|
|
විදෙස් ප්‍රසංගයක ගී ගැයූ මුල්ම ශ්‍රී ලාංකික ගායකයා තාත්තායි
තිස්නව වසරකට පසු තාත්තා පිළිබඳ සී.ටී පුත් පි‍්‍රයන්තගේ සොඳුරු මතකය...හෙළ ජාතියට අභිමානයක් වූ රත්තරං හඬ සී. ටී. The Golden Voice of C. T.
සමාජයේ කාටත් ඔබින විදිහට ඒ ගීත නිර්මාණය වී තිබුණා. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු හතළිහක් වෙන්න ආවත් තවමත් ඒ ගීතවලට මිනිස්සු ප්‍රිය කරනවා. තාත්තා ගොඩක් ගායනා කළේ ගැමි ආරේ ගීත. ඒ වචන පවා හරිම සුන්දරයි. අනං මනං බහුබූත ඒවායේ තිබුණේ නෑ. ඒවා කවදාවත් මැකෙන්නේ නෑ මිනිස්සුන්ගේ හිත්වලින්.
The Golden Voice of C.T. ‘රත්තරං හඬක් හිමි ගායකයා’ ලෙස එදා ගී ලොව බුහුමනට පාත්‍ර වූ අපේ ගායන ශිල්පියා අනෙකෙකු නොව සී. ටී. ප්‍රනාන්දුය. සැබැවින්ම සී. ටී. යන අකුරු දෙක සමඟින් අපට සිහිපත් වන්නේ හෙළ ගී ලොවට අභිමානයක් වූ අමරණීය ගායකයකු පිළිබඳ අපූර්ව මතකයයි. එදා දුගී පැල්පතේ සිට රජ මැදුර දක්වා රැව් දුන් සී. ටී. ගී හඬ ඔහුගේ වියෝවින් තිස් නව වසරක් ගෙවෙන මේ යුගයේ පවා ජනප්‍රියත්වයෙන් හීන වී නැත. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව සංගීත ක්ෂේත්‍රයට පිවිසි 40 දශකයේදීම සී. ටී. ගේ ආගමනය සිදුවීම විශේෂත්වයකි. ඒ 1947 වසරේදීය. ‘පින් සිදු වෙන්නේ’ ඔහු ගැයූ මුල්ම ගීතය වේ. ගැමි සුන්දරත්වය, සොබා දහමේ අසිරිය, ළමා ලොවේ විචිත්‍රත්වය, දේශයේ අභිමානය පිළිබඳ ඔහු ගැයූ ගී බාල, තරුණ, මහලු කා අතරත් එකසේ ජනප්‍රිය වූ බව නොරහසකි. සී. ටී. ගී ආර එසේ ජනකාන්ත බවට පත් වූයේ සරල, සුගම බස් වහරත්, ඊට නිර්මිත හෘදය සංවේදී තනු හා සංගීත රචනාත් නිසා බව කාගේත් පිළිගැනීමය. 1921 ජනවාරි 28 වැනිදා උපන් සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු මෙලොවින් සමු ගත්තේ 1977 ඔක්තෝබර් 17 වැනිදාය. ඒ වන විට සී. ටී. ගේ වයස අවුරුදු පණස් තුනකි. ඉන් පුරා තිස් වසරක් ඔහු සිය නිර්මාණශීලී දායකත්වය පුද කළේ මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙනි. සී. ටී ගී හඬ, එම ගී ආර එතැන් පටන් ඉදිරියට ගෙන ගියේ ඔහුගේ එකම පුතණුවන් වූ ප්‍රියන්ත ප්‍රනාන්දුය. ‘බිළිඳා නැළවේ උකුලේ’ යන අතිශය ජනප්‍රිය ගීතය එදා සී. ටී. ගායනා කළේ ප්‍රියන්ත පුතු වෙනුවෙනි. ගායක පුත් පරම්පරාවේ පුරෝගාමියා සේ සැළකෙන ප්‍රියන්ත සිය පියාණන්ගේ හඬ උපතින්ම හිමි කරගත්, එකී ගායනයන්ට උපරිම සාධාරණත්වයක් ඉටු කළ ගායකයෙකි. අද ඔහු මෙසේ ‘සරසවිය’ හා එක්වන්නේ තම ආදරණීය පියාණන් පිළිබඳ අතීත මතකයන් අවධි කරන්නටය... පුංචිම කාලේ කොහොමද තාත්තා ගැන තියෙන මතකය? තාත්තාගේ කාමරේට වෙලා එයා සිංදු හදනවා. ඒක තමයි එයාගේ වැඩේ. කන, බොන වෙලාවවත් තාත්තට මතක නෑ සිංදු හදන්න ගියාම. එතකොට ප්‍රියන්ත අයියට වයස කීයක් විතර ඇතිද? අපෝ් මට වයස අවුරුදු එකොළහක් විතර ඇති. මට හොඳට මතකයි ඒ අතීතය. තාත්තාට පියානෝ එක වාදනය කරන්න පුළුවන්. ඒ වගේම හවායින් ගිටාර් එකත් Play කළා. ඒක වාදනය කරමින් තමයි තාත්තා ටියුන්ස් හදන්නේ. තාත්තා හදපු ගොඩක් තනුවල බටහිර සංගීත ශෛලිය පෙනෙන්නට තිබෙනවා? තාත්තා ඉගෙන ගත්තේ නාවලපිටියේ සෙන්ට් මේරිස් කොලේ්ජ් එකේ. ඒකේ චර්ච් ක්වාය(ර්) එකේ තාත්තා සිංදු කිව්වා. ඒ ආභාෂය තමයි එයාට හුඟක්ම ලැබෙන්න ඇත්තේ. හැබැයි තාත්තා ගායනා කරපු ගීත බොහොමයක්ම අපේ ගැමි ජීවිතය ගැන නිර්මාණය කරපුවා. ඒවායේ ‘අපේකම’ තිබුණා කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. නිතරම කලාකාරයෝ එන්න යන්න ඇති ඒ දවස්වල ගෙදරට නේද? අපායි ඔව්. එතකොට අපි හිටියේ මේ ගෙදර නෙවෙයි. දෙහිවල සෙන්ට්‍රල් කොලේජ් එක ළඟ කුලී ගෙදරක. ගොඩක් කලාකාරයෝ එනවා තාත්තා මුණ ගැහෙන්න ඒ දවස්වල. කවුද වැඩිපුර ආවේ ගියේ? හුඟක්ම ඇසුරු කළේ ඔය එම්. එස්, ජෝති, මිල්ටන් වගේ අය. ඒ කාලේ හිටිය ඔක්කොම ගායකයෝ තාත්තාගේ යහළුවෝ. තාත්තා අරයගේ, මෙයාගේ වැරදි අඩුපාඩු හොයන්න ගිය කෙනෙක් නෙවෙයි කියලා මම අහලා තියෙනවා. ඒ නිසා කා අතරත් එයා ජනප්‍රියලු. තාත්තා හොඳ රසවතෙක්. ‘මී වදයකි ජීවිතේ’ ‘පරවුණු මල්’ වගේ ගීතවල ඒ රසය උතුරා යනවා. ඒ කාලේ හිටපු බොහෝ කලාකාරයෝ මධුවිතත් එක්ක සමීප සබඳතාවක් තිබුණා? තාත්තා එහෙම බේබදු විදිහට බිව්වේ නෑ. සාමාන්‍යයෙන් Drink එකක් දාගන්නවා ඉතින්. නැතිනම් ඔය කූල් බියර් එකක් වගේ බොන්න තමයි එයා කැමැති. සිගරටුත් තාත්තා පාවිච්චි කළා. කොහොම වුණත් සී. ටී. කියන්නේ ආදර්ශවත් සැමියෙක් වගේම හොඳ පියෙක්?
ඒක නම් ඇත්ත. මගේ අම්මයි, තාත්තයි ගොඩක් සමගියෙන්, සාමයෙන් ජිවත් වුණ පවුලක්. එකම
දරුවා මමනේ. තාත්තා මටත් ගොඩක් ආදරෙයි. ඒත් ඒක පිටට පෙන්නුුවේ නෑ. අම්මටයි, පුතාටයි දෙන්නටම සී. ටී. ගී ගයලා තියෙනවා? ඔව්. තාත්තා, අම්මා වෙනුවෙන් ගායනා කළේ ‘සමන් කැකුළු අතුරලා - දිවියෙ යහන සරසලා’ කියන ගීතය. ඒ ගීතය රචනා කරලා තියෙන්නේ රත්නසේන ඩයස් කියලා ගීත රචකයෙක්. එතකොට ‘බිළිඳා නැළවේ උකුලේ’ ගීතය තමයි තාත්තා මා වෙනුවෙන් ගයනා කළේ. ඒ ගීතයේ රචකයා ඇලන්සන් පියදාස. මේ ගීත දෙකේම තනු නිර්මාණය තාත්තාගේ. බටහිර ගී තනු කොපි කරලා තමයි සී.ටී. මෙලඩි හැදුවේ කියලා ඒ කාලේ සමහරු කිව්වා නේද? නෑ... නෑ... තාත්තා කවදාවත් බටහිර ගීත කොපි කරලා සිංදු හැදුවෙත් නෑ. කිව්වෙත් නෑ. ඔහුගේ ගීත හැම එකක්ම ස්වතන්ත්‍ර නිර්මාණ. නමුත් තාත්තගේ ‘පියුමෙහි පැණි බොති වන බඹරු’ කියන ගීතය කොපි කරලා තිබුණා බහමාස්වල සංගීත කණ්ඩායමක්. ඒ මෙලඩි එකත් අපි ගාව තියෙනවා. ඒ කාලේ අපි එයාලට විරුද්ධව නඩු පවරන්න බැලුවා. නමුත් බහමාස්වල එම්බසියක් ලංකාවේ තිබුණේ නැති නිසා ඒ අදහස අත්හැර දැම්මා. තාත්තා තනු නිර්මාණය කළ ගීත සංගීතවත් කළේ පැට්‍රික් දෙනිපිටිය? තාත්තාගේ මෙලඩීස්වලට මියුසික් කළේ පැට්‍රික් දෙනිපිටිය. ඔහුත්, තාත්තාත් අතරේ හොඳ මිත්‍රත්වයක් තිබුණා. සමාජයේ සෑම තරාතිරමක අය සී. ටී. ගේ ගීතවලට ප්‍රිය කළා. ප්‍රියන්ත අයියා දකින විදිහට මොකක්ද ඒකට හේතුව? සමාජයේ කාටත් ඔබින විදිහට ඒ ගීත නිර්මාණය වී තිබුණා. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු හතළිහක් වෙන්න ආවත් තවමත් ඒ ගීතවලට මිනිස්සු ප්‍රිය කරනවා. තාත්තා ගොඩක් ගායනා කළේ ගැමි ආරේ ගීත. ඒ වචන පවා හරිම සුන්දරයි. අනං මනං බහුබූත ඒවායේ තිබුණේ නෑ. ඒවා කවදාවත් මැකෙන්නේ නෑ මිනිස්සුන්ගේ හිත්වලින්. සුන්දර වගේම ඒ ගී පදවැල් හරිම අරුත්බරයි? දැන් එහෙම ලියන්න කවුරුවත් නෑනේ. කරුණාරත්න අබේසේකර තමයි තාත්තට වැඩිපුරම ගීත ලිව්වේ. එතකොට ඇලන්සන් පියදාස, සරත් විමලවීර, සුසිල් සේනාධීර, ආර්. එන්. එච්. පෙරේරා, හර්බට් සෙනෙවිරත්න, ලලිත් එස්. මෛත්‍රීපාල වගේ ගීත රචකයන් තමයි එදා තාත්තා වෙනුවෙන් ගීත රචනා කළේ. තාත්තාගේ සුවිශේෂ ගුණාංග හැටියට මේ වෙලාවේ ඔබට සිහිපත් වෙන්නේ? තාත්තා පොඩි ළමයෙක් වගේ තමයි ඉතිං. කිසි කලබලේකුත් නෑ. තාත්තා කාමරේට වෙලා සිංදු හැදුවට අපට ඇහෙන්න ඒවා ගායනා කරන්නෙත් නෑ. ඔය උත්සව අවස්ථාවක තමයි අපි තාත්තා ගීත ගායනා කරනවා අහන්නේ දකින්නේ. ප්‍රියන්ත අයියාව Show වලට එහෙම එක්කරගෙන යනවද ඒ කාලේ? පංගුවක් ඒවාට එක්කරගෙන යනවා මාව. කොහොමද තාත්තාට ලැබුණ රසික ප්‍රතිචාර? අම්මේ... ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ඒ කාලේ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහත්තයා ප්‍රසංග වගයක් සංවිධානය කළා. ‘C.t. සූරිය Show’ කියලා. මොනවද ඉතින් එල්විස් ප්‍රෙස්ලි වේදිකාවට නැග්ගා වගේ තමයි. මල් මාලා දාලා, විසිල් ගහලා තාත්තාව රසිකයෝ පිළිගත්තේ. තාත්තා ගීත ගායනා කරනකොට ඊටම ගැළපෙන රංගන, නර්තන විලාසයකුත් යොදා ගත්තා? ඔව්. ස්ටේජ් එකේ සිංදු කියන කොට එයා ඒ රිද්මයත් එක්ක මුහු වෙනවා. වේදිකාවේ එහාට, මෙහාට ගිහින් තමයි ඒ ගීත ගායනා කළේ. තාත්තා ගී ගයන කොට එහි ප්‍රාසාංගික බවක් තිබුණා. ගීත ගායනයේදී ඔබත් අනුගමනය කළේ ඒ පිළිවෙත? ඔව්. එතකොට සී. ටී. කියන්නේ ගායකයෙක් විතරක් නෙවෙයි. ඔහු සිනමා නළුවෙක්? මම දන්න තරමින් තාත්තා මුලින්ම රඟපෑවේත්, ගීතයක් ගායනා කළේත් ‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයට. ඇත්තටම ඒක ගීතයක් නෙවේ. ‘හිමේ සමන් දෙවි පිහිටෙන්’ කියන විරිදු ගායනය. ඇන්ජලින් ද ලැනරෝල් තමයි ඊට ගායනයෙන් සහාය වුණේ. ඒ කියන්නේ ඇන්ජලින් ගුණතිලක.ඊට පස්සේ තාත්තා ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ මඟුල් කපුවා හැටියට රඟපෑවා. ‘පාරාවළලු ‘ සහ ‘නිම් වළල්්ල’ චිත්‍රපටවලත් එයා රඟපෑවා. ඒ වගේම චිත්‍රපට පසුබිම් ගායනයෙන් තවත් චිත්‍රපට කිහිපයකටම සී. ටී. දායක වුණා? සාරවිට, සඳ නැඟ එද්දී, නිම්වළල්ල, පේනවා නේද, මොකද වුණේ, කවුද හරි, පෙම් කුරුල්ලෝ වගේ චිත්‍රපටවල තාත්තා ගීත ගැයුවා. ඒ අතරින් ඔහු ‘කවුද හරි’ චිත්‍රපටයට ගායනා කළ ‘මී වදයකි ජීවතේ’ සහ ‘පෙම් කුරුල්ලෝ’ චිත්‍රපටයට ගැයූ ‘මී අඹ වනයේ’ ගීත අදටත් රසිකයන් අතරේ ගොඩක් ජනප්‍රියයි. තාත්තාගේ ගීත අතරින් ඔබ වඩාත් කැමැති ගී මොනවාද? එහෙම විශේෂයක් නෑ. තාත්තාගේ හැම ගීතයකටම වගේ මම කැමැතියි. මම හිතන්නේ මුල්වරට විදෙස් සංචාරයක නියැළුණු ශ්‍රී ලාංකික ගායන ශිල්පියාත් සී. ටී? ඔව්. එංගලන්තයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සංගීත ප්‍රසංගයකට සහභාගි වූ ප්‍රථම ගායකයා මගේ තාත්තා. පැට්‍රික් දෙනිපිටිය එක්ක තමයි තාත්තා ඒ විදෙස් සංචාරයට එක් වුණේ. එක්සත් රාජධානියේ ඒ කාලේ හිටපු සිංහල රසික, රසිකාවියන්ගේ ආරාධනය අනුව තාත්තා එහෙදි ඒක පුද්ගල ගී ප්‍රසංග කිහිපයකුත් පවත්වා තිබෙනවා. ඔබ ගායනය පැත්තට යොමු වෙනවාට තාත්තාගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ? ඇත්තටම තාත්තා කැමැති වුණේ නෑ මම සිංදු කියනවාට. ඒ කියන්නේ ඒක රැකියාව කර ගන්නවාට. එයාට ඕනෑ වුණේ මාව වෙනත් ක්ෂේත්‍රයකින් ඉදිරියට යවන්න. මොකද තාත්තාත් කොළඹ කච්චේරියේ ලිපිකරුවෙක් හැටියට සේවය කරන ගමන්නේ සිංදු කිව්වේ. ඔබ පූර්ණ වශයෙන් වෘත්තීය ගායනයට පිවිසෙන්නේ තාත්තා මිය ගියාට පස්සේ? ඔව්. තාත්තා නැති වුණේ 77 දීනේ. මම ගායනයට පිවිසියේ 1980 දී පමණ. තාත්තා මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා දැකලා නෑ. දවසක් මම හොරෙන් සිංදු කිව්වා සංගීත සංදර්ශනයක. එවලේ තාත්තා හිටියේ පිටරට. තාත්තාට ඒක ආරංචි වෙලා තිබුණා. මොකද කිව්වේ? මොනවත් කිව්වේ නෑ. ඉතිං තාත්තා මිය ගියාට පස්සේ මගේ අම්මා තමයි තාත්තාගේ නම ගෙනියන්න ඕනෑ කියලා මාව දිරිමත් කරලා ක්ෂේත්‍රයේ ඉදිරියට යැව්වේ. ගායක පුත් පරම්පරාවේ ආරම්භකයාත් ඔබ? ඔව්. හැමෝම මට කියන්නේ ‘ලොකු අයියා’ කියලා. ඇත්තටම ඒ පරපුරේ ජ්‍යෙෂ්ඨයා මමයි. හැමෝම මට ආදරෙයි. ප්‍රසංග වේදිකාවේ අදටත් වැඩිපුරම රසිකයෝ ඉල්ලන තාත්තාගේ ජනප්‍රිය ගීත මොනවාද? වේග රිද්මයේ ගීත. අපි කියන්නේ අර නැගලා යන ගීත කියලා. ඒවා තමයි ඉල්ලන්නේ. සිහින ලොවේ, මී වදයකි , මගෙ සුදු මාමේ, පරවුණු මල් වගේ ගීත. කොහොම වුණත් තාත්තාගේ හැම ගීතයක්ම වගේ අදත් ජනප්‍රියයි. ඒ හැම ගීතයක්ම වාගේ මමත් ගායනා කර තිබෙනවා. අද ආපසු හැරී බලද්දී තාත්තාගේ හැකියාවන් ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම තාත්තා අපේ ගීත ලෝකයේ පුරාවෘතයක්. පැරැණි අය වගේම අද පරපුරත් තාත්තාගේ ගීතවලට එකවගේ කැමතියි. මං හිතන්නේ තාත්තාගේ තිබුණු සුවිශේෂ නිර්මාණ කෞශල්‍ය සහ කටහඬ ඔහුටම අනන්‍ය වූ දෙයක්. ඔහු මේ රටේ අලුත් ගී ආරක් බිහි කළා. ඒ ගී වගේම සී.ටී හඬත් සදා අමරණීයයි.
|



