වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

‘මායා’ චිත්‍රපටයේ රන්ජන්ගේ රඟපෑම් හොඳයිද?

පාණදුර ගඟුලේ රත්නසිරි අමරසේකර
ප්‍රශ්නය - දෙබස් කැවූ 'නාගචම්පා' චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ නළු නිළියන් කවුද?
පිළිතුර -
මන්හාර් දේසායි, නිරූපා රෝයි, ලලිතා පවර් මෙහි ප්‍රධාන චරිත රඟපෑවා.

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්
ප්‍රශ්නය - එඩ්වඩ් ජයකොඩි ගයන 'ඔබ තෙමෙයි කියා බයයි' ගීතය කාගේ පද රචනයක්ද?
පිළිතුර -
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ රචනයක්.

අම්බලංගොඩ කෙරමිණියේ චන්ද්‍රසිරි මානවඩු
ප්‍රශ්නය - අශෝක පොන්නම්පෙරුම මුලින්ම රඟපෑවේ 'සුනීතා' චිත්‍රපටයේ බව ඔබ කියා තිබුණා. ඒත් ඔහු මුලින්ම රඟපෑවේ 'ගංතෙර' චිත්‍රපටයේ නේද?
පිළිතුර-
නැහැ චන්ද්‍රසිරි මා නිවැරදියි. අශෝක පී. නීලකන්ටන් නමැති දෙමළ අධ්‍යක්ෂවරයාගේ තෝරා ගැනීමක්. අශෝක ඔහු වෙත යොමු කළේ එල්. එම්. පෙරේරා.

කෑගල්ලේ තටාකය පාරේ තිලකරත්න විල්වල, මැණිකේ විල්වල
ප්‍රශ්නය - ක්ලැරිස් ද සිල්වා මුලින්ම රඟපෑ චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
උමතු විශ්වාසය.

හික්කඩුවේ සීනිගම ඊ. දයානන්ද ද සිල්වා
ප්‍රශ්නය - 'දුප්පතාගේ හිතවතා', 'ටිකිරා' යන චිත්‍රපටවල රඟපෑ බල්ලා බැප්ටිස්ට් ප්‍රනාන්දුගේ නිවසේ ඇති දැඩි වූ පෞද්ගලික බල්ලෙක්ද?
පිළිතුර -
බල්ලා කාගෙද කියලා කියන්න නම් මං දන්නේ නැහැ.

රාගම වැලිසර රේචල් සෝවිස්
ප්‍රශ්නය - 'සරසවිය' හැරුණු කොට සෙසු සිනමා පුවත්පත් දීර්ඝ කාලයක් නොපැවතුණේ ඇයි?
පිළිතුර -
ප්‍රධානම ප්‍රශ්නය නිසි බෙදා හැරීමක් නොතිබීම. අනික කාලානුරූපීව වන වෙනස්කම් තේරුම් නොගැනීම.

කළුබෝවිල එල්. එම්. ප්‍රේමසේන පෙරේරා, ඥානා කුමාරි පෙරේරා
ප්‍රශ්නය - 'සරසවිය' සම්මාන උලෙළේ වැඩිම වාර ගණනක් ජනප්‍රිය නළුවා හා නිළිය වුයේ කවුද?
පිළිතුර -
ගාමිණී සහ මාලිනී. ගාමිණී 8 වතාවකුත් මාලිනී 7 වතාවකුත් ජනප්‍රිය කිරුළ දිනාගෙන තිබෙනවා.

මූදුකටුවේ මිල්ටන් ප්‍රනාන්දු
ප්‍රශ්නය - දෙනවක හාමිනේ තවමත් ජීවතුන් අතර ඉන්නවාද?
පිළිතුර -
අපොයි නැහැ මිල්ටන්.

යක්කඩුවේ තිලක් මංචනායක
ප්‍රශ්නය - 'යස ඉසුරු පිරුණු තැනා - සිරි දෙව් දූ සිටින තැනා' ගීතය ඇතුළත් වූයේ 'තාරාවෝ ඉඟිළෙති' නාට්‍යයේ නේද?
පිළිතුර -
නැහැ. ඒක ලුෂන් බුලත්සිංහලගේම 'රතු හැට්ටකාරි' නාට්‍යයේ ආ ගීතයක්.

කැලණියේ ආර්. ඒ. අමරසිංහ
ප්‍රශ්නය - පැරැණි නිළි පුෂ්පා ජෙනට් දැන් කෝ?
පිළිතුර -
ඇය තවමත් ජීවත් වෙනවා. මේ දිනවල ඉන්නේ මඳක් අසනීපයෙන්.

කඩවත පළ බියන්විල භද්‍රා, බියංකා මධු
ප්‍රශ්නය - සෝමතිලක ජයමහ ගයන "කුසුම් පිපි තුරු මතේ - සුවඳ හමයි දස අතේ කෝකිල කූජනය නැගේ - ලියතුරු ගොමුවේ - මධුර වසන්තේ' ගීතය මානවසිංහයන් ලියූ ගීය අනුකරණයක්ද?
පිළිතුර -
මේ ගීතයත් මානවසිංහයන් ලියූ අමරදේවයන් ගයන 'කුසුම් පිපේ අතු පතරේ සතර දිගන්තේ කෝකල කූජනය නැඟේ මධුර වසන්තේ' ගීතයත් සමාන නැද්ද?

කළුතර දොඩංගොඩ රෝහල පාරේ එන්. ඩී. ඉසෙඩ් සිරිවර්ධන
ප්‍රශ්නය - ගාමිණී - වොලී නානායක්කාර එකට රඟපෑ එකම චිත්‍රපටය 'බඩුත් එක්ක හොරු' පමණක් නේද?
පිළිතුර -
ඔව්.

ගඩලාදෙණිය යූ. ජී. පාලිත කුමාරසිංහ, ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - 'මායා' චිත්‍රපටයේ රන්ජන් රාමනායකගේ රංගනය ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?
පිළිතුර -
එය නළුවකුට අභියෝගාත්මක චරිතයක්. රන්ජන් ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තිබෙනවා. රන්ජන් මීට ඉහත එක්තරා වාණිජ චිත්‍රපටයක තරුණියක සේ වෙස් වළාගෙන රඟපෑ අයුරු දුටු මට ඔහුට ඕනෑම චරිතයක් (විකට, පෙම්වතා, දුෂ්ට යනාදී වශයෙන්) රඟපෑමේ ප්‍රතිභාව තිබෙන බව පසක් වුණා.

පහත නම් සඳහන් අයත් ප්‍රශ්න එවා තිබුණා.
ජාඇළ රත්නාවලි සිනමාහලේ ආතර් ජයකොඩි, දේවාලේගම සිරිපාල හේවා ගීගනගේ, පාණදුර අතුල රම්‍යසිරි, ගල්ලෑල්ලේ එම්. විජේසේකර, කුඩගම පී. වයි. අනුලාවතී, අවිස්සාවේල්ල් පී. එන්. ඒ. නිලූකා, කහවත්ත පන්සල පාරේ සෝමා එච්. පතිරණ, බෙලිගල මනහර මහින්ද, වෑකඩ, බණ්ඩාරගම අලුත්ගම එස්. ඒ. ප්‍රේමලතා, හැඳල වික්ටර් පල්ලිමුල්ල, ලින්දර කේ. ආර්. උපාලි.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න