනේ. ඉතින් ඒවාට අනුගත වෙලා ඔවුන්ගේ ගායන කුසලතාව, ත්‍රීව්‍ර වන ආකාරයේ නිර්මාණ මම කළාය කියන හැඟීම හිතේ තියෙනවා. එච්. ආර්. ජෝතිපාලයන්ට හැදූ “රාජ කිරුළු” එහෙම නැතිනම් ජේ. ඒ මිල්ටන් පෙරේරාට නිර්මාණය කළ “දෙතුන් වතාවක්” වැනි ගීත වික්ටර් රත්නායකගේ තනු කියා සමහරු දන්නේ නෑ.

* ඔබ රුක්මණී දේවියට පවා ගී නිර්මාණය කළා.

ඒ විරල භාග්‍යය මට උදා වුණා. ඇත්තෙන්ම ගුවන් විදුලි සරල ගී වැඩ සටහනක් වෙනුවෙනුයි. ඒ ගීත දෙක නිර්මාණය වුණේ. “ඔබ යන ගමනේ” හා “හීන් ඇඳිරියේ” කියන ඒ ගීත දෙක රචනා කළේ සුනිල් ආරියරත්නයන් සහ පේ‍්‍රමකීර්ති ද අල්විස්, විශාරද නන්දා මාලිනී, නීලා වික්‍රමසිංහ, ශ්‍රීමති තිලකරත්න, ලතා වල්පොල, නිරංජලා සරෝජනී, නිර්මලා රණතුංග ඇතුළු ගායිකාවන් රැසකට මම ගී තනු නිර්මාණය කළා. මොහිදීන් බෙග් මාස්ටර්ට තනුවක් නිර්මාණය කරන්න එහෙම ලේසියෙන් අවස්ථාවක් ලැබෙන්නේ නෑ. “හාරත හතර” චිත්‍රපටයට මම එතුමන් වෙනුවෙන් ගීයක් නිර්මාණය කළා. “ලද ජීවිතේ අස්ථිර වේ” කියන ඒ ගීතය ලිව්වේ පේ‍්‍රමකීර්ති ද අල්විස්. මිල්ටන් මල්ලවාරච්චි, අබේවර්ධන බාලසූරිය ඇතුළු ගායකයන් රැසකටත් මා තනු නිර්මාණය කළා.

* ඇතැමුන් ඔබේ ගී තනු නිර්මාණවලින් ගායනයට පිවිසියා. ඇතැමෙකුගේ ජනපි‍්‍රයම ගීත නිර්මාණය කර තිබෙන්නේ ඔබ. එය සංගීතවේදියකු හැටියට ඔබට කිසියම් අභිමානයක් නෙවෙයි ද?

අතීතයේදී එබඳු නිර්මාණ බිහි කළා නේද කියලා හිතෙනකොට අර මුලින්ම මම කිව්වා වගේ සිතට දැනෙන්නේ තෘප්තිමත් හැඟීමක්. එය අභිමානයකට වඩා පහන් සිතිවිල්ලක්. සමහරු කියනවනේ “මගේ ගීත නිර්මාණ නිසා තමයි අසවලා ජනපි‍්‍රය වුණේ, නැතිනම් ආලෝකය ලැබුවේ” කියලා. නමුත් අසංක මම එහෙම කියන්න කැමැති නෑ. කිසියම් ශිල්පියකු අපේ නිර්මාණ හරහා බැබළෙනවා නම් ඒක වලක්වන්න අපට බැහැ. අවසානයේ ඉතිරි වෙන්නේ තෘප්තියනේ. මුදල් කොච්චර ගෙව්වත් ඒක වියදම් වෙනවනේ. නමුත් සතුට රඳවනවනේ.

* ගීතයක් ජනපි‍්‍රය වෙනකොට ගායකයා හා සංගීතඥයා අතර ගැටුම් ඇතිවූ අවස්ථා පවා අපි අත්විඳ තිබෙනවා...?

ඒක ඇත්ත. නමුත් එය නොවිය යුත්තක්. දැන් සුනිල් එදිරිසිංහගේ මුල්ම ගීතය “සඳකඩ පහනක කැටයම් ඔපලා” සංගීතවත් කළේ මම. එතනදි ඔහුගේ ආධුනිකත්වය මග හරවාගෙන හොඳ ගායනයක් සඳහා ඔහු යොමු කරවාගන්නට මට කිසියම් අවස්ථාවක් උදා වුණා තමයි. නමුත් එහෙම වුණාට “සුනිල් එදිරිසිංහ හැදුවේ මම” කියන කතාව මම කවදාවත් කියන්නේ නෑ. මොකද එයාගේ දක්ෂතාවක්, කුසලතාවක්, ප්‍රතිභානයක් තිබුණු නිසා තමයි ඔය ගීතය ඔය තරම් අලංකාරව ගායනා කළේ. ඉතින් ඔහු ඉන්න තැන බලලා අද මම සතුටු වෙනවා.

* වික්ටර් රත්නායක මා දකින්නේ භාෂාත්මක සංගීතවේදයෙක් හැටියට. වදන්වල අරුත වඩාත් උද්දීපනය වන ආකාරයේ තනු නිර්මාණය කිරීමේ ඔබ සතු අපූර්ව ප්‍රතිභාව නිසයි ඒ හැඳීන්වීම මම කළේ. කොහොමද මේ භාෂා සංවේදිතාව ඔබට ඇති වුණේ...?

අපේ තාත්තා මහා උගතකු නොවුණට උගතුන් සහ වියතුන් ඇසුරෙන් මගේ පියා බොහෝ දේවල් දැන ගෙන සිටියා. සාහිත්‍ය, ගද්‍ය, පද්‍ය, භාෂා දැනුම හුඟක් එතුමාට තිබුණා. තාත්තා ගෙදරදි නිතරම ශ්ලෝක, කවි කියනවා. මේ ඔක්කොම කියන්නේ කට පාඩමින්. දැන් “කව් සිළුමිණ” වුණත් එතුමාට කට පාඩමින් කියන්න පුළුවන්. අපට වඩා දැන උගත් බහුශ්‍රැතයෝ ඇසුරු කරන්න අපි පෙළඹෙනවනේ. ඒක මුලින්ම මට ලැබුණේ මගේ නිවසින්. අපේ ගුරු පියවරු, ගුරු මෑණිවරු එක්ක අපි ගොඩක් ළඟින් හිටියා. අසවල් පොත පුස්තකාලයෙන් අපට ගෙනත් දෙනවා කියවන්න කියලා. මේ කියැවීම හරහාත් අපි ගොඩක් දැනුවත් වුණා. ගැමි වහරේ තියෙන යෙදුම්, උපමා, උපමේය යොදන හැටි, අපට කියා දුන්නා.

* ඔබ බස පිළිබඳ සංවේදී ගාන්ධර්වයෙක් බවට පත් වෙන්නේ එහෙම...?

ඇත්තෙන්ම. දැන් මම උපාධිධාරියෙක් නෙවෙයිනේ. නමුත් පත පොත පරිශිලනයෙන්, වියතුන් ඇසුරෙන් බොහෝ දෑ ඉගෙන ගන්නට මට පුළුවන් වුණා. මහා මංගල සූත්‍රයේ තියෙනවනේ “අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා” කියලා. ඉතින් අපි නිතරම වියතුන් ඇසුර පතනවා නම්, ඊට කැමැත්තක් දක්වනවා නම් මම හිතන්නේ ඒ ඇසුරෙත් අපට බොහෝ දේවල් දැන ගන්න පුළුවන්.

* වචනයකට ගෙවා යා හැකි දුර අවසන් වන තැන සංගීතයේ උපත සිදුවේ යැයි කියා ප්‍රකට කියමනක් තිබෙනවානේ. එතකොට ඔබ භාෂාව අතික්‍රමණය කර, වෙනත් හැඩතල ඔස්සේ නිර්මාණකරණයේ යෙදෙන්නට උත්සුක නොවුණු බවක් පෙනෙනවා...?

මගේ ගීතවල යම් අඩුපාඩුවක්, දොසක් තියෙන බව ද ඔබ කියන්නේ...?

* නැහැ. මා ඇසුවේ බටහිර සම්භාව්‍ය සංගීතය ඇසුරෙන් බිහිවූ ඔපෙරා, කැන්ටාටා, සිමිෆනි වගේ සංගීතාංගයන් දෙසට ඔබ නැඹුරු නොවුණේ මන්ද කියායි?

එබඳු නිර්මාණ සෑහෙන එකතුවක් මා ගාව දැනටත් තියෙනවා. ඒ කියන්නේ බිතෝවන්, මොසාට්, ෆෙගනිනි, චයිකොවුස්කි වගේ ශ්‍රේෂ්ඨ සංගීතඥයන්ගේ ඔය සිම්ෆනි මියුසික් කියන එක. අසංක, මෙහෙම දෙයක් තියෙනවා. දැන් ලංකාවට එබඳු දේවල් උචිත වෙනවාද ගැළපෙනවාද කියන එක. එබඳු නිර්මාණ කළ සංගීතඥයන් එක්කෝ ජර්මන්, නැතිනම් ප්‍රංශ එහෙම නැතිනම් රුසියානු, යුගොස්ලෝවියා වගේ රටවල හිටපු අය. ඒ රටවල තිබෙන සංස්කෘතීන්ට හා ඒ ඇදහීම් ක්‍රමවලට ඒවා ගැළපෙන්න පුළුවන්. දැන් ඔය “හිම්ස්” කියලා කියන්නේ. ඒවාට කන්තාරු ගී කියනවා. කොයික බැලුවත් ඒවා ඒකල ගායන හැටියට නෙවෙයි තියෙන්නේ සමූහයක් ගායනා කරන ගීත හැටියට.

* බොහෝ විට මෙබඳු නිර්මාණ සම්භාව්‍ය සංගීතය ලෙස තමයි හඳුන්වන්නේ...?

සුප්‍රානෝ, ඇල්ටෝ, ටෙනෝ වගේ එක් එක් ගායන විධි ක්‍රම ඒගොල්ල ළඟ තියෙනවා. ගැහැනු කටහඬ මෙහෙයවන විදිහ එකක්. පිරිමි කටහඬවල් භාවිත කරන්නේ තව විදිහකට. ඉතින් ඒවා ඒ රටවල චර්යා ධර්මවලට, හැදියාවට ඇතැම්විට දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන විදිහට කරපු නිර්මාණ, ඉතින් අපේ මේ ශ්‍රී ලංකාව කියන්නේ අවුරුද්දෙ දවස් තුන්සිය හැට පහේම හොඳට හුස්ම අරන් ඉන්න පුළුවන් රටක්. අධික ශිතලයෙන් හෝ අධික උෂ්ණයෙන් මිනිස්සු මියයන තත්ත්වයක් නැති රටක් නේ. සම සීත උෂ්ණ අපි වගේ රටකට එබඳු නිර්මාණ නොගැළපෙන බවයි මගේ විශ්වාසය.

* නමුත් අපේ රටේත් එබඳු නිර්මාණ බිහිවුණා. විශේෂයෙන්ම පේ‍්‍රමසිරි කේමදාස වැනි සංගීතඥයන් අපට මෙහිදී සිහිපත් වෙනවා...?

කේමදාස මහත්මයාත් පොට වරද්දා ගත්තු තැන ඔන්න ඔතැන කියලා මට හිතෙනවා. හැමදාම සිංදු කිය කියා ඉන්න ඕනෑ කියාලා නෙවෙයි මම කියන්නේ. නමුත් සංධ්වනියක්, ඔපෙරා එකක් මෙහෙ කළා කියලා ඉතාම අල්ප දෙනයි ඒවා රස විඳින්නේ. එකක් අපේ රසිකයෝ වැඩි දෙනකුට ඕවා රස විඳින්න දැනුමක් නැහැ. මම මේ අවතක්සේරු කරනවා නෙවෙයි අපේ සිංහල ජනතාව. ඔපෙරා හෝ කැන්ටාටා හෝ ඔය කියපු සම්භාව්‍ය සංගීතය එහෙම විඳින්න බෑ. මම මෙතෙක් අපේ රටේ දැකපු හොඳම ඔපෙරාව තමයි මකුලොලුව උන්නැහේගේ “දෙපානෝ” ගීත නාටකය. අන්න අපට ගැළපෙන විදිහට හදපු ඔපෙරා එකක්. දෑත් බීතෝවාන් නයින්ත් සිම්ෆනි, සෙවන්ත් සිමිෆනි වගේ නිර්මාණ කරලා තියෙනවා. නමුත් ඒවා මෙහේ කරන්න ගියාම කොයි තරම් දුරට වින්දන ගෝචර වෙනවද, වුණාද කියන ගැටලුව මතු වෙනවා.

* “වික්ටර් අඩ සියවස - දසක පහක මියැසි පහස” ප්‍රසංගය පිළිබඳ ඔබේ රසික ප්‍රජාව දැනුවත් කළොත්...?

මගේ පනස් වසරක සංගීත දිවිය සැමරීම සඳහා තමයි මේ කාර්යය සිදුවන්නේ. “වික්ටර් අඩ සියවස - දශක පහක මියැසි පහස” කියන නම යෙදුවේ පූජ්‍ය මැදගොඩ අභය තිස්ස ස්වාමීන් වහන්සේ. මම හිතනවා ඒක ඉතාම උචිත නමක්. ඒ පද යෙදුමේ රිද්මයානුකූල බව හරි වටිනවා. මෙතනදි මම ඉතාමත් සතුටු වන දේ තමයි මා වගේම මගේ දරුවෝ හතර දෙනා සහ ඔවුන්ගේ දරුවනුත් මේ ප්‍රසංගයේ දී ගීත ගායනා කිරීම. මවිසින් නිර්මාණ දායකත්වය දෙන ලද සමහර ගායන ශිල්පීන් අද ජීවතුන් අතර නැහැ. ඉතින් ඔවුන්ගේ පුත්තු දායක වෙනවා ඒ ගීත ගයන්නට. පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ, උරේෂා රවිහාරි, රොඩ්නි වර්ණකුල, පි‍්‍රයංකර පෙරේරා, සුසිල් ප්‍රනාන්දු එදාට මගේ ගී නිර්මාණ ගායනා කරනවා. සංගීතය මෙහෙයන්නේ ජයන්ත රත්නායක. මෙහි පිටපත බන්දුල නානායක්කාරවසම්ගේ. වජිර ජයවර්ධන කථනයෙන් දායක වෙනවා.

* තවත් සුවිශේෂී කටයුතු කිහිපයක්ම එදිනට සිදු වෙනවා.

ඔව්... මගේ ජනපි‍්‍රය ගීත දහ අටක් හින්දි බසින් ගැයුණු සංයුක්ත තැටියක් එදාට එළි දකිනවා. සුනිල් චන්ද්‍රකුමාර හා යශෝධා විමලධර්මයි ඒ හින්දි ගී රචනා කළේ. ඊට අමතරව සිසිර දිසානායක රචිත ගී 16 ක් ඇතුළත් “සිදංගනා” සංගීත තැටියත් දොරට වඩිනවා. එහි සියලු ගී තනු නිර්මාණය කළේ මා විසින්මයි. බණ්ඩාර සෙනෙවිරත්න ලියූ “වික්ටර් අනුපමේය වින්දන ධර්මය, කෘතිය එළි දැක්වීමත් එදාට සිදු කෙරෙනවා.