|
|
මන්ත්‍රීවරු නළුවන් කළ ගාමිණි
මාතර ඡන්ද සටනේ සියලුම ප්‍රචාරක කටයුතු අඳුර වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී අවසන් කරන්නැයි වැඩිහිටි යූ. ඇන්. පී. පාක්ෂිකයෝ ගාමිණි ෆොන්සේකා නම් ඡන්ද අපේක්ෂකයාට කොතෙක් අවාද කර තිබුණත් ඔහු නොවේ ඒ වචන තුට්ටුවකටවත් මායිම් කළේ. මාතර දිස්ත්‍රික්කයට අයත් ආසනවල අතුරු පාරවල තමා විසින්ම රථය පදවාගෙන ගිය ඔහු 'පොකට් මීටින්' තිබූ තැන්වලදී ජීප් රථයේ බොනට්ටුවට නැඟී වේගවත්ව කරන කතා ඇසීමට විශාල ජනතාවක් රොද බැඳ ගත්හ. තමා සමඟ එහි පැමිණි වාහනවල ලයිට් එළියෙන් ඔහු පැයක් පමණ වේලා සිත් ඇද ගන්නා ලෙස කළ කතාවට ජනතාව අත්පොළසන් දී ප්‍රතිචාර දැක් වූහ.
යූ. ඇන්. පී. පාක්ෂිකයන් විසින් සාදනු ලැබූ තමාගේ ප්‍රචාරක වේදිකාවම නොගලවා පසුදා එතැනම පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයකු වූ එච්. ජී. සිරිසේන මහතාගේ රැස්වීමට පරිත්‍යාග කිරීමට තරම් ගාමිණි පරිත්‍යාගශීලී විය. පසුදා ශ්‍රී. ල. නි. ප. රැස්වීම බැලීමට අපි තිදෙනෙක් ගියෙමු. එහි පසු දා තිබූ ගාමිණිගේ රැස්වීමේ එල්ලා තිබූ කොළ පැහැති කොඩි වැල් නොකඩා ඒ අතරින් නිල් කොඩි වැල් ඇද තිබූ අයුරු දුටු මධ්‍යස්ථ ජනතාව එය අගය කළහ. යහ පාලන ලක්ෂණ මා මුල්වරට දුටුවේ මාතර මේ රැස්වීමෙනි. මිල මුදල් හිඟ වෙනත් පක්ෂයක අපේක්ෂයකුට තමාගේ වියදමින් පෝස්ටර්ස් මුද්‍රණය කර දුන් බව මා දන්නේ ඒ කොන්ත්‍රාත්තුව මට පැවරුණු බැවිනි. මේ සියල්ල ඔහු කළේ හුදෙක් සහෝදරත්වය, මිත්‍රත්වය නිසා මිස දෙපැත්ත කන නින්දිත චේතනාවෙන් නොවේ. ඡන්දය පැවැත් වූ දින මාතර පැත්තේ සැරිසැරූ ගාමිණි සවස ගෙදර පැමිණ ඡන්ද ගණන් කරන ස්ථානයට යන නියෝජිතයන්ට උපදෙස් දී සියලු පහසුකම් සලසා දී ගෙදර ගියේ විවේක ගන්නටය. රාත්‍රී 9 යට පමණ අප සමඟ රාත්‍රී කෑම ගත් ඔහු නිදා ගැනීමට සුදානම්ව අප ඇමතීය. අප කිවේ සරත් රූපසිංහට සහ මටය. 'ඔයගොල්ලොත් නිදාගන්න. මේ ටිකේම මහන්සි වුණානේ' 'එතකොට ප්‍රතිඵල අහන්නේ නැද්ද?' මම ඇසීමි. 'උදේට බලමු. මම ටෙලිෆෝන් එකත් අයින් කළා' ගාමිණි අයියා කීය. අපි මහන්සිය නිසා ඇඳේ ඇල වුණෙමු. පසුදා දවල් වනතුරු අපට නින්ද ගොස් තිබුණි.
අපි ගාමිණි අයියා අවදි කළෙමු. මනාප ගණන් කොට ප්‍රතිඵල රූපවාහිනියෙන් ප්‍රචාරය වූ දිනයේ අප සිටි මාතර නිවසේ සෑම තැනකින්ම රතිඥ්ඤා පත්තු විය. ගාමිණි ෆොන්සේකා මාතර දිස්ත්‍රික්කයේ හැම පක්ෂයකම අපේක්ෂකයින් අබිබවා ඡන්ද 19,618 ක් ලබා මුල් තැන දිනා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද විජේසේකර එම පක්ෂයේ ප්‍රමුඛයා ලෙස ලබා තිබුණේ ඡන්ද 18,517 කි. ප්‍රේමදාස මහතාගේ රජයේ මැතිසබයේ නියෝජ්‍ය කථානායක වුයේ ගාමිණි අයියාය. මම ඉඳ හිට පාර්ලිමේන්තුවේ ඔහුගේ නිල කාර්යාලයට ගියෙමි. දහවල් ආහාරයෙන් පසු විනාඩි 10 ක් පමණ ඔහු තම නිල කාමරයේ ඇති හාන්සි පුටුවේ හාන්සි වී දුම්වැටියක් උරමින් විවේකීව සිටී. පැය භාගයකට පසු එම කාමරයට යන සමීපතම පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනෙක් වුහ. මහින්ද රාජපක්ෂ, එච්. ඩී. සිරිසේන, ධර්මසිරි සේනානායක යන ශ්‍රි. ල. නි. පක්ෂ මන්ත්‍රින් හා එ. ජා. පක්ෂයේ ඒ. එච්. එම්. අස්වර්, බුද්ධික කුරුකුලරත්න මේ පිරිසය. ඔවුන් ඇතැම් විට තමන් දැන සිටි 'යාන්ස්' නියෝජ්‍ය කතානායකට කියයි. ඔවුන් උස් හඬින් කරන සිනාහඬ පාලනය කිරීමට ද නියෝජ්‍ය කතානායකට සිදු වෙයි. එතැන සිනා සාගරයකි. එපමණක් නොව ශ්‍රි.ල. නි. පක්ෂයේ වේගවත්ව කතා කරන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බොහෝ 'යාන්ස්' අසා තිබූ නියෝජ්‍ය කථානායකවරයා ඔවුන් රජයට පහර දෙමින් කතා කරන විට ඒ 'යාන්ස්'වල ඇතැම් කොටස් ඔවුන්ට මතක් කරයි. එවිට වේගවත් කථිකයාගේ සැර අඩු වී සිනාසී කතාව සීමා කරයි. නියෝජ්‍ය කථානායකගේ මේ මනෝ විද්‍යාත්මක පාලනය දැන සිටි විපක්ෂ මන්ත්‍රීවරු එම්. එච්. මොහොමඩ් කථානායකවරයා සිටින විට රජයට දිගට හරහට පහර දුන්නේය. ගාමිණි ෆෙන්සේකා නම් සිනමාකරුවා එවකට නිර්මාණය කරමින් සිටි 'නොමියෙන මිනිසුන්' චිත්‍රපටයේ රඟපෑම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනෙකු තෝරා ගත්තේය. මේ ප්‍රවෘත්තිය මුලින්ම මම 'සරසවිය' පුවත්පතින් හෙළි කළෙමි. 'අයිසෙ, තමුසෙටත් හොඳ චරිතයක් තියෙනවා කැතලික් ෆාදර් කෙනෙකුගේ.' ගාමිණි අයියාගේ මේ යෝජනාවට මට හිනා ගියේය. මට මෙවැනිම ආරාධනාවක් ගාමිණි තමා අධ්‍යක්ෂණය කළ 'කොටි වලිගය' චිත්‍රපටයේ රූගත කිරීමක් බලන්නට ගිය අවස්ථාවක කළේය. 'රන්ජිත් ඔයාගේ අත් දෙක එක සීන් එකකට ඕනෑ කරලා තියෙනවා' ඔහු කීවේය. මම අන්ද මන්ද වීමි'. 'ඔව් අයිසේ එක සීන් එකකට. මේ සීන් එකට අද ගීතා කුමාරසිංහ එන්නේ නෑ. මට ඕනේ මේ පුටුවේ ඉඳගෙන මේ 'ප්ලෑන්' එක බලන සීන් එක ගන්න. අත් දෙක විතරයි ගන්නේ' ගාමිණි අයියා නිවසක් ඉදිකරන සැලැස්මක් සහිත ප්ලෑන් එක මා අතට දුන්නේය. කැමරා ශිල්පී වී. වාමදේවන් කැමරාව මා වෙතට එල්ල කළේය. 'ඔය තියෙන්නේ ඔයාගේ අත් දෙක ගීතා ගේ අත් දෙක වගේමයි' ගාමිණි අයියා කැමර කාචයට ඇස තබා කීවේය. 'කොටි වලගය' චිත්‍රපටයේ මංගල දර්ශනය දුටු මට 'අනේ මගේ අත් දෙක ගීතාගේ අත් දෙක වගේම නොවේදැයි' කියා මටම කියා ගතිමි. 'නොමියෙන මිනිසුන්' චිත්‍රපටයේ නියෝජ්‍ය කථානායකවරයාගේ සමීප මිතුරන් වූ මහින්ද රාජපක්ෂ මහතා යුද හමුදා කර්නල්වරයකු ලෙස ද, බුද්ධික කුරුකුලරත්න මහතා කතෝලික පියතුමෙකු ලෙස ද ධර්මසිරි සේනානායක මහතා වැඩිහිටි පියකු ලෙස ද රඟපෑහ. 'ගාමිණි එහෙනං අපිවත් නළුවෝ කළා' එදා සේනානායක මහතා දර්ශන තලයේදී වෙස් ගැන්වීමෙන් පසු ගාමිණිට කීවා මට මතකය. අසූව දසකයේ මැද භාගයේ සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වා මහතා සමඟ මට යාපනේ පලාලි යුද කඳවුරට යාමට අවස්ථාව උදා විය. 'කොටි වලිගය' චිත්‍රපටයේ නිෂ්පාදක පීටර් පෙරේරා, චිත්‍රපට නිළි නදීකා ගුණසේකර හා විජය නන්දසිරිගේ 'කුස පබා' නාට්‍ය කණ්ඩායම ද මේ පිරිසට අයත් වූහ. එකල උතුරේ ආඥාපති වූයේ බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වාය. රත්මලානේ ගුවන් තොටුපළෙන් පිටත් වූ අපි පැයකින් පමණ පලාලි යුද කඳවුරට ළඟා වීමු. එදා උතුරේ තිබුණ තත්ත්වය අනුව අපට දැඩි ආරක්ෂාවක් දෙන ලදී. සරසවිය පුවත්පත 'කුස පබා' වේදිකා ගත කිරිමට අනුග්‍රහය සැපයීය. 'කුස පබා' හැම මට්ටමකම හමුදා නිලධාරින්ගේ පැසසුමට, ප්‍රසාදයට ලක් විය. අපව පලාලි යුධ කඳවුර වටා ගෙන යමින් සෑම බංකරයක්ම පෙන්වීමට භාරව සිටියේ නව යොවුන් වියේ සිටි කර්නල්වරුන් දෙදෙනකු වූ ගෝඨාභය රාජපක්ෂ හා කුලරත්න අත්තනායකටය. පසුව බ්‍රිගේඩියර්වරයකු වූ කුලරත්න ප්‍රවීණ ගායන ශිල්පීනි සුජාතා අත්තනායකගේ සැමියා වූ නවරත්න අත්තනායකගේ සොහොයුරෙකි. ආනන්දයේ අප සමඟ ඉගෙන ගත් ගෝඨාභය එදා මට හමු වූයේ පාසලින් අස් වූ පසුවය. 'ඔයාව මට හොඳට මතකයි, අර නිම්වළල්ල ෆිල්ම් එක කළේ' ගෝඨාභය මගෙන් ඇසීය. 'නිම්වළල්ලට මමත් සම්බන්ධ වෙලා හිටියා' ආනන්දයේ උසස් පෙළ පන්තියේ විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ දක්ෂතා ඇති ශිෂ්‍යයන් 40 ක් පමණ සිටියහ. ක්‍රිකට්, පුට්බෝල්, කැඩෙට් මෙන්ම ඡයාරූප කලාව, සිනමාවට සම්බන්ධ ශිෂ්‍යයෝ වූහ. ඒ නිසා අපි එකට ඉගෙන ගත්තත් විවේක කාලයේදීත්, පාසල ඇරුණු පසුත් ඔවුනොවුන් කැමති අංශවල මිතුරන් හා රොද බැඳ ගත්හ. මා අයත් වූයේ සිනමාවට කැමති ශිෂ්‍ය පිරිසටය. අද සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන් අතලොස්සෙන් ප්‍රමුඛයකු වූ ගත් කතුවර ඇස්. පියසේන (සේනාධීර පියසේන) මහතාගේ පුත්‍රයකු වූ රුවන් සේනාධීරත්, සුදර්ශන් සෙනෙවිරත්නත් මගේ පාසල් මිත්‍රයෝ වූහ. මා 'සරසවිය' පුවත්පතේ කතුවරයා වන විට ලේක්හවුසියේ ප්‍රධාන පුස්තකාලයාධිපති වූයේ රුවන් සේනාධීරය. නියෝජ්‍ය පුස්තකාලයාධිපති වූයේ අප පන්තියේම සිටි කේ. ජී එල්. චන්ද්‍රසේනය. පුදුමය නම් මහජන සම්බන්ධතා කළමනාකරු වූයේ අප පන්තියේම සිටි ෂෙල්ටන් ධර්මරත්නය. අප පන්තියේ සිටි දෙදෙනෙක් පසුව මහාචාර්යවරුන් වූහ. සුදර්ශන් සෙනෙවිරත්න ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වී පසුව ඉන්දියාවේ ශ්‍රී ලකා මහා කොමසාරිස්වරයා විය. අනික් පන්ති සගයා මහාචාර්ය කේ. පී. සිද්ධිසේනය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු විය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්. පියසේන මහතා ලංකාදීප පත්‍රයට ලියන 'ආවර්ජනා' නම් තීරු ලිපි මාලවේ 2014 අප්‍රේල් 11 වෙනිදා ලියූ 'ඉබේ මතුවුණු දිල්ලි සිතුවිලි' නම් ලිපිය කියවීමෙන් පසු මගේ එකල මතකය අලුත් කළේය. ඒ ලිපිය පියසේන මහතා විසින් ලියා තිබුණේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න නමැති සුවිශේෂ පුද්ගලයා සතු ඉන්දු - ලංකා සම්බන්ධකම් පිළිබඳ ඇති පුළුල් දනුම් සම්භාරය පෙන්වා දීමට හැඳින්වීමක් වශයෙනි. එහි මෙසේ ද සඳහන් වී තිබුණි. 'ආනන්දයේ අධ්‍යාපනය ලැබූ සුදර්ශන් සෙනෙවිරත්නගේ පන්ති සගයන් වූයේ ගෝඨාභය රාජපක්ෂ, රුවන් සේනාධීර, ඒ. ඩී. රන්ජිත් කුමාර, සරත් ප්‍රේමතිලක (ක්‍රීඩා පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ) හා ලක්ෂ්මන් ඩයස් (ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පි, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ලකී ඩයස්) ය. ආනන්දයේ මුදුන් පෙත්තටම නැග ගත් සුදර්ශන් සෙනෙවිරත්න අබිමානවත් 'ෆ්‍රිට්ස්කුන්ස්' සම්මානයට ද හිමිකම් කීෙවිය. එය ආනන්දයේ විශිෂ්ටතම සම්මානයයි. සුදර්ශන හා රුවන් උසස් අධ්‍යාපනය සඳහා ගියේ දිල්ලි විශ්වවිද්‍යාලයටය. |



ප්‍රචාරක රැළිය අවසන් වූ පසු ඡන්දදායකයන් හා සුහද පිළිසඳරක යෙදී ගාමිණි නැවත නිවෙස
බලා එන්නේ මහ රෑය. තමා සමඟ පැමිණි පිරිස මාතර තානායමේ රාත්‍රී කෑමට පිටත් කරන ඔහු
බන්සො ජයා සහ මා සමඟ ආහාර ගන්නේ කොළඹින් ගෙන ආ ආහාර සමඟය. සරත් රූපසිංහගේ බිරිය
මානෙල් හා මගේ බිරිය සකස් කර එවන ලද මාළු ඇඹුල් තියල්, සීනි සම්බෝල, පොළොස් ඇඹුල,
වම්බොටු මෝජුව කෑමට ගාමිණි කැමැතිය.
ගෙදරට පැමිණි විශාල පිරිසකඟේ ඝෝෂාවකින් අපි අවදි වීමු.