වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




උපන් දින තෑග්ගට කම්මුල් පාර තිස් පහක්

උපන් දින තෑග්ගට කම්මුල් පාර තිස් පහක්

‘අප්පච්චි’ ටෙලි සිතුවමේ ‘මේඝනා’ මතක ආවර්ජනයක
නවක නිළි බිම්සරා පේ‍්‍රමරත්න

උපන් දිනය දවසේ කම්මුල් පාරවල් තිස්පහක් කෑ රංගන ශිල්පිණියක් සිටියි නම් ඒ බිම්සරා පේ‍්‍රමරත්න පමණි. ඇය එම දඬුවමට ලක්වුණේ අප්පච්චි දර්ශන තලයේදීය. බිම්සරාට එරෙහිව අත ඉස්සුවේ විශිෂ්ට රංගනවේදී ජැක්සන් ඇන්තනියි. හරියටම දිනය කිව්වොත් දෙදහස් දොළහේ ඔක්තෝබර් විසි එක් වැනිදාය. අප්පච්චි ටෙලි සිතුවමේ බිමසරා රඟපෑ මේඝනා මුරණ්ඩු ලෙස අපප්ච්චිට බැන වදියි. ඇයට කිසිදු පිළිතුරක් නොදී අප්පච්චි කරනුයේ මේඝනාගේ කම්මුලට ගැසීමයි. සවස පහට පමණ ඇරැඹි රූගත කිරීම පසුදා පාන්දර දක්වා පැවතිණ. කෙසේ නමුත් එම දර්ශනය ආනන්ද අබේනායකයන් තම කැමරාවට නතුකොට අවසන් වෙද්දී බිම්සරා කම්මුල් පහරවල් තිස්පහක් භුක්ති විඳ අවසන්ය. එලෙස අප්‍රතිහත කැපවීමෙන් කළ චරිතය පසුගිය ‘සුමති’ සම්මාන උළෙලේ ඇගයීමකට ලක් විය. ඒ මේඝනා වෙනුවෙන් බිම්සරා එදින හොඳම සහාය නිළිය හැටියට අභිසෙස් ලබමිනි.

මේඝනා අමුතු චරිතයකි. සිතුවිලි පවා වෙනස්ය. බිම්සරා ද එසේමය. තමන් නිළියක්ය යන වග ඇයට ගාණක් නැත.

බිම්සරා විලාසිතා කරන් නැත්තේ ඇයි? එම පැනය මට ඇසුනේ ඉබේටමය.

මම මේ ඉන්න විදිහෙන් මාව මිනිස්සු මනිනවට මං ආසයි.

එය ඇයගේ පිළිතුර විය.

බිම්සරා එලෙසම අප ඡායාරූප ශිල්පී ශාන් රූපස්සරගේ කැමරාවට මුහුණ දුන්නාය.

බිම්සරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි. අවුරුදු හයේ පටන් වේදිකාවට නැඟි ඇය විවිධ කලා කටයුතුවලට සහභාගී වූවාය. මෙරට වීදි නාට්‍ය කලාවේ පියා හැටියට සලකන ගාමිණී හත්තෙටුවේගමගේ සොයුරී ලීලාමනී හත්තෙටුවේගම බිම්සරාගේ පාසලේ ගුරුවරියකි. ඇය නිර්මාණය කළ ඉංග්‍රීසි නාට්‍ය අධීක්ෂණය කරන්නට ගාමිණී මහතා නිතර පාසලට ආවේය. බිම්සරා ද එම නාට්‍යවල රඟපෑවාය. ඇය පළමුවරට ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණේ එම නාට්‍යවලිනි.

Taming of the Shrew, Govermment Ispectior, Doctor in Spite of Himself වගේ නාට්‍යවල මං ප්‍රධාන චරිත මැව්වා. ඒවා පාසලේදී පුහුණුවීම් කළත් ප්‍රසිද්ධියේ වේදිකා ගත වුණා. ඔහොම මං දිගින් දිගටම ඉංග්‍රීසි වේදිකාවට සම්බන්ධ වුණා.

* පාසලෙන් ඉවත් වුණාමත්?

මෙහෙමයි, 2001 දියි මං ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්නේ. එතැන් පටන් අවුරුදු අටක් විතර යනතුරු කිසිම නිර්මාණයකට දායක වුණේ නැහැ උසස් අධ්‍යාපන කටයුතු හින්දා. හැබැයි ආයත් මං රඟපාන්න එන්නෙත් ඉංග්‍රීසි නාට්‍ය සමඟින්. ඒ 2009 වසරේ. ජෙහාන් බැස්ටියන් සහ නිඩ්‍රා විලියම්ස් කියන අයගේ සයිලන්ට් හෑන්ඩ් නම් වූ නාට්‍ය කණ්ඩායමත් එක්ක එකතු වුණා. අනතුරුව ජෙහාන් ඇලෝෂියස්, ෆෙරොස් කමර්ඩීන්, ජෙරොම් ද සිල්වා වැනි අයගේ ඉංග්‍රීසි නාට්‍යවලට සම්බන්ධ වුණා. එතකොට මම ස්ථිර රැකියාවක් කළා.

බිම්සරා මේ වනවිට රැකියාවෙන් පවා ඉවත් වී පූර්ණකාලීනව රංගනයේ යෙදෙන්නීය. ඇය ජාත්‍යන්තර නීතිය හා සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිධාරිණියකි. බිම්සරා එම විෂයට අදාළ නිදහස් උපදේශකවරියක් ලෙස ද සේවය කරමින් සිටින්නීය.

මම ‘ධවල භීෂණ’ සහ ‘කලු මාලී’ යන වේදිකා නාට්‍යවල හිටියා. ඒ වෙන කොටත් මම ටෙලි නාට්‍යවලට ඇවිත් තිබුණේ නැහැ. කෞෂල්‍යා ප්‍රනාන්දු මාර්ගයෙන් තමයි මට අප්පච්චි නාට්‍යයට කතා කළේ. මං බැහැම කිව්වා. චාන්දනී සෙනෙවිරත්න අක්කා මට කෝල් කරලා මේඝනා ගැන දීර්ඝව විස්තර කළා. බැරිම තැන පිටපත ඉල්ලලා කියෙව්වා.

බිම්සරා මේඝනාව බාරගෙන ඇත්තේ බොහෝ සෙයින් ගණන් උස්සලා. ඒ ඇගේ ඇති ආඩම්බරකමට නොව ටෙලි නාට්‍යවල රඟපානවාට වඩා වේදිකා නාට්‍යයක් කරගෙන පාඩුවේ සිටීම යෙහෙකි යැයි ඇය සිතූ බැවින්ය. කෙසේ නමුත් ඇය පිටපත කියවා මේඝනාට කැමැත්ත දුන්නාය.

මා ජීවිතේට හිතුවේ නැහැ මගේ පළමු චරිතයටම සම්මානයක් හිමිවේවි කියලා. ඇත්තටම කිව්වොත් මේ සම්මානය මට ලොකු දෙයක්. ඒ වගේම ගෞරවයක් එක අතකින් ඒක වගකීමක්. මොකද මං එහෙම කියන්නේ මින් ඉදිරියට මං රඟපාන්න ඕනෑ ඉතාම හොඳට. මේ සම්මානයෙන් මට ලැබුණු තත්ත්වය ආරක්ෂා කරගන්න තමයි එහෙම කරන්නේ.

අප්පච්චි නාට්‍යයෙන් පසු බිම්සරාට තවත් නාට්‍ය හතරකට ඇරැයුම් ලැබී තිබේ. නමුත් ඇය ඉන් බාර ගෙන ඇත්තේ එකකි. එයට හේතුව ලෙස ඇය පවසන්නේ යමක් කළ හැකි චරිතයක් තිබුණේ එම නාට්‍යයේ පමණක් බවය. බිම්සරා රඟපෑ එම නාට්‍ය අධ්‍යක්ෂණය කොට ඇත්තේ සරත් ධර්මසිරිය.

මං රඟපාන්නේ ප්‍රසිද්ධිය බලාගෙන නෙවෙයි. ඒත් මං වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්. මට වුවමනා හොඳ නිළියක් වෙන්න. ඒකයි මම ප්‍රසිද්ධිය පතා රඟපාන්නේ නැත්තේ. නමුත් යම් නිර්මාණයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මං යනවා. ඒවාට නොයා ඉන්නේ නැහැ.

* පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමුද?

මට හංගන්න තරම් තොරතුරු නැහැ. නමුත් මං කැමැති නැහැ මගේ පුද්ගලික ජීවිතය ගැන කියන්න. මට ඕනෑ මාව හඳුනා ගන්නේ නැතුව මං රඟපාන චරිත ගැන විනිශ්චයක් දිය හැකි ප්‍රේක්ෂක කොට්ඨාසයක් මට ළං කරගන්න. ඒකයි විස්තර කියන්න යන්නේ නැත්තේ. කලාකරුවන් එක්තරා දුරකට පමණයි පොදු වස්තු වෙන්නේ. කලාවෙන් තොර තමන්ගේම කියලා ජීවිතයකුත් තියෙන්න ඕනෑ. ඒකයි මම ඒ මතයේ ඉන්නේ.

බිම්සරා වැඩිපුරම රංගන දායකත්වය සැපයුවේ ඉංග්‍රීසි වේදිකාවේ. එහිදී සිදු වූ අමතක නොවන අත්දැකීම් ගැන ඊළඟට මට අසන්නට සිතිණි.

ඔන්න මට එක නාට්‍යයක ඇඳුම් දෙකක් මාරු කරගෙන මට රඟපාන්න තිබුණා. එක් දර්ශනයක් ඉවරවෙලා මං වේදිකාව පිටුපසට ගියා අනෙක් ඇඳුම දාගන්න. මම ටිකක් පරක්කු වුණා. එවලේ වේදිකාවේ හිටපු කට්ටිය සැහෙන්න අපහසුතාවයට පත් වෙලා මගේ පමාව නිසා. තවත් දවසක් මට පසුතලයේ තිබුණු දෙරක් ඇරගෙන යන දර්ශනයක් තිබුණා. මාර වැඩේ දොර ඇරෙන්නෙම නැහැ. තුන් හතර පාරක් ට්‍රයි කරලා බැරිම තැන වේදිකාවේ අනෙක් පැත්තෙන් පිට වුණා වැඩිපුර ඩයලොග් එකක් කියාගෙන. වෙලාවට ඒක කාටවත් දැනුණේ නැහැ.

බිම්සරා මේ වන විට පදිංචිව සිටින්නේ නාවලය. තම වෘත්තීය කටයුතු තෝරා බේරා කරගෙන යන ඇය රඟපෑ එකෝඩිංටු මැතිව් චිත්‍රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතය. එමෙන්ම නිලේන්ද්‍ර දේශප්‍රියගේ දේ ඩාන්ස් අලෝන් චිත්‍රපටයේ රංගනයට ඇයට ආරාධනා ලබී ඇත.

* බිම්සරා මොන වගේ කෙනෙක්ද?

අවසන් කොට මම ඇසුවෙමි.

ගැඹුරින් හිතන නමුත් සරල කෙනෙක්.

ඇය පිළිතුරු දුන්නේ සිනහවක් ද සමඟිනි.