වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

නිළි රැජනට සැත්කමක්

අප නිළි රැජන මාලිනී ෆොන්සේකා ශල්‍යකර්මයක් වෙනුවෙන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටී. ඇය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බව නැගණිය දමයන්ති ෆොන්සේකා පැවසුවාය. මාලිනීට ඉක්මන් සුවය 'සරසවිය' අපගේ පැතුමයි.


උසාවිය තාවකාලිකව නිහැඬියාවක

පසුගිය සතියේ තිරගතවීමට නියමිතව තිබූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආන්දෝලනාත්මක කතා පුවතක් රැගත් 'උසාවිය නිහ¾ඩයි' සිනමාපටය අධිකරණයේ තීන්දුවක් මත තාවකාලිකව ප්‍රදර්ශනය අත්හිටවන ලදී.


බයිසිකලයට දින පනහයි

මෝටර් බයිසිකල් සිනමාපටය තිරගතවීම ආරම්භ වී මෙම මස 15 වැනිදා එනම් එන සෙනසුරාදාට දින පනහක් සපිරෙයි. එය විවිධාකාර වූ ප්‍රතිචාර මාධ්‍යයෙහි තිරගත වන බව අධ්‍යක්ෂ ශමීර රංගන නාඔටුන්න සරසවියට සඳහන් කළේය. මෝටර් බයිසිකල් ඔහුගේ පළමු සිනමාපටය වේ. එය සුරංග ජයසූරියගේ නිෂ්පාදනයකි. දසුන් පතිරණ සහ සමනලී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා, වීණා ජයකොඩි ඇතුළු පිරිස මෙහි චරිත මැවුහ.


ප්‍රේමය නම් චිකාගෝවේ හොඳම චිත්‍රපට අතරට

වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ යන දෙසොහොයුරන් නිර්මාණය කළ ප්‍රේමය නම් සිනමා කෘතිය හත්වැනි චිකාගෝ දකුණු ආසියානු සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය තේරීමේ අංශයට තේරී පත් විය. රටවල් අටක සිනමාපට අටක් ප්‍රේමය නම් සඳහා තරඟ වදියි.

සමනලී ෆොන්සේකා, ශ්‍යාමි ප්‍රනාන්දු සහ සුරංගා රණවක ප්‍රේමය නම් හි ප්‍රධාන චරිත මවන ලදී.


පින්කමට ජාත්‍යන්තර සම්මාන

අතුල පීරිස් විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ පින්කම ඒකාංගික නාට්‍ය ඉන්දුනීසියාවේ ඒ. බී. යූ. ප්‍රයිසස් අන්තර් ජාතික ටෙලිවිෂන් සම්මාන උලෙළේ අවසන් වටය සඳහා තේරී පත් විය. ඒ සඳහා ජර්මනිය, ඉරානය, වියට්නාමය ආදී රටවල්වලින් ද නිර්මාණ නියෝජනය වෙමින් තිබේ. පිංකම නාට්‍ය සඳහා ජයලත් මනෝරත්න, ජයනි සේනානායක, චන්දන ඉරුගල් බණ්ඩාර සහ අසදි සෙව්මිණි රංගනාථ රංගනයෙන් දායක විය. නවරත්න ගමගේ ගේ සංගීත අධ්‍යක්ෂණයකි. ආලෝකකරණයෙන් සෝමරත්න පෙරේරා සහ කැමරාකරණයෙන් රෝහණ සමරවීර දායක විය.


කොරියානු සිනමා උලෙළ 14 දා සිට තරංගනී ශාලාවේදී

කොරියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සහ කොරියානු පදනම සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් සංවිධාන කළ කොරියනු සිනමා උලෙළ මෙම මස 14 සිට 17 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. උලෙළේ චිත්‍රපට තිරගත වන පිළිවෙල මෙස්ය.

14 වැනිදා සවස 7 ට ලී ජෝන්ග්පිල් අධ්‍යක්ෂණය කළ බොර්න්ටු සිංග් සිනමාපටය තිරගතවීමෙන් උලෙළ ඇරැඹේ.

15 වැනිදා සවස 2 කිම් සුන්ග් හෝ අධ්‍යක්ෂණය කළ හවුටු සිටිල් අ ඩෝග්, එදින සවස 5.30 ට චෝයොන්ග් සුන්ද අධ්‍යක්ෂණය කළ නෝ බ්‍රීතිගේ.

16 වැනිදා සවස 2 ට කිම් සුන්ග් හෝ අධ්‍යක්ෂණය කළ හවුටු ස්ටීල් අ ඩෝග්, එදින සවස 5.30 ට ලිමි චාත් සැන්ග් අධ්‍යක්ෂණය කළ මයි ලව් මයි බ්‍රයිඩ්.

17 වැනිදා සවස 5.30 ට ලී ජොන්ග් පිල් අධ්‍යක්ෂණය කළ බෝර්න් ටු සින්ග්


සයපෙති කුසුම 21 දා පිපෙයි

ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් මහත් ආන්දෝලනාත්මක සිනමා කෘතියක් වන සයපෙති කුසුම (Frangipani) ළඟදීම තිරගතවිමට නියමිතය. අසම්මත ආදරයක් වටා ගොඩ නැගී ඇති කතා පුවතක් ඔස්සේ නිර්මාණය වී ඇති සයපෙති කුසුමහි තිර පිටපත,නිෂ්පාදනය, අධ්‍යක්ෂණය විසාකේස චන්ද්‍රසේකරගෙනි. දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි, යශෝදා රසඳුනි, භූමි හරේන්ද්‍රන්, රුවන් මලිත් පීරිස්, කුමුදු කුමාරසිංහ, ගංගා ජීවනි වැලිවත්ත, අන්ජන ප්‍රේමරත්න, නිශාන්ත ලෝරන්ස්, නිල්මිණි බුවනෙක ආදී නළු නිළියන් මෙහි චරිත මවති. කුලරුවන් ගමගේගේ කැමරා අධ්‍යක්ෂණයකි. සිතුම් සමරජීවගේ සංස්කරණයකි, ප්‍රියන්ත එස්. වන්නිනායකගේ අංග රචනයකි, ෂර්ලි සමරසිංහ නිෂ්පාදන කළමනාකරුය, ජානක සිසිර කුමාර සහාය අධ්‍යක්ෂණයෙන් ද, ශාන්ත පීරිස් සංගීත අධක්ෂණයෙන් ද මෙයට දායක වී ඇත. ගීත රචනා සහ ගී තනු නිර්මාණ විසාකේස චන්ද්‍රසේකරම්ගෙනි. සයපෙති කුසුම සුනිල් ටී. බෙදාහැරීමකි.


හර්ෂගේ දෙවැනි චිත්‍රපටය Face to Face හි වැඩ ඇරැඹේ

හර්ෂ උඩකන්ද සිය දෙවැනි නිර්මාණය සඳහා සූදානම් වෙයි. Face to Face ලෙස නම් තබා ඇති මෙහි ආරම්භය සනිටුහන් කරමින් පසුගිය 04 වැනිදා බෙල්ලන්විල විහාරස්ථානයේදී මුහුරත් උත්සවය පවත්වනු ලැබුවා.

ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් රණවන, දිනෙත් ද සිල්වා, ඕෂදී හිමාෂා, ෂෙහානි පෙරේරා (හඳුන්වා දෙන), ඩී. බී. ගංගොඩතැන්න, අමිල කරුණාරත්න, රොහානි වීරසිංහ, රජිත හිරාන් චාමිකර, අශිකා මතසිංහ, කුමාර රණේපුර, ජයන්ත ගලගෙදර, විල්මන් සිරිමාන්න, අසංක දේවමිත්‍ර, චන්දු ඉඹුලාන, කුමාර වඳුරැස්ස, ජයතිස්ස අතුලසිරි ඇතුළු නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වන අතර කැමරාකරණයෙන් මහේෂ් කරුණාරත්න ද, අංග රචනයෙන් රුක්මන් තිලකරත්න ද, සටන් අධ්‍යක්ෂණයෙන් සමන්ත මායාදුන්න ද, නර්තන අධ්‍යක්ෂණයෙන් මල්ෂා රවිහාරි ද, නිෂ්පාදන කළමනාකරණයෙන් ලලිත් නවරත්න ද එක් වෙති. නිරෝෂන් ඩ්‍රීම්ස් සංගීත අධ්‍යක්ෂවරයාය. තිවංක අමරසිරි සංස්කරණයෙන් ද, නිරෝෂන් එදිරිමාන්න සහාය අධ්‍යක්ෂණයෙන් ද එක් වෙයි. මෙය ෂර්මාල් ඩිල්ෂාන් සහ සහන් අබේවර්ධන ගේ නිෂ්පාදනයකි.


‘ආවර්ජනා’ තුළින් මෙවර එඩ්නා

සෑම මසකම පොහොය දින රාත්‍රී 7 ට සිටි හිට්ස් චන්ද්‍රිකා නාළිකාවේ විකාශය වන ආවර්ජනා වැඩසටහන මෙවර වෙන් වනුයේ රංග ශිල්පිනී, ඡ්‍යොතිර්වේදිනී එඩ්නා සුගතපාල වෙනුවෙනි. ආවර්ජනා මෙරට කලාකරුවන්ගේ චරිතාපදානයන් අළලා නිර්මාණය වූ වැඩසටහනකි.