වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




අද ක්ෂේත්‍රයේ ඉන්නේ පැරිෂුට්කාරයෝ

අද ක්ෂේත්‍රයේ ඉන්නේ පැරිෂුට්කාරයෝ

‘මායා’ චිත්‍රපටයේ මාලන්ගේ මිතුරකු වූ සුගත් ජානක

කාලෙකට පස්සේ සුගත් ජානක චිත්‍රපටයක කැපී පෙනෙන චරිතයක් කරනවා. ඒ මේ දිනවල තිරගත වන 'මායා' චිත්‍රපටයේ. පුබුදු චතුරංගගේ යාළුවකු හැටියටයි සුගා මෙහි රංගනයේ යෙදෙන්නේ. මායා නරඹපු බොහෝ දෙනෙක් කියන්නේ සුගත්ව පළමු වතාවට චිත්‍රපටයකින් වැඩිපුරම දැක්කා කියන දේ. අපිත් එය විශ්වාස කරන කරුණක්. ඒ මන්ද යත් සුගත්ට තම රංගන කෞශල්‍ය එළි දක්වන්නට රිදී තිරයේ අවස්ථා ලැබුණා අඩුයි. මේ හේතුවෙන් මායා තිරගත වෙන්නට පටන් ගත්තු දා ඉඳලා සුගත්ට ඉහළ ප්‍රතිචාර ලැබෙනවාලු.

එහෙම නේද සුගත්?

අනිවාර්යයෙන්ම. මායා එකේ ට්‍රේලර් එකේ මං ඉන්නවා. ඒකත් එක හේතුවක් ප්‍රතිචාර වැඩිවෙන්න. ට්‍රේලර් එකේ මං ඉන්නවා දැකලා මටම වෙන් වෙච්ච රසික රසිකාවන් 'මායා' බලන්න ගිහින්. ඔවුන් මාව දැකපු වෙලාවේ ඉඳලා කෝල් කරනවා ඉවරයක් නැහැ.

කවුද ඔබට මායා සඳහා ආරාධනා කළේ?

ඩොනල්ඩ් ජයන්ත අයියා තමයි මට කතා කළේ. ඔහුට මා මේ වෙලාවේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

මාගේ මතකය නිවැරිදි නම් ඔබ මේ සිනමාපටයේ කැපී පෙනෙන දිගු චරිතයක් රඟපාන මුල්ම අවස්ථාව?

පුංචි නිවැරිදි කිරිමක් කරන්න ඕනෑ. 'බොම්බෙ වෙල්වට්' සිනමාපටයේ මං දිගු චරිතයක් කළා. ඒ රන්වීර් කපූර්ගේ යාළුවකු හැටියට. ඒ චරිතයේ නම මස්තාන්. ඒත් ඔබ කිව්වා වගේ සිංහල චිත්‍රපටයක නම් මා මේ හොඳ චරිතයක් කරන මුල්ම අවස්්ථාව.

ඇයි සුගත්ට මෙච්චර කල් දිග චරිතයක් නොලැබුණේ?

අධ්‍යක්ෂවරුන් මට අනන්තවත් කතා කරනවා. නමුත් ඇතැම් සහාය අධ්‍යක්ෂවරුන් ඉන්නවා නේද ඔවුන් ඔවුන්ගේ යාළුවන්ව ඒ චරිතයට ගන්නවා මාව හලලා. එහෙම අවස්ථා කිහිපයකදීම වුණා.

ඔබට තිබුණනේ අධ්‍යක්ෂවරයාට පැමිණිලි කරන්න?

බොහෝ විට සහාය අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂවරයාගේ සමීප කෙනෙක්. ඒ හින්දා අධ්‍යක්ෂවරයා සහාය අධ්‍යක්ෂවරයා කියන සමහර දේ ගැන අහනවා.

මොන මොන හේතු කියලද ඔබව ඔවුන් ඉවත් කරන්නේ?

සමහරු කියනවා මාව අඳුනන්නේ නැහැ කියලා. ඇතැම් විට මගේ ගාණ කිව්වාම මාව ප්‍රතික්ෂේප කරනවා.

ඒ කියන්නෙ සුගත් හරි ගණන්?

අපොයි නැහැ. ඒත් මට වුණත් යම්කිිසි මිලක් තියෙනවානේ. මා අවුරුදු 17 පුරා මේ කලා ලෝකය ඇතුළේ පොල් ගෑවේ නැහැනෙ. ලොකු කට්ටක් කාලා මං මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට ආවේ. ඉතින් මං මට සරිලන මුදලක් ඉල්ලපුවාම මොකද වෙන්නේ. හැබැයි ඒක අසාධාරණ මුදලක් නෙවෙයි.

මේ ලිපිය කියවන කෙනෙකුට හිතෙන්නට පුළුවන් සුගත් ජානක රඟපාන්නේ සල්ලි බලාගෙන විතරයි කියලා?

කොහෙත්ම නැහැ. හැබැයි මේක මගේ රස්සාව. මං කාල ඇඳලා ඉන්නේ රඟපාලා ලැබෙන මුදලින්. එහෙම කියලා මං මගේ මුදල මෙච්චරයි කියලා අනිවාර්යෙන්ම ඉල්ලා සිටින්නේ නැහැ. ඇතැම් විට යම් යම් හේතු මත මගේ මුදල මං අඩු කරනවා. ඒ නිර්මාණයක මට ලැබෙන චරිතය, දින ගණන සහ නිර්මාණයට අදාල පාර්ශවය මට කතා කරන විදිහත් එක්ක.

ඔබ පෙර සඳහන් කළා ඔබව ඇතැම් සහාය අධ්‍යක්ෂවරුන් හඳුනන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ දහහත් වසර පුරා රඟපෑවත් ඔබව ජනප්‍රිය වෙලා නැහැ?

ඔය ප්‍රශ්නයට මං මෙහෙම පිළිතුරක් දෙන්නම්. අපේ ඇතැම් නවකයෝ දන්නේ නැහැ තමන්ගේ රාජකාරිය. මේ ක්ෂේත්‍රය ඇතුළේ ඉන්නවා පැරිෂුට් කාරයෝ කිහිප දෙනෙක්. ඔවුන් මාව තියා අපේ ඇතැම් ප්‍රවීණයෝ පවා හඳුනන්නේ නැහැ. ඒ වගේම ශිල්පීන්ගේ වටිනාකම දන්නෙත් නැහැ. ඔවුන් තමයි අපිට ඒ විදිහට සලකන්නේ. ඇතැම් සහාය අධ්‍යක්ෂවරු ඉන්නවා අඩුම තරමේ ටෙලි නාට්‍යයක්වත් බලන්නේ නැති. ඉතින් ඔවුන් කොහොමද මාව දන්නේ. මේක මට විතරක් නෙවෙයි ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රවීණයින්ට පවා තියෙනවා.

ඔබ එය වගකීමෙන්ද කියන්නේ?

ඔව්. මේ ළඟදී දවසක එක්තරා ප්‍රවීණ නළුවකුව හඳුනන්නේ නැති කෙනෙක් ඔහුට කියලා 'අයියා උයන කෑම හරි රහයි' කියලා. ඒ නවකයා හිතාගෙන ඉඳලා තියෙන්නේ අර ප්‍රවීණ නළුවා ප්‍රඩක්ෂන්වලට කෑම උයන කෙනෙක් කියලා. ඔහුට ලැජ්ජාවේ බැහැ. ප්‍රවීණයන්ට ඔහොම නම් මං ගැන කවර කතාද, මං ඒ අයට කියනවා ක්ෂේත්‍රය ගැන දන්නේ නැතිනම් ඒ ගැන ක්ලාස් එකකටවත් ගිහින් ඉගෙන ගන්නයි කියලා.

ඔහොම කිව්වට ඔබ කලාව ගැන ක්ලාස් ගිහින් ඉගෙන ගෙන තියෙනවාද?

මං ක්ෂේත්‍රයට ආවේ 1999. එතකොට ශිල්පය හදාරන්න නිසියාකාර තැනක් තිබුණේ නැහැ. මගේ ගුරුවරයා වුණේ මම. ඒ වගේම මට මේ දාහත් වසර ඇතුළත විවිධ චරිත ලැබුණා. මං ලද ජයග්‍රහණ ඒ. ඒ වගේම මට ප්‍රවීණයින් රැසක් එක්ක රඟපාන්න ලැබුණා. මං ඉගෙන ගත්තේ ඔවුන්ගෙන්.

ඇතැම් නව පරපුරේ අය කියනවා ප්‍රවීණයින්ගෙන් ඉගෙන ගන්න බැහැ කියලා?

ඒක අභූත චෝදනාවක්. මං හුඟක් ඉගෙන ගත්තේ ප්‍රවීණයින්ගෙන්. ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න ලේසියි. නවකයෝ එක්ක අමාරුයි.

මායා සිනමාපටයේ රඟපාන්න ගිහින් වේච්ච අමතකම නොවන අත්දැකීම් මොනවාද තියෙන්නේ?

පිට්ටනියක දූවිලි ඇවිස්සෙන දර්ශනයක් තියෙනවා. ඒක කරද්දී ටේක් විස්සකට විතර යන්න වුණා. දූවිලි ඇස්වලට ගිහින් හරිම අමාරුවෙන් හිටියේ. ගෙදර ගිහිල්ලත් ඇස්වලට අමාරුයි.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

අද කලාකරුවන් කුලීකරුවන් බවට පත් වෙලා. ඒ ගැන දුකයි. එහෙම කරන්න එපා කියලා මං අපේම අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මාව මේ ක්ෂේත්‍රයට ගේන්න උදව් කළ සරත් සේනාරත්න මහතාව බොහොම ආදරයෙන් අදටත් මතක් කරන්න කැමැතියි.